මිනී මර මරා යන දකුණේ පාතාලයට තව සති 06 කින් අවි බිම තියන්න වෙයිද?

0
66

ඉකුත් මැයි මස 30 වැනිදායින් ඇරැඹි නාඳුනන තුවක්කුකරුවන්ගේ ඝාතන රැල්ලට අනුව මේ වන විට දිවයින පුරා මිනිස් ඝාතන 35ක් සිදුව ඇති අතර ඉන් සිද්ධීන් 13ක්ම වාර්තා වී ඇත්තේ දකුණු පළාතෙනි.  දකුණු පළාතේ අම්බලන්ගොඩ, අහංගම. තංගල්ල, මිද්දෙණිය, උෟරගහ පිටිගල යන ප්‍රදේශවල මෙම මිනිස් ඝාතන සිදුව ඇති අතර ගාල්ල සහ අහුන්ගල්ල ප්‍රදේශවලින් වෙඩි තැබීමේ සිද්ධීන් දෙකක්ද වාර්තා වී තිබිණි. සෙසු ඝාතන වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාත තුළිනි.

දකුණු පළාතේ සිදුකළ මිනිස් ඝාතන සහ වෙඩි තැබීම් සම්බන්ධයෙන් සිය අවධානය යොමුකළ දකුණු පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඝාතන සිදුවූ පොලිස් කොට්ඨාසවල පොලිස් අධිකාරිවරුන් කැඳවා අපරාධ රැල්ල නතර කරලීමටත් ඊට සම්බන්ධවූවන් කොටුකර ගැනීමටත් අවශ්‍ය උපදෙස් ලබාදී තිබිණි.  ඒ අනුව දකුණු පළාතේ සිදුකළ වෙඩි තැබීම් දහතුනෙන් සිද්ධීන් 4කට සම්බන්ධ තුවක්කුකරුවන් සහ ඊට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයන් කොටුකර ගැනීමට එම කොට්ඨාසවල රාජකාරි කරන පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබිණි.

ඉකුත් ජුනි මස 05 වැනි දින තංගල්ල මොරකැටිආර හන්දියේදී පුද්ගලයකුට වෙඩි තබා මරා දැමූ වෙඩික්කරු සහ ඊට ආධාර අනුබල දුන් පිරිස අත්අඩංගුවට ගැනීමට තංගල්ල පොලිසියට මුලින්ම හැකිවී තිබේ.

වෙඩි තැබීම සිදුකර තිබුණේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසිනි. සිද්ධියෙන් මරණයට පත්වූයේ රත්නවීර පටබැඳිගේ අසේල සම්පත් නමැති වයස අවුරුදු 38ක දුම්මාන පාර දකුණු කුඩාවැල්ල නාකුළුගමුවේ පදිංචිකරුවෙකි.

බොලරෝ වර්ගයේ ජීප් රියකින් මොරකැටිආර නගරයට එමින් සිටියදී අසේල සම්පත්ට වෙඩි තබා ඝාතනය කර තිබූ අතර සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ තංගල්ල පොලිසියට අමතරව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයටද පවරා තිබුණේ තංගල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න මහතාගේ උපදෙසිනි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹුණේ මොරකැටිආර හන්දියේ සීසීටීවී කැමරාද සෝදිසි කරමිනි.  ඊට අමතරව තුවාලකරුවන්ගේද ප්‍රකාශ ලබා ගැනුණු අතර ඒ ඔස්සේ කළ විමර්ශනයේදී අනාවරණය වූයේ මරා දැමුණු අසේල සම්පත් බුදුමැදුරක් ඉදිකිරීමේ කටයුත්තක යෙදී සිටින බවත් එම ඉදිකිරීම් දැක බලා ගැනීමට යමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවන් විසින් අසේල ඝාතනය කර ඇති බවත්ය.

අසේල මරාදැමීම සඳහා තුවක්කුකරුවන් පැමිණි යතුරුපැදිය මාර්ගයේ අතහැර දමා වෙනත් වෑන් රියකින් ඔවුන් පලායන ආකාරය සීසීටීවී කැමරාවල පැහැදිලිව සටහන්ව තිබිණි. නිලධාරීන් නවීන තාක්ෂණය ඔස්සේ එම වෑන්රිය හඳුනාගත් අතර වෑන් රිය කුලී පදනම මත ලබාගත් එකක් බව විමර්ශනයේදී හෙළිවිණි.

ඉන් අනතුරුව පොලිස් කණ්ඩායමක් ඉඳුරුව ප්‍රදේශයේ කුලී  වාහන ආයතනයට ගොස් අදාළ වෑන්රිය කුලී පදනම මත ගත් පුද්ගලයා සොයා ගෙන තිබිණි.

ඒ අනුව එම ආයතනයේ ලිපිගොනු පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයා “සුරතලා’ නමින් හඳුනා ගැනීමට නිලධාරීන්ට හැකිවිය. ඔහු වාහනය රැගෙන තිබුණේ තිස්සමහාරාමයට යෑමට අවශ්‍ය බව කියමිනි.  ඒ අනුව ජුනි මස 26 වැනිදා පොලිසිය සුරතලා අත්අඩංගුවට ගන්නා අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අසේල සම්පත් ඝාතනයට ආධාර අනුබල දුන් නලීන්, සුද්දා, රාලහාමි, ජගත්, සමන් යන පස්දෙනා කොටුකර ගැනීමට පොලිසියට හැකි වී තිබිණි.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අසේල සම්පත් ඝාතනයේ වෙඩික්කරු වෑබොඩ උතුර පදිංචි ජගත් නමැත්තකු බව හෙළි කරගත හැකි විය. මත්ද්‍රව්‍ය ජාවාරමක් මුල් කරගෙන අසේල සම්පත් ඝාතනය මෙහෙයවා ඇත්තේ කොස්ගොඩ පදිංචි අයෙක් බවත් ඔහු මේ වන විට රැඳී සිටින්නේ ඩුබායි රාජ්‍යයේ බවත් විමර්ශනයේදී අනාවරණය කරගත හැකිවිණි.

තංගල්ල මොරකැටිය ආර ප්‍රදේශයේ සිදුකළ මිනිස් ඝාතනය මෙසේ අනාවරණය කර ගනිද්දී මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ තවත් මනුෂ්‍ය ඝාතනයකට අදාළ සැකකරුවන් කොටුකර ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට හැකි වී තිබිණි.

2022.06.26 දින මිද්දෙණිය, සිතුමිණ, දෙවැනි පටුමඟ, වීරකැටිය  පාරේ පදිංචි ජයසිරි මල්ශාලාවේ හිමිකරු ප්‍රියන්ත මංජුල සිසිර යන අය නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.

පසුව තංගල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ලාල් ඇතුළු කණ්ඩායමක් ඉකුත් 2022.08.14 විමර්ශනයක් ආරම්භ කර එම වෙඩි තැබීමට උපයෝගි කරගත් වෑන්රිය සීසීටීවී කැමරා ආශි්‍රතයෙන් හඳුනා ගන්නා ලදී. ඒ වෑන් රියට සමිකර තිබූ ඇලෝවීල් රෝදවලිනි.

ඒ ඔස්සේ එම වෑන්රිය කුලියට ලබාගත් පුද්ගලයා හඳුනාගෙන සිදුකළ විමර්ශනයෙන් පසු මල්ශාලා හිමිකරු ඝාතනය කළ කීරමගෙදර බූටී නමැත්තා තිස්සමහාරාමය කෝන්වැලෑන ගෝණගමුව ප්‍රදේශයේදී කොටුකර ගැනීමට නිලධාරීන්ට හැකිවිණි.  25 හැවිරිදි මොහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු මල්ශාලා හිමිකරු ඝාතනය කිරීම මිද්දෙණිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන ඇට සුද්දා අයගේ කොන්ත්‍රාත්තුවක් මත සිදුකළ බවට නිලධාරීන් අනාවරණය කර ගන්නා ලදී.

ඒ අනුව එම ඝාතනය සඳහා යොදා ගන්නා ලද අංක 1236155 දරන ටී පනස්හය ස්වයංක්‍රිය ගිනිඅවිය සහ ජීව උණ්ඩ 17ක් සමඟ මැගසිනයද සැකකරු සැඟව සිටි නිවෙස පිටුපස වළ දමා තිබියදී සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවී තිබිණි.

මල්ශාලා හිමිකරු ඝාතනය කිරීමෙන් පසු සැකකරුට සැඟව සිටීමට රැකවරණය ලබාදුන් ගෝණගමුව තිස්සමහාරාම ලිපිනයේ පදිංචි දිලාන් නමැත්තාද පොලිස් කණ්ඩායම අත්අඩංගුවට ගෙන තිබේ.  සැකකරුගෙන් තවදුරටත් කළ ප්‍රශ්න කිරීමේදී මල්ශාලා හිමිකරු ඝාතනය සඳහා යොදාගත් වෑන්රිය  පැද වූ පුද්ගලයාද විතාරන්දෙණිය ප්‍රදේශයේදී කොටුකර ගැනීමට නිලධාරීන්ට හැකිවිණි.

කෙසේ වෙතත් සිද්ධිය පිළිබඳ කළ දීර්ඝ විමර්ශනයත් සමඟ මල්ශාලා හිමිකරු ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාදුන් ඇට සුද්දා පොලිසියට කට්ටි පනිමින් සිටි අතර ඉකුත් 8 වැනිදා සැකකරු කොළඹ නීතිඥවරුන් මාර්ගයෙන් කොට්ඨාස අපරාධ විමර්ශනයට භාරවෙන ලදී. පසුව ඔහු අත්අඩංගුවට ගෙන දීර්ඝ ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු සැකකරු මිද්දෙණිය පොලිසිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 7209/21 යටතේ වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර සැප්තැම්බර් 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එම වෙඩි තැබීම් සම්බන්ධ විමර්ශනද සිදුවෙද්දී අම්බලන්ගොඩ පොලිස් වසමේ තවත් මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ වෙඩික්කරුවකු ගැන තොරතුරක් අම්බලන්ගොඩ පොලිසියට ලැබිණි.

පොලිසියට ලැබී තිබූ තොරතුරේ සඳහන් වූයේ ඉකුත් ජූලි මස 26 වැනි දින අම්බලන්ගොඩ මාදම්පාගම ප්‍රදේශයේදී වසන්ත සොයිසා නමැත්තා ඝාතනය කළ වෙඩික්කරු හෝමාගම ප්‍රදේශයේ සැඟව සිටින බවකි.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරි අමරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් හෝමාගම බලා ගියද එම මෙහෙයුම අසාර්ථක විණි. පසුව ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති සහ ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ උප පරීක්ෂකවරයකු ඇතුළු කණ්ඩායමක් දින දෙකක් තිස්සේ කළ දුෂ්කර කර්තව්‍යයකින් පසු වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සහ වසන්ත මරා දැමීමට යොදාගත් ස්වයංක්‍රීය ගිනිඅවිය සහ තුවක්කුකරුවන් ගිය යතුරුපැදියද සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවිණි.

මෙලෙස මිනිස් ඝාතන තුනක් සිදුකළ පුද්ගලයන් කොටුකර ගැනීම සිදුකරද්දී පිටිගල පොලිස් වසමෙන් තවත් මිනිස් ඝාතනයක් වාර්තා විණි. ඒ ඉකුත් සැප්තැම්බර් 3 වැනිදාය. නාඳුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කරනු ලැබුවේ මුදල් පොලියට ලබාදුන් තැනැත්තෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිස් ස්ථානාධිපති මහේෂ් කරුණාරත්න මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන ඇරඹූ අතර පොලී මුදලාලි මරා දැමූ සැකකරුවන් අලුත්ගම පොලිසියේද සහාය ඇතිව කොටුකර ගැනීමට නිලධාරීන්ට හැකිවිය. ඒ අලුත්ගම ප්‍රදේශයේ බස් රියක ගමන් කරමින් සිටියදීය. ඝාතනය සිදුකළ ඩබල් බැරල් වර්ගයේ ගිනි අවියද අලුත්ගම පොලිසිය විසින් සොයාගත් අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකුද එදින අත්අඩංගුවට ගන්නා ලදී. පසුව සිද්ධියට සම්බන්ධ තවත් අයකු කොටු කරගත හැකිවිණි.

අලුත්ගම පොලිස් ස්ථානාධිපති නාලක මහගෙදරගම ඇතුළු කණ්ඩායමක් සැකකරුවන්ව කොටුකර ගැනීම සඳහා පිටිගල පොලිසියට සහාය සහාය වී තිබිණි.

මේ අනුව දකුණු පළාතේ සිදුකළ වෙඩි තැබීම් සහ මිනිස් ඝාතන 13 කින් මිනිස් ඝාතන හතරකට සම්බන්ධ තුවක්කුකරුවන් සහ ඊට ආධාර අනුබල ලබා දුන්නන් පොලිස් කණ්ඩායම් මඟින් මෙසේ අත්අඩංගුවට ගැනීම පැසසිය යුත්තක් වේ. එහෙත් ඒ අතරතුර දකුණු පළාතේ සහ බස්නාහිර පළාතෙන් වෙඩි තැබීම් සහ මිනිස් ඝාතන වාර්තා වීම නතර නොවී තිබිණි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉකුත් දිනයක බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ දකුණු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරු කැඳවා දකුණේ සහ බස්නාහිර පළාත්වල දිගින් දිගටම සිදුවන මිනිස් ඝාතන මැඬලීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ඔවුනට උපදෙස් දුන් අතර ඒ අනුව පළාත් දෙකේ අපරාධ මැඬලීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙළක් අරඹන ලදී.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාර්ශ්ව දෙකක් අතර දිගින් දිගටම සිදුවන වෙඩි තැබීම් නතර කරලීම සඳහා එම වෙඩි තැබීම්වලට සම්බන්ධවූවන් කොටුකරගැනීමට අදාළ පොලිස් කොට්ඨාසවල පොලිස් නිලධාරීන්ට ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා උපදෙස් ලබා දුන් අතර එම විමර්ශන සඳහා පොලිස් අධිකාරිවරයකුගෙන් සැදුම්ලත් පොලිස් නිලධාරීන් 40 දෙනකු අම්බලන්ගොඩ පොලිසියට අනුයුක්ත කිරීමට හෙතෙම පියවර ගෙන තිබිණි.

දකුණේ මෙම මිනිස් ඝාතනවලට අමතරව ගාල්ල සහ අහුන්ගල්ල පොලිස් වසම්වලද නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තැබීම් දෙකක් සිදු කර ඇති අතර එම වෙඩි තැබීම්වලින් කිසිවකු ජීවිතක්‍ෂයට පත් නොවිණි. මෙම වෙඩි තැබීම් සිද්ධිවලට සම්බන්ධ වූවන්ද කොටුකර ගැනීමට ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි වාර්තා වේ. දකුණු පළාතේ නොවිසඳී ඇති මිනිස් ඝාතන සිදුකළ තුවක්කුකරුවන් මේ වන විට පොලිස් කණ්ඩායම් විසින් පැහැදිලිව හඳුනාගෙන තිබීමද විශේෂත්වයකි.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ මිනිස් ඝාතන 5ක්ම සිදුකර ඇත්තේ එකම වෙඩික්කරු බවත් ඔහු මෙහෙයවා ඇත්තේ ඩුබායිවල සිට බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ. කෙසේ වෙතත් ඝාතකයා මේ වන විටත් සිටින්නේ නිදැල්ලේ වීම බරපතළ ප්‍රශ්නයකි. ඔහු කොටු කරගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.

මේ අතර තවත් මිනිස් ඝාතනයක් සඳහා සූදානමින් ගිනි අවියක්ද රැගෙන සුඛෝපභෝගී වෑන් රියකින් ගමන්ගත් පාතාල කල්ලි නායකයකු වන පොඩි ලැසී නමැත්තාගේ ගෝලයකදª බටපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බටපොළ, අලුත්වල පාරේ ක්ෂණික මාර්ග බාධකයකදී සෝදිසි මෙහෙයුමක නිරතව සිටි බටපොළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජනක සම්පත් ඇතුළු කණ්ඩායමක් සැක සහිත මෙම වාහනය නතර කරන ලෙස නියෝග කළද එම අණ නොතකා වෑන් රිය පලා යද්දී ඒ පසුපස කිලෝමීටර් 5ක් පමණ දුරක් හඹා ගිය නිලධාරීන් වෑන් රිය ගෝනපීනුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි. පසුව කළ සෝදිසි කිරීමේදී වෑන් රියේ ගමන් ගත් පුද්ගලයකු සතුව තිබී පතොරම් පිරවූ රිවෝල්වරයක්ද රුපියල් ලක්‍ෂ 7ක්ද අයිස් මත්ද්‍රව්‍යයද තිබී නිලධාරීන් සොයාගෙන තිබේ. සැකකරුවන් කිසියම් ඝාතනයක් සඳහා යමින් සිට ඇතැයි පොලිසියේ සැකයයි.

අම්බලන්ගොඩ හා ඒ ආශි්‍රතව සිදුවන මිනිස් ඝාතන සහ අපරාධ වැළැක්වීමටත් ඝාතකයන් පසුපස හඹා යෑමටත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ උපදෙසින් දකුණු පළාත පුරාම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන අතර ගිනිඅවි සහිතව අදාළ සැකකරු කොටු කරගැනීමට බටපොළ පොලිස් නිලධාරීන්ට හැකි වූයේ එම මෙහෙයුමක එක් ප්‍රතිඵලයක් ලෙසිනි.

කෙසේ වෙතත් දිගින් දිගටම මිනිස් ඝාතන සහ වෙඩි තැබීම් සිදුකරන සහ ඊට ආධාර අනුබල දෙන පුද්ගලයන්ට එරෙහිව ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉකුත්දා අනතුරු හඟවා තිබීමද විශේෂත්වයකි.

ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ දකුණු පළාතේ අපරාධ සිදුකළ සියලුම පුද්ගලයන් සියල්ල මේ වන විට හඳුනාගෙන ඇති බවය.

පසුගිය ජුනි 06 වැනිදා සිට මේ දක්වා කාලය තුළ දකුණු පළාතේ තුවක්කුකරුවන් කළ වෙඩි තැබීම්වලින් 13 දෙනකු මරණයට පත් වුනා. මේ සිද්ධිවලින් සිද්ධි 4කට අදාළව සම්පූර්ණ විමර්ශන කටයුතු සිදුකරල. ඊට සම්බන්ධ සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තියෙනවා. ටී පනස් හය, බ්‍රවුනින් පිස්තෝල සොයාගෙන තියෙනවා. ඒ වගේම ඉතිරි සියල්ලෝත් අපි හඳුනාගෙන තියෙනවා.”

“තුවක්කු අතට ගත්ත අපරාධකාරයෙක්් හිතනවා නම් මිනිස් ඝාතන කරලා ගැලවිලා ඉන්න. අපි එකක් මතක් කරන්න කැමැතියි.

අපි කිසිදාක ඒකට ඉඩ දෙන්නේ නැහැ. නියෝජ්‍ය පොලිස්පතිවරු දෙන්නෙක් කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරු 4 දෙනෙක් මේ සම්බන්ධ විමර්ශනවලට යොදවලා තියෙනවා. අපිට දීපු අභියෝග අපි භාරගන්න අපි ලෑස්තියි. නව සති 6ක් යනකොට කවුද දිනන්නේ කියලා අපි බලමු. ‘අපි කිසිම අවස්ථාවක ආයුධ අරගෙන සැරිසරන්න ඉඩ දෙන්නේ නැහැ. මේවට අනුබල දුන්න අය, වක්‍රව උදවු උපකාර කරන අය, නවාතැන් දුන්න අය, සේරම අපි හඳුනා ගෙන ඉවරයි.”

ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ එම ප්‍රකාශයත් සමඟ දකුණේ අපරාධවල නිරත වන්නන් කිසියම් තැතිගැන්මකට පත්ව ඇතැයි වාර්තා වේ. ඉදිරිය සුබ නැති බව ඔවුන්ට පෙනී ගොස් තිබේ. ජේ‍යෂ්ඨ නියෝජ්‍ය

පොලිස්පතිවරයාගේ අභියෝගය හමුවේ මෙම ඝාතන සහ වෙඩි තැබීම්වලට සම්බන්ධ පුද්ගලයන් උන් හිටි තැන්ද අතහැර පලා ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ගවල සඳහන් වේ.

කීර්ති මෙන්ඩිස්