මහල් නිවාසවලින් පදිංචිකරුවන් පන්නන අපරාධයේ කුමන්ත්‍රණය කාගෙද?

0
13

නාගරික නිවාස අධිකාරියේ මහල් නිවාසවල වසර 20කට 30කට අධික කාලයක් පදිංචිව සිටින කුලී නිවැසියන්ට දින 14ක් තුළ නිවාස භාරදී පිටව යන ලෙස අධිකාරිය නියෝග කර තිබේ. අපට දැනගන්නට ලැබී ඇති අන්දමට නිවාසවල පදිංචිකරුවන් නිවාසවලින් එළියට ඇද දමා එම නිවාස පොහොට්ටුවේ වෘත්තීය සමිතිවල ලොක්කන්ට ලබාදීමට වත්මන් සභාපති සැලසුම් කර ඇත.  පදිංචිකරුවන් නිවාසවලින් එළියට දමා නිවාස ගජ මිතුරන්ට ලබාදීමට ආණ්ඩුවක් අවශ්‍ය නැත.

ලංකාවේ එවැනි වැඩ කරන්නේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසිනි. පාතාල කණ්ඩායම් හැසිරෙන ආකාරයට ආණ්ඩුවක් හැසිරෙනවා නම් එතැන බරපතළ ගැටලුවක් තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රජයේ නිවාසවල පදිංචිකරුවන්ට එම නිවාසවල හිමිකම් ඔප්පු ලබාදෙන බව පසුගිය අය-වැයේදී ප්‍රකාශ කිරීමත් සමඟ නාගරික සංවර්ධන අධිකාරිය මෙම දඩයම පටන්ගෙන තිබේ.

මේ වනවිට නිවාස හා නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංගය. ඇමැතිවරයා විසින් පදිංචිකරුවන් මහපාරට ඇද දමා නිවාස අත්පත් කරගෙන ඒවා තම ආධාරකරුවන්ට ලබාදීමට තීරණය කළා නම් එය කිසි කලෙක මේ රටේ සිදු නොවූ පිළිකුල් සහගත ක්‍රියාවකි. වසර 20කට පෙර පදිංචිය සඳහා පැමිණ නිසියාකාර බදු කුලී ගෙවමින් ජීවිතයේ මහලු විය ගෙවමින් රෝගීව සිටින මිනිසුන් මහපාරට ඇද දැමීමට තීරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිපත්තිය දැයි අපි නොදනිමු.

රටේ පුරවැසියන් තමන් පදිංචිව සිටින නිවාසවලින් ‍ෙදාට්ට ඇද දමන ආණ්ඩු පත්කරන්නේ නැත. මිනිසුන් ආණ්ඩු පත්කරන්නේ ගෙවල් නැති අයට ගෙවල් හදා දෙන්නටය. ගෙයක් හදාගන්නට වත්කම් නැති අඩු ආදායම්ලාභීන්ට නිවාස වැඩසටහන් යටතේ නිවාස ඉදිකර දෙන්නටය. මහජන මුදලින් වැටුප් ලබන නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතනයක් සැලසුම් කළ යුත්තේ නාගරික පුරවැසියන් සඳහා නව නිවාස ඉදිකර දීමටය. ඉතිහාසය පුරාම සිදු වූයේ එයයි. මෙහිදී සිදුව තිබෙන්නේ සම්පූර්ණයෙන් එහි අනිත් පැත්තය. වර්තමාන ඇමැතිවරයාත්, සභාපතිවරයාත් එකතුව මිනිසුන් ගෙවල්වලින් එළියට ඇද දමා වෙනත් මිනිසුන් පදිංචි කරන්නට සිතීමම ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ වෛරය අවුළුවන කුමන්ත්‍රණයකි.

දැනටත් කොළඹ නගරයේ පදිංචිකරුවන් තිස් හතළිස් දහසක් පදිංචිව සිටින්නේ පසුගිය ආණ්ඩු විසින් තනාදුන් මහල් නිවාසවලය. මේ ආණ්ඩුව අත ගසා ඇති අන්දමට ගෙවල්වලින් මිනිසුන්. එළියට ඇද දමා එම ගෙවල් වෙනත් අයට දෙන්නට ගියොත් එය ඉතාමත් නරක පූර්වාදර්ශයක් වනු ඇත. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් පාතාල සංවිධානද පදිංචිකරුවන් ඉවතට ඇද දමා ගෙවල් අල්ලා ගැනීමේ අලුත් සම්ප්‍රදායක් ගොඩනඟනු ඇත.

අප දන්නා තරමින් ඇෆ්ගනිස්තානයේ තලිබාන්වරුන් හෝ මෙසේ ක්‍රියා කර නැත. හිඟන්නන්ගේ පාත්තරයට හෙනහුරා පාත් වුණා කියන්නේ මෙවැනි ජනතා ද්‍රෝහී වැඩවලටය.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීරගේ අස්සන ඇතිව කුලී නිවැසියන්ට එවා ඇති ලිපියේ සඳහන් වන්නේ දින 14ක් තුළ නිවෙසේ භුක්තිය භාරදී පිටව යන ලෙසය. යායුත්තේ කොහාටදැයි අධිකාරිය කියන්නේ නැත. මිනිසුන් ගෙවල්වලින් පන්නන්නට ප්‍රථම නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් අධ්‍යක්ෂවරිය සභාපති හෝ ඇමැතිවරයා දැනුවත් කළා දැයි අපි නොදනිමු. 

නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ නගරයේ සිදුකළ සංවර්ධන කටයුතුවලදී නොයෙක් අවස්ථාවන්හිදී පදිංචිකරුවන් ඉවත් කර තිබේ. ඒ සෑම අවස්ථාවකම අදාළ නිවැසියන්ට වඩා සුදුසු අංගසම්පූර්ණ නිවෙසක් ලබාදීමට කටයුතු කර තිබේ. නාගරික සංවර්ධන අධිකාරියට අතීතයේ එවැනි කීර්ති නාමයන් තිබිණි. කොළොන්නාව කුණු කන්ද පුපුරා ගිය අවස්ථාවේ පවා එම භූමියේ සිටි අනවසර පදිංචිකරුවන්ට නාගරික සංවර්ධන අධිකාරිය අංග සම්පූර්ණ වටිනා මහල් නිවාස ලබාදෙන ලදී. නාගරික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීහු මේ අතීතය ඉතා හොඳින් දනිති. නමුත් ඔවුන් මෙලෙස ක්‍රියා කරන්නේ වර්තමාන ආණ්ඩුව අපකීර්තියට පත්කිරීමේ දේශපාලනික යටි අරමුණු ඇතිවය.

ඉවත්වීමේ නියෝග ලැබූ ගෘහ මූලිකයන් අතර ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් සිටිති. එසේම හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් නිවාස ලබාදුන් එජාපයේ පිරිස් ද සිටිති. නාගරික සංවර්ධන අධිකාරියේ කූට නිලධාරීන් ඇමැති ප්‍රසන්න රණතුංග ලවා මේ ගිනි අවුළුවන්නේ විශාල පිදුරු කන්දකටය. එම ගින්න තුළ නැඟෙන මහජන විරෝධය වර්තමාන ආණ්ඩුවේ දෙපාර්ශ්වයටම එක සේ බලපානු ඇත. මේ දඩයම පිළිබඳව දැනටමත් නිවාස අහිමි වීමේ අවදානමට ලක් වූ පිරිස් මානව හිමිකම් කොමිසමට දැනුම් දීමට පියවර ගනිමින් සිටින බව වාර්තා විය. ආණ්ඩුවට ඕනෑවටත් වඩා ප්‍රශ්න තිබේ. නැති ප්‍රශ්නයක් ඇති කර ආණ්ඩුව තවත් උගුලක පටලවන නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ කූට උපාය පරාජය කළ යුතුය.

මෙම සිදුවීමත් සමඟ නාගරික සංවර්ධන අධිකාරියේ සිදුවන බරපතළ වංචා දූෂණ සම්බන්ධ ලිපි ගොනු මාධ්‍යයට ලැබෙමින් පවතින බවද මේ උදවියට මතක් කර දිය යුතුය. නිලධාරීන්ගේ මතය වන්නේ ඇමැතිවරු ආවෝ ගියෝ අපි හැමදාමත් ඉන්නවා කියන එකය. ජනතාව මේවා සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට ඔවුන් ඕවා ඇමැතිගේ වැඩ අපට කරන්නට දෙයක් නෑ යනුවෙන් පවසා ඇඟ බේරා ගනිති. බොහෝවිට ඔවුන් මෙවැනි ක්‍රියාවල නිරත වන්නේ නව ඇමැතිවරයෙක්, අලුත් සභාපතිවරයෙක් පැමිණිවිටය.

බි්‍රතාන්‍ය පාලන යුගයේ පටන් මෙරට පැහැදිලි නිවාස ප්‍රතිපත්තියක් තිබිණි. කොළඹ නගරයේ වතු නිවාස බිහිවූයේ යුරෝපයේ කාර්මික විප්ලවයෙන් පසු මෙරට බිහිවූ කර්මාන්ත ව්‍යාපාර ආදියෙහි නියැළුණු සේවක පිරිස් සඳහා ඉදිකර දුන් නිවාස වැඩසටහන් තුළිනි. නාගරික සනීපාරක්ෂක ආඥා පනත සම්මත කරන ලද්දේ 1882දීය. නිවාස සහ නගර වැඩිදියුණු කිරීමේ පනත 1915දී සම්මත කරන ලදී. 1942 ගෙවල් කුලී සීමා කිරීමේ පනත සම්මත කෙරිණි. එදා සුදු ආණ්ඩුව පවා නාගරික නිවැසියන්ගේ සනීපාරක්ෂක පහසුකම් කෙරෙහි දැඩි උනන්දුවකින් ක්‍රියා කළේය.

රාජ්‍ය නිවාස ප්‍රතිපත්තිය සකස් කොට කොළඹ නගරයේ පදිංචිකරුවන් සඳහා මහල් නිවාස ඉදිකිරීමේ වැඩසටහන ආරම්භ කරන ලද්දේ 1970 සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය විසිනි. එම රජයේ නිවාස ඇමැති පීටර් කෙනමන් විසින් නිවාස දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. එහි අරමුණ වූයේ පෞද්ගලික අංශයේ කුලී නිවාසවල පදිංචි වී දැඩි සූරාකෑමකට ලක්ව සිටි නාගරික පුරවැසියන් නිවෙසක හිමිකරුවන් කිරීමය. එකල ඉදි වූ මහල් නිවාසවල අද ජීවත්වෙන්නේ තුන් වැනි පරම්පරාවය. අද ඔවුහු එම නිවාසවල හිමිකරුවෝය. ඉනික්බිතිව බලයට පැමිණි කිසිදු ආණ්ඩුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ආණ්ඩුව මෙන් නිවාසවලින් මිනිසුන් පලවා හැරීමට ක්‍රියා කළේ නැත.

එජාපයේ අගමැති රණසිංහ ප්‍රේමදාස නිවාස දස ලක්ෂයේ වැඩසටහන යටතේ කොළඹ නගරයේ මහල් නිවාස විශාල ප්‍රමාණයක් ඉදිකළේය. නාගරික සංවර්ධන අධිකාරියත්, නිවාස සංවර්ධන අධිකාරියත් පිහිටුවන ලද්දේ එක්සත් ජාතික පක්ෂ පාලනය තුළය. ‘හිසට වහලක් හිතට නිවනක්’ අගමැති ප්‍රේමදාසගේ නිවාස ප්‍රශ්නය විසඳීමේ පුරෝගාමී සටන් පාඨය විය. නාගරික සංවර්ධන අධිකාරියටත් නිවාස සංවර්ධන අධිකාරියටත් එදා පැවරුණු වගකීම වූයේ නිවාස දස ලක්ෂයේ ඉලක්කය ජය ගැනීමය. නාගරික සංවර්ධන අධිකාරියේ ලොක්කෝ පදිංචිකරුවන් නිවාසවලින් ඇද දමන්නට එදා ප්‍රේමදාස අගමැතිට යෝජනා කළා නම් ඔවුන්ට අත්වන ඉරණම සිතාගත හැකිය.

අපට දැනගන්න ලැබී ඇති අන්දමට කොළඹ මහල් නිවාසවල පදිංචිකරුවන්ට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලබා දී ඇති මෙම අනීතික නියෝග වහා හකුළා ගන්නා ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් සහ අගමැති දිනේෂ් ගුණවර්ධනගෙන් ලිඛිත ඉල්ලීම් කර තිබේ. හිසට වහලක් හිතට නිවනක් යන්න නාගරික සංවර්ධන අධිකාරියේ ලොක්කන්ට වැටහෙන්නේ නැතිනම් ඔවුන්ට තේරෙන භාෂාවෙන් එය වටහා දීම ආණ්ඩුවේ වගකීමය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අය-වැය කතාවේදී පොරොන්දු වූ පරිදි කොළඹ නගරයේ මහල් නිවාසවල පදිංචි එහෙත් හිමිකම් ඔප්පු නැතිව විඳවන නාගරික වැසියන්ට එම නිවාසවල අයිතිය ලබාදෙනු ඇතැයි ඔවුහු මහත් බලාපොරොත්තු දල්වා සිටිති.

බුද්ධිසිරි ධර්මප්‍රිය