රංග උස්සපු කෙල්ල ගැන මිනිස්සු ප්‍රශ්න කරන්නේ තුසිත්ගෙන්ලු

0
63

මේ දිනවල විකාශය වන  බොනිකර තරු ටෙලි නාට්‍යයේ “රංග” කියන්නේ බොහෝ දෙනෙක් ඉතා ආදරණීය ලෙස වැලඳගත් චරිතයක්. එසේම නිරූපණය, කැමරාකරණය, වැඩසටහන් නිෂ්පාදනය, නිවේදනය වැනි කලා ලොව සෑම ඉසව්වක්ම ස්පර්ශ කරන ඔහු නමින් තුසිත් එස්. බණ්ඩාරයි. චරිතාංග නළුවෙක් ලෙස විවිධ චරිත නිරූපණය කරමින් කලා ලොව දිගු ගමනක සලකුණු පෙන්වන තුසිත් අද හදගැස්ම කතාබහට එක්කාසු කර ගන්නට සිතුවේ බොනිකර තරු ටෙලි නාට්‍යයයේ ඔහුගේ  චරිතයට ලැබෙන අසීමිත ප්‍රතිචාර නිසාමයි. කොහොමද මේ දිනවල වැඩකටයුතු?

මේ දිනවල බොනිකර තරු ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්  කරගෙන යනවා. ඊට අමතරව සුපුරුදු පරිදි මගේ නිවේදන කටයුතුත් කරන ගමන් වෙළඳ දැන්වීම් කිහිපයකට සහ රූප රචනා කිහිපයකට රංගනයෙන් දායක වුණා. මේ හැමදෙයක්ම එක්ක මගේ  සංස්කරණ වැඩකටයුතුත් කරගෙන යනවා.

බොනිකර තරු ටෙලි නාට්‍යයේ “රංග”ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මවාපෑමක් කරන පිරිමි ළමයකුගේ චරිතයක් තමයි බොනිකර තරු ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන්නේ.  ඒකට ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ ළඟදි දවසක මම පාරේ යන විට අයියලා තුන් දෙනෙක් මගෙ ළඟට ඇවිත් එක පාරටම ඇහුවා. “මල්ලි ඔයා කෙල්ලෙක් උස්සන් ගියා නේද?” මොකද වුණේ, ඒ කෙල්ලට  කියලා.  ඇත්තටම ඒ අහපු විධියට මට හිතා ගන්නත් බැරුව ගියා  මොකක්ද මේ ඇහුවේ  කියලා. පස්සෙ එක පාරටම කල්පනා වුණා මේ නාට්‍යයේ කොටසක් ගැන නේද කියන්නේ කියලා. මම හොඳටම බයත් වුණා. ඒ තරම්ම බොනිකර තරු ටෙලිනාට්‍යයෙන් ප්‍රේක්ෂකයන් මාව වැලඳගෙන තිබෙනවා.

තුසිත් කලාවට අවතීර්ණ වන අකාරය පිළිබඳ කතා කළොත්?

මම මුලින්ම නිරූපණ ක්ෂේත්‍රයෙන් තමයි මගේ ගමන ආරම්භ කළේ. පසුව  මහේන්ද්‍ර පෙරේරා සර් ළඟ වසර එකහමාරක් පමණ රංගනය ඉගෙන ගත්තා.  ඒ වගේම හේම නලින් කරුණාරත්න සර් ළඟත් මම රංගනය, කැමරාකරණය, වැඩසටහන් නිෂ්පාදනය, නිවේදනය හැම දෙයක්ම ඉගෙන ගත්තා. එතුමා දැන් ජීවතුන් අතර නැහැ. මම වැඩිපුරම වෙළෙඳ දැන්වීම්වලට තමයි රංගනයෙන් දායක වුණේ. ඒ අතරතුර  මට හේමන්ත ප්‍රසාද් සර්ව මුණගැසුණා. ඔහු මට රංගන පාසලක්. ඔහු සමඟ මම වේදිකා නාට්‍යවලට පවා සම්බන්ධ වුණා. මගේ මුල්ම ටෙලිනාට්‍ය වුණේ සුදත්ත තිලකසිරි මහත්මයාගේ  “සද හැංගිලා” කියන ටෙලිනාට්‍යය. ඒ විධියට තමයි මම මේ ක්ෂේත්‍රයට පැමිණෙනෙන්නේ.

වේදිකාව  කලාකරුවකුට එක්තරා අකාරයකට ලොකු තෝතැන්නක්. ඔබේ රංගන ජීවිතයට වේදිකාව පිටිවහලක් වුණේ කොහොමද?

රංගන හැකියාව වැඩි දියුණු කර ගන්න අපිට වේදිකාව හොඳ අවස්ථාවක්. මම එක කාලයක් වේදිකා නාට්‍ය පුහුණුවීම්වලට පමණක් සහභාගි වුණා. දැනට මම වේදිකා නාට්‍යය තුනකට පමණ රංගනයෙන් දායක වෙලා තිබෙනවා. වේදිකාව අද සෑහෙන්න කඩාගෙන වැටිලා. ලංකාවේ ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය කරන දෙයක් තවම සාර්ථක විධියට වේදිකාවෙන් සහ ටෙලිනාට්‍යවලින් නිර්මාණය වෙලා නැහැ. අපි යම් නිර්මාණයකට වියදම් කළත් එයින් නැවත අපිට  ලැබෙන්නේ වියදම් කළ ප්‍රමාණයෙන් හරි අඩක්. ඒ දේවල් එක්ක අපිට ජාත්‍යන්තර මට්ටමට යන්න පුළුවන් නිර්මාණ කරන්න අමාරුයි.

නවකයෙක් ලෙස ඉදිරියට යෑමට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය පිළිබඳව කතා නොකරම බැහැ නේද?

ඇත්තටම අද ක්ෂේත්‍රයේ සිටින  ප්‍රවීණයන් නවකයන්ට ගොඩක් උදවු කරනවා. රවීන්ද්‍ර විජේරත්න , තරංග දිසානායක සර්ලා අපි චරිතයක් කරන්න කලින් මේ චරිතය මෙහෙම කරන්න කියලා දිරිමත් කරනවා.  නවකයෙක් ක්ෂේත්‍රයට පැමිණි විට හරිම අපහසුතාවට පත්කරන පිරිසකුත් ඔය අතර සිටිනවා. කලා ක්ෂේත්‍රයේ මම ගොඩක් ගරු කරන චරිතයක් තමයි හේමාල් රණසිංහ අයියා. අපිට දෙයක් වැරදුණොත් හේමාල් අයියට වැරදුණා වගේ අපිට කියලා දෙනවා.

තුසිත්ට රංගන ජීවිතයේ රසමුසු තැන් එහෙමත් ගොඩක් ඇති නේද?

රසමුසු තැන්නම් ගොඩක් තිබෙනවා. අසංවර වැස්සක් ටෙලිනාට්‍යයේ රූපගත කිරීමකට අපිට කුරුණෑගල ප්‍රදේශයට යන්න වුණා. ඉතින් අපි එහෙ ෂූටින් ගිහින් ඉන්නකොට මගේ යාළුවා දිලුම්ට  සහ මට  අපි දෙන්නාට වතුර තිබහක් ආවා. අහල පහල ටැප් එකක් තිබුණෙ නැති නිසා අපි  ළිඳකින් වතුර බිව්වා. ළිඳෙත් තිබෙන්නේ වතුර නිසා අපි ඒක එච්චර හිතුවේ නැහැ. ඒත් අපි බීපු වතුර නිසා අපිට වමනේ ගියා. අපි අසනීප වුණා.  පහුවදා ෂූටින් කර ගන්න බැරුව ගියා. අසනීප තත්ත්වය තිබුණත් අපි පහුවදා පොඩ්ඩක් ඒ ගම වටේ ඇවිද්දා. එහෙම ඇවිදිනකොට  ඒ ගමේ ලොකු තැඹිලි වත්තක් තිබ්බා. අසනීප තත්ත්වය සිතන්නේ නැතිව අපි තැඹිලි වත්තට හොරෙන් පැනලා තැඹිලිත් බිව්වා. ඔය විධියෙ සුන්දර අත්දැකීම් ගොඩක් තිබෙන ටෙලිනාට්‍යක් තමයි අසංවර වැස්සක් කියන්නේ.

රංගන ජිවිතයේ ඔබ ඔබටම වාරණ පනවගෙන තිබෙනවද?

මෙහෙමයි අපි  කලාකාරයෙක් නම් අපිට  ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්නට ඕනෑ. කලාකරුවෙක් තමන්ට අයිති නැහැ. කලාකරුවෙක් අයිති සමාජයට. ඒ නිසා අපි සමාජයටයි දෙයක් කරන්නට ඕනෑ. ඇතැම් විට මුදල් මත තෝරා බේරාගැනීම් කරන්නට වෙනවා. නමුත් චරිතයක් මත තෝරා බේරා ගැනීම් කරනවා නම් එයා රංගන ශිල්පියෙක් නොවෙයි. ඒක මට අපෙ අම්මා කියපු කතාවක්.

වර්තමානයේ රටෙහි ඇති වී තිබෙන තත්ත්වය නිසා  කලාව අඩපණ වෙලා. ඒ ගැනත් කතා කරමු?

අර්බුදය නිසා ක්ෂේත්‍රය ගොඩක් කඩාගෙන වැටුණා. නමුත්  අර්බුදයට පෙර සිටම බොහෝ අධ්‍යක්ෂවරුන්  සහ නිෂ්පාදකවරුන් කලාවට අවශ්‍ය කුමක්ද යන්න  හ¾දුනාගෙන තිබුණෙ නැහැ. මොකද අද ඉන්න තරුණ පිරිස වෙනස්. ගොඩක් තරුණ පිරිස ටෙලිනාට්‍යක් බලන්නෙ නැහැ. සමාජ මාධ්‍ය  නිසා තරුණ පිරිස සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වෙලා. ලංකාවේ නිර්මාණ බලන්නේ අතළොස්සයි. මේ විධියට බැලුවොත් තව අවුරුදු පහ හයකින් ටෙලිනාට්‍යය කලාව නැත්තටම නැති වෙලා යයි. ඒක තමා අද ලංකාවේ ඇත්ත තත්ත්වය.

ක්ෂේත්‍රය තුළ තිබෙන කැපිලි කෙටිලි ඔබට අභියෝගයක්ද?

මට ගොඩක් යහළුවො උදවු කරනවා. ඔය අතරේ ඇතැම් යහළුවො ඉන්නවා උඩින් හොඳ මුහුණ පෙන්නලා යටින් අපිටම ගේම දෙන. එයාලා කරන්නේ අපිට එන හොඳ වැඩ ඔක්කොම නැති කරන එක. ඒ වගේම විශේෂයෙන්ම පිරිමි කෙනෙක් මේ ක්ෂේත්‍රයට එනවා නම් යම්කිසි කැපකිරීමක් කරන්නට අවශ්‍යයි.

තුසිත් වෘත්තීය මට්ටමේ රංගන ශිල්පියෙක්ද?

රංගන ශිල්පියෙක් වුණහම වෘත්තීය මට්ටමේ රංගන ශිල්පියෙක් වෙන්න ඕනෑ.  හදවතින්ම රංගනය වෘත්තිය කර ගන්නට  ඕනෑ. ඒත් අද කලාවෙන්ම අපිට යැපෙන්නට බැහැ. ඒ නිසා වෙනත් ආදයම් මාර්ගයකුත් කලා කරුවකුට තිබෙන්නට අවශ්‍යයි. නමුත් මගේ වෘත්තීය රංගනය.

තුසිත් සිද්ධාර්ත් නිගම් වගේ කියලත් කියනවා නේද?

ඔව් ගොඩක් අය මට ඇලඩින් වගෙ කියනවා. ඇලඩින් කියන්නේ සිද්ධාර්ත්ටනේ. දවසකට දෙන්නෙක් වත් අඩුම මැසෙජ් කරලා කියනවා ඔයා සිද්ධාර්ත් වගේ කියලා.

රංගන ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු කොහොමද?

මගේ අනාගත බලාපොරොත්තුව ව්‍යාපාරිකයෙක් වෙන්න. මම රංගනයෙන් දායකවුණු ටෙලිනාට්‍ය තුනක් විකාශය වීමට තිබෙනවා. ඒවත් ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට බලන්නට පුළුවන්. මගෙ ලොකු ආසාවක් තිබෙනවා එකම ටෙලි නාට්‍යක චරිත දෙකක් කරන්න. ඉදිරියෙදි එහෙම ආරාධනාවක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් සිටිනවා.

සචිනි බස්නායක