මනස සුවපත් කරන ප්‍රායෝගික භාවනාව

0
26

අප පසුගිය සති කිහිපය තුළ සාකච්ඡා කළේ සමථ භාවනා ක්‍රම පිළිබඳවයි. මෛත්‍රි භාවනාව, සක්මන් භාවනාව, ධාතු මනසිකාරය, ආනාපානසතිය සහ මරණ සතිය යනාදී භාවනා තුළින් සිහිය උපදවා ගන්නා ආකාරයත් ඒ තුළින් ඔබගේ ජීවිතය යහපත් අයුරින් සකස් කරගන්නා ආකාරයත් පිළිබඳව අප ඔබව දැනුවත් කළා. අද මේ ලිපිය තුළින් අප සාකච්ඡා කිරීමට උත්සාහ ගන්නේ අනෙක් භාවනා ක්‍රමය වන විපස්සනා භාවනාව පිළිබඳවයි.

ලෝකය තුළ ජීවත්වන මිනිසුන් බහුතරයක් විවිධ මානසික පීඩාවලින් පෙළෙන අතර ඔවුන් ඒවායින් මිදීමට විවිධ උපක්‍රම භාවිත කරයි. වේදනාව කියන දෙය අපගේ ජීවිතවල නොමැති නම් අපේ ජීවිතය කුමනාකාර වෙයිද කියා මඳකට සිතන්න.

එය ඉතාමත් සතුටක් ලෙස ඔබට සිතිය හැකියි. නමුත් මා සිතන ආකාරයට නම් වේදනාව යනුවෙන් දෙයක් නොමැති වූ විට ජීවිතය නීරස දෙයක් වීමට පුළුවන්. වේදනාව නිසා තමයි මිනිසුන් සතුට සොයා ගැනීම සඳහා විවිධ අත්හදා බැලීම් සිදු කරන්නේ. වේදනාව නොමැති වුවොත් මිනිසුන් ගස් ගල් මෙන් සිටීවි. එම නිසා වේදනාව කියන්නේ අපිට අපූරු දේවල් උගන්වන හැඟීමක් ලෙස පෙන්වා දීමට පුළුවන්. සෑම මනුෂ්‍යයෙක්ම සැපදායී වේදනාවට කැමැත්තක් දක්වනවා. එවැනි ස්ථානයක් හමු වූ විට ඔවුන් එවැනි තැනක නතර වෙනවා.

සෑම මනුෂ්‍යයෙක්ම වේදනාව පසුපස හඹා යනවා යැයි කිවහොත් එය නිවැරදියි. අපට භෞතික වස්තුවකට ආසාවක් ඇති වුවහොත් සත්‍ය වශයෙන්ම අප ආසාවක් ඇති කරගන්නේ එම භෞතික වස්තුවට නොවෙයි. එම වස්තුව නිසා හටගන්නා වේදනාවටයි. උදාහරණයක් ලෙස ගතහොත් ඔබ දරුවන්ට ආදරය කරනවා යැයි පවසනවා. නමුත් ඔබ සැබැවින්ම ආසා කරන්නේ දරුවන් නිසා හටගන්නා වේදනාවටයි. ඔබේ ගත වූ ජීවිත කාලය දෙස විමසිල්ලෙන් බැලුවහොත් ඔබට මේ කාරණාව තේරුම් ගත හැකියි.

කුඩා කාලයේ මවුපියන් දරුවන්ට පවසන්නේ ඔබ හොඳින් ඉගෙන ගන්න නැත්නම් වැඩිහිටියෙක් වූ පසු ඔබට දුක් විඳින්න සිදුවේවි කියලයි. එය අනාගතේදී ලබාගන්නට පුළුවන් සැප වේදනා සඳහා දරුවාව පුහුණු කිරීමක්. ඇයි ඔවුන් එලෙස කරන්නේ? දරුවන්ගේ ජීවිතය වැරදුණොත් මවුපියන්ට එය දුක් වේදනාවක් වන නිසයි. තමන්ගේ සැප වේදනාව සඳහා දරුවන්ට හොඳ ජීවිතයක් උරුම කරදීමට මවුපියන් උත්සාහ කරනවා. දරුවන්ගේ ජයග්‍රහණ සාර්ථකත්වයන් දැක සැපයක් උපදවා ගැනීමට ඔවුන් උත්සාහ කරනවා.

මනුෂ්‍යයෙක් බොහෝ මුදල් උපයා සතුටු වන්නේ එම මුදල් කොළ දැකීමෙන් නොවෙයි. ඒ පිළිබඳව හටගන්නා වේදනාවකිනි. අප තවත් කෙනෙක්ව විවාහ කරගන්නේ සැප වේදනාවන් විඳ ගැනීමටයි. මේ තුළින් අප පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ එය වැරදි දෙයක් බව නොවෙයි. සත්‍ය වශයෙන්ම එය සිදුවන ආකාරය පිළිබඳව ඔබට අවබෝධ කර දීමටයි. එම නිසා නිගමනවලට එළැඹීමෙන් තොරව නිදහසේ මේ ලිපිය කියවන්න.

මේ ආකාරයට සැප වේදනාවන් පසුපස හඹා යන මිනිසුන්ට නොසිතූ ලෙස, බලාපොරොත්තු නොවූ ලෙස දුක් වේදනා විඳීමට සිදුවනවා. මෙලෙස සැප වේදනාව අපේක්ෂා කළ මිනිසුන් දුක් වේදනාව ප්‍රතික්ෂේප කරනවා. මේ හේතුවෙන් විවිධ මානසික පීඩා ඇති වනවා. ඒවා ආතතිය, මානසික අවපීඩනය ආදී රෝග ලෙස නම් කර තිබෙනවා.

මගේ පළමු විදෙස් ධර්ම දේශනාවේදී එක්තරා මවක් තම දරුවා පාසල් යෑමට අකමැත්තක් දක්වන බවත්, එයට හේතුව දරුවාට පාසලේ අනෙකුත් දරුවන් වාචිකව හිරිහැර කරන බවත්, ඒ සඳහා ධර්මය තුළින් ලබාදෙන පිළිතුර කුමක්ද යන්නත් එම මව මගෙන් විමසුවා. මා ඇයට දුන් පිළිතුර වන්නේ මාස දෙකක් පමණ කාලයක් දරුවාව සටන් කලාව පිළිබඳ ඉගෙනීමට හොඳ පන්තියකට ඇතුළත් කරන ලෙසයි.  එම උපක්‍රමය නිවැරදි ලෙස ක්‍රියාකළ බව පසුව මට දැනගන්නට ලැබුණා.

 බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටි සමයේ සිටි එක්තරා භික්ෂුවක් අධික ලෙස තම ශීලය විශ්වාස කළා. එම භික්ෂුව සිතුවේ තමන්ගේ ශීලය නිසා සතා සිවුපාවාගෙන් පවා ආරක්ෂාවක් ලැබෙයි කියලා. මේ අධික විශ්වාසය නිසා එම භික්ෂුව දිනක් කැලෑවක අලියකු ගමන් ගන්නා මඟ ගමන් කළා. නමුත් එම භික්ෂුව අලියාගේ ප්‍රහාරයට ලක් වී තුවාල ලැබුවා. මේ සියලු තොරතුරු දැනගත් බුදුරජාණන්වහන්සේ එම භික්ෂුවගේ විශ්වාසය නිවැරදි නොවන බව පැවසුවා. එම භික්ෂුව ශීලය ආරක්ෂා කළ බව හෝ බණ භාවනා කළ බව වනයේ වාසය කළ සතුන්ට අදාළ නොවන බව උන්වහන්සේ පැවසුවා. සතුන් සර්පයන්ගෙන් ආරක්ෂා වී ගමන් කිරීම තමන් කළ යුතු බව උන්වහන්සේ පැවැසුවා.

 මේ ආකාරයට සමාජය තුළ ජීවත්වන අපට මුහුණ පාන්නට වන ගැටලුවලින් මිදී ජීවත් වීමට විවිධ උපක්‍රම භාවිත කරන්න පුළුවන්. පළමුව අප අපව තේරුම් ගත යුතුය. ඉන් පසුව අපට අප ජීවත්වන සමාජ පරිසරය ගැන අවබෝධයක් ලබා ගත හැකියි. ඒ අනුව අපට මුහුණ පෑමට සිදුවන ගැටලුවලට පිළිතුරු සොයා ගතහැකියි.

ජපානයේ එක්තරා සෙන් ගුරුවරයෙක් මරණාසන්නව රෝගීව සිටින විට ඔහුගේ ගෝල ශිෂ්‍යයන් ඔහු වටා රැස්ව ඔහුගේ අවසන් උපදේශය බලාපොරොත්තුවෙන් සිටියා. මේ අතර සිටි එක් ශිෂ්‍යයෙක් ගුරුවරයා වෙත නොගොස් කඩ සාප්පුවක් සොයා ගියා. මේ බව දුටු අය ඔහු කොහේ යන්නේදැයි විමසුවා. තම ගුරුවරයා කේක් කෑමට ඉතා ප්‍රියකරන බැවින් කේක් මිලදී ගැනීමට යන බව ඔහු පැවසුවා.

කෙසේ හෝ ගුරුවරයා අවසන් සුසුම් හෙළීමට පෙර කේක් රැගෙන පැමිණි ශිෂ්‍යයා ගුරුවරයාට එය පිළිගැන්වුවා. කේක් කෑල්ලක් අනුභව කිරීමෙන් පසුව ගුරුවරයා කේක් හරිම රසයි යනුවෙන් පැවසුවා. ඉන් පසුව ඔහු මිය ගියා. තම ගුරුවරයා කිසිම අවසන් උපදෙසක් ලබා නොදුන් බව පවසමින් ගෝල ශිෂ්‍යයන් මැසිවිලි නැඟුවා. කේක් රැගෙන ආ ශිෂ්‍යයා පැවසුවේ ගුරුවරයා අවසන් උපදේශය ලබාදුන් බවයි. “කේක් හරිම රසයි” යනු එයයි. එය ඇසූ අනෙක් ශිෂ්‍යයන් විස්මයට පත් වුණා. කේක් රසවින්ද ගුරුවරයාට මරණ බිය දැනුණේ නැහැ. ඔහු ඒ මොහොත අත්වින්දා එයයි උපදෙස වන්නේ. වර්තමාන මොහොත තුළ ජීවත් වීම වේදනාව නැතිකරන මාර්ගයයි.

ඔබට යම් කාර්යයක් කිරීමේදී මානසික පීඩාවක් ඇතිවෙනවා යැයි මොහොතකට සිතන්න. එම පීඩාව ඇතිවන්නේ ඔබ එම කාර්යය අවසන් කිරීමට උත්සාහ කිරීම නිසයි. මා හට යම් දේශනයකට, නිර්දේශිත මාතෘකාවක් සමඟ ආරාධනාවක් ලැබුණු විට මම එම දේශනය අරම්භ කිරීමට මොහොතකට පෙරයි එම මාතෘකාව කුමක්ද කියා බලන්නේ. දේශනය ආරම්භ කළ මොහොතේ සිට අවසන් කිරීමට උත්සාහ කරන්නේ නැහැ. මම දේශනය සිදු කරගෙන යනවා. ප්‍රශ්න අසන අයට පිළිතුරු ලබා දෙනවා. එතැනින් එහාට ඒ පිළිබඳව අනවශ්‍ය පීඩාවක් ඇති කරගන්නේ නැහැ.

උදාහරණයක් ලෙස ඔබ යම් ස්ථානයකට ගිය පසු එතැන සිටින දහසක් පමණ පුද්ගලයන් සඳහා තේ සාදන ලෙස ඔබට උපදෙස් ලැබෙනවා. ඔබේ උදවුවට කිසිවෙක් නැහැ. ඔබට තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය පමණක් තිබෙනවා. ඔබ වගේම ඕනෑම කෙනෙක් මෙවැනි අවස්ථාවක කලබලයටත්, ආතතියටත් පත්වෙනවා. ඒ වගේම ඔබට උපදෙස් ලැබෙනවා එය පැයක් ඇතුළත සාදා නිමකරන ලෙස. එවිට ඔබ තවත් ආතතියට පත්විය හැකියි.

නමුත් මා ලබාදෙන උපදෙස නම් ඒ කිසිම දෙයක් ගැන සිතන්න එපා, ඔබ තේ හදන කාර්යය පමණක් කරන්න. තේ සාදා නිම කරන්න උත්සාහ ගන්න එපා. ඔබ තේ සාදන එක රසවිඳීමට උත්සාහ කරන්න. ඔබ අනිවාර්යයෙන්ම තේ කෝප්ප දහසක් සාදා නිම කරනවා. පෘථිවියේ ජීවත්වන බොහෝ මිනිසුන් වෙහෙසට පත්වන්නේ වැඩ කිරීමෙන් නොවෙයි. වැඩ ගැන කල්පනා කිරීමෙනුයි. ඔබ ඔබට නියමිත වැඩ කොටස ඉටු කරන්න. ඒ ගැන අධික ලෙස කල්පනා නොකරන්න.

විපස්සනා භාවනාව තුළින් ඔබට ඉහත පැහැදිලි කළ ආකාරයේ ජීවිතයක් ගත කිරීමට පුහුණු කරනු ලබයි. මේ මොහොතේ ගෙවන කාලය තුළ නිවැරදි සිහිය පවත්වා ගනිමින් ජීවත් වීමට පුහුණු වීම තුළ ඔබ කරන කාර්යයන් සාර්ථකව කර ගැනීමටත් සතුටින් ජීවත් වීමටත් හැකියාව ලැබෙයි. එමෙන්ම එමඟින් චිත්ත පීඩාවකින් තොරව ජීවත් වීමටත්, ජීවිතය දෙස යථාර්ථවාදීව දැකීමටත්, සසර මඟ කෙටි කරගැනීමටත් විපස්සනා භාවනාව උපකාරී වේ.

කුශාන්ති අනුරාධා බණ්ඩාර

තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගේ අත්දැකීම්සුරෙන්…