යොහානි සින්දු කියන අජය රඟන thank godට නඩුවක්

0
37

ශ්‍රී ලාංකේය ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ගයන “මැණිකේ මගේ හිතේ” ගීතය බොලිවුඩ් සුපිරි නළු අජේ දේව්ගන් රංගනයන් දායක වන ‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටය සඳහා යොදාගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එම ගීතය “මැණිකේ” ලෙස නම් කර ඇති බවය.

එරට ප්‍රමුඛ පෙළේ සංගීත නිෂ්පාදන සමාගමක් සහ චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන T-Series අද (සැප්. 16) එම ගීතය මුල් වරට නිකුත් කළේය.  “මැණිකේ මගේ හිතේ” ගීතයේ තනුවට හින්දි බසින් ලියැවුණු පද මාලාවකින් එය අන්තර්ගත වන අතර එම හින්දි අනුවාදයද යොහානි විසින්ම ගයනු ලැබීම විශේෂත්වයකි.

“තෑන්ක් ගෝඩ්” චිත්‍රපටය සඳහා බොලිවුඩ් තරු වන අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ රාකුල් ප්‍රීට් සිංග් රංගනයෙන් දායක වෙති.

මිනිත්තු තුනක කාලයකින් සමන්විත ‘මැණිකේ’ ගීතයේ වීඩියෝව ආරම්භ වන්නේ, අජේ දේව්ගන්ගේ රංගනයෙනි.

ඉන්ද්‍ර කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටය ඔක්තෝබර් 25 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

එය 2019 වසරේ ‘මර්ජාවාන්’ චිත්‍රපටයෙන් පසුව සිද්ධාර්ත් රංගනයෙන් දායක වන ප්‍රථම චිත්‍රපටය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

 “මැණිකේ මගේ හිතේ” ගීතය මුල් වරට ගයනු ලැබුවේ, සතීෂන් රත්නායක විසින් වන අතර එහි යොහානි ද සිල්වා සමඟ සතීෂන් රත්නායක ගැයූ ගීතය පසුගියදා ලොව පුරා ජනාදරයට පත් විය.

මේ අතර ශ්‍රී  ලාංකේය යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාගේ “මැණිකෙ” ගීතය ඇතුළත්, ඉදිරියේදී තිරගත වීමට නියමිත “තෑන්ක් ගෝඩ්” චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු ප්‍රධාන නළුවන්ට එරෙහිව ඉන්දියාවේ ජෞන්පූර් අධිකරණයක නඩු පවරා තිබේ.

එරට කායස්ත ප්‍රජාවගේ ආගමික හැඟීම්වලට බලපෑම් එල්ල වන බවට චෝදනා කරමින් එම චිත්‍රපටයේ රංගන ශිල්පීන් වන අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ අධ්‍යක්‍ෂ ඉන්ද්‍ර කුමාර්ට එරෙහිව අදාළ නඩුව පවරා ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඒ අනුව මෙම නඩුව නොවැම්බර් 18 වැනි දින ජෞන්පූර් අධිකරණයේදී විභාගයට ගැනීමට ලැයිස්තුගත කර ඇත.

‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රටය ඔක්තෝබර් 25 වැනිදා තිරගත කිරීමට නියමිතය.

‘එම චිත්‍රටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගිය සතියේ නිකුත් කරන ලද අතර එහි අජේ දේව්ගන් බ්ලේසරයක්, කලිසමක් සහ කමිසයක් ඇඳ සිටින ‘චිත්‍රගුප්ත’ යන චරිතය නිරූපණය කරයි.

පූර්ව ප්‍රචාරක පටයේ සිද්ධාර්ත් මල්හෝත්‍රා හදිසි අනතුරකින් මියයන අතර පසුව චිත්‍රගුප්තව මුණගැසෙන අතර, සිද්ධාර්ත්ට ඔහුගේ ජීවිත කාලය තුළ ඔහු කළ ක්‍රියාවන් පිළිබඳ වාර්තාව පෙන්වයි.

චිත්‍රගුප්ත යනු, හින්දු දෙවියකු වන අතර මෙලොව පුද්ගලයකුගේ හොඳ සහ නරක ක්‍රියා පිළිබඳ වාර්තා තබා ගැනීමේ කාර්යය එම දෙවියන් විසින් සිදු කරනු ලබයි.

අදාළ පෙත්සම ජෞන්පූර්හි අධිනීතිඥ හිමන්ෂු ශ්‍රී වාස්තව විසින් ගොනු කරනු ලැබ ඇති අතර  “චිත්‍රගුප්ත කර්මයේ අධිපතියා ලෙස සලකනු ලබන අතර, මිනිසකුගේ හොඳ සහ නරක ක්‍රියාවන් පිළිබඳ වාර්තා තබා ගනී” යනුවෙන් ඔහුගේ පෙත්සමෙහි සඳහන් බව ඉන්දීය මාධ්‍ය  වාර්තා කර ඇත.

එවැනි දෙවිවරුන් නිරූපණය කිරීමෙන් ආගමික හැඟීම්වලට බලපෑම් එල්ල කරන බැවින්, ඉන් අප්‍රසන්න තත්ත්වයක් ඇති කළ හැකි යැයි ඔහු සිය පෙත්සම මඟින් පෙන්වාදී තිබේ.

පෙත්සම්කරුගේ ප්‍රකාශය නොවැම්බර් 18 වැනිදා සටහන් කර ගැනීමට නියමිතය.

‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටයේ අජේ විසින්  “අවර ගණයේ” විහිළු සහ  “විරෝධාකල්පී වචන” භාවිත කරන බවට පෙත්සම්කරු චෝදනා කර ඇත. එමෙන්ම, මෙම චිත්‍රපටය වෛරය සහ අවමානය පැතිරවීමේ උත්සාහයක් බවද පෙත්සම්කාර පාර්ශ්වය චෝදනා කර තිබේ.

තවද ලාබ ඉපැයීම සහ ශේ්‍රණිගත කිරීම් ඉහළ දමා ගැනීම සඳහා වාර්ගික සංහිඳියාවට අහිතකර ලෙස බලපාන විරුද්ධවාදී දර්ශන එම චිත්‍රපටයේ අන්තර්ගත බවටද පෙත්සම්කරු වැඩිදුරටත් චෝදනා කර ඇත.