මගේ බඩ විතරක්  පිරුණොත් ඇතිද?

0
23

“නාහං භික්ඛවේ, ලෝකෙන විවාදාමි, ලෝකෝ ච ඛො භික්ඛවේ, මයා විවදති. න භික්ඛවේ, ධම්මවාදී කෙනචි ලෝකස්මිං විවදති. තං තථාගතෝ අභිසම්බුජ්¿ධති අභිසමෙති, අභිසම්බුජ්¿ධත්වා. අභිසමෙත්වා ආචික්ඛති දෙසෙති පඤ්ඤපේති පට්ඨපෙති විවරති. විභඡති උත්තානීකරොතී. මයා භික්ඛවේ, එවං ආවික්ඛියමානේ දෙසියමානේ පඤ්ඤපියමානේ පට්ඨපියමානේ විවරියමානේ.

විභඡියමානේ උත්තානීකයිරමානේ න ජානාති න පස්සති. තම්හං භික්ඛවේ, බාලං පුථුජ්ජනං අන්ධං අචක්ඛුනං අජානන්තං කින්ති කරොමි. (සං.නි. 3 පුප්ඵ සූත්‍රය)

බුද්ධ කාලයේ ප්‍රධාන තැන ගත්තේ බ්‍රහ්ම ආගමයි. තවත් විවිධ දෘෂ්‍ටි රාශියක්ද පැවතුණි. සර්වඥයන් වහන්සේ කිසිවිටෙකත් ඒ ආගම්වල ශාස්තෘවරයන් හෝ ඒ දෘෂ්ටි විවේචනයට හෝ නිග්‍රහ කිරීමට නොයෙදුණහ. ඒවායෙහි වූ ප්‍රතිපදා, අදහස්, එකල තහවුරු වී භාවිත වූ වචන සහ සංකල්ප සුදුසු නම් උපයෝගී කරගත් සේක. නිදසුනක් ලෙස එකල වානප්‍රස්ථ යෝගී බ්‍රාහ්මණයන් පුහුණු කළ සමථ භාවනාව එක්තරා මට්ටමක් දක්වා උන්වහන්සේ නිර්වාණ ප්‍රතිපදාව තුළ සිය ශ්‍රාවකයන්ට අනුදැන වදාළහ.

බෝසතාණන් වහන්සේ මේ ලෝකයට පහළ වනවිටත් ඉන්දියාව පුරා විහිදුණ විවිධ ආගම් සහ ඒවාට අදාළ ශාස්තෘවරයන් විශාල ප්‍රමාණයක් සිටිය බව අප හොඳින් දන්නා කරුණක්. නමුත් බෝසතාණන් වහන්සේ ලෝකයට බිහිව උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුව එලෙස පැවති බොහොමයක් ආගම් එකල සමාජය තුළින් පිරිහෙන්නට පටන් ගත්තා. මොකද සියලු දෙනාගේ හිත සුව පිණිස දේශනා කළ පරම සත්‍ය බුද්ධ දේශනාව තුළ තිබූ බව එකල ජනතාව තේරුම් ගත්ත නිසයි.

නමුත් එකල පැවැති ආගම් බුදුන් වහන්සේ කිසිම අවස්ථාවක විවේචනයට හෝ ‍ෙදා්ෂාරෝපණයට ලක් කළේ නැහැ. එම ආගම්වල තිබූ යම් යම් හොඳ කාරණා අනුමත කළා. බුදුවරයෙක් කියන්නේ තුන් කල් දක්නා නුවණක් ඇති උත්තම පුරුෂයෙකි.

නමුත් උන්වහන්සේ තමන් සොයා ගත් ධර්මය ගැන උඩඟුකමින් හෝ ආඩම්බරකමින් කතා කළේ නැහැ. උන්වහන්සේ දේශනා කළේ ගම් නියම් ගම් සැරිසරමින් සෑම දෙනාගේම හිතසුව පිණිස කටයුතු කරන්න කියලයි.

උන්වහන්සේගේ චරිතය තුළ සාධාරණ බව හා මානවහිතවාදී බව මැනවින් පෙන්නුම් කළ අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඉහත දැක්වෙන්නේ එයින් එක් උදාහරණයක් පමණයි. අද සමාජය සාධාරණ බවින් පිරිහී තිබෙනවා. බොහෝ දෙනා කටයුතු කරන්නේ ආත්මාර්ථකාමීත්වයෙන් යුක්තවයි. ක්‍රීඩාවක් කළත්, දේශපාලන ව්‍යාපාරයක් කළත්, ව්‍යාපාරයක් කළත්, සිදුකරනවිට සමාජය ගැන හෝ අසල්වැසියා ගැන හෝ නොසිතා කටයුතු කරන වාර අනන්තය.

අප්‍රමාණය. වර්තමානයේ ඇතිවී තිබෙන බොහොමයක් ප්‍රශ්න ඇතිවී තිබෙන්නේද මිනිසුන්ගේ තිබෙන දැඩි ආත්මාර්ථකාමී බව නිසාය. මිනිසුන් කෙසේ හෝ “මගේ බඩ පිරුණම ඇති“ කියන මතයේ සිට කටයුතු කරන තාක්කල් සමාජය දිනෙන් දින පිරිහීම වළක්වන්නට බැරිය. මිනිසා කිසිම විටෙක ලැබෙන දෙයින් සෑහෙන්නේ හෝ  සතුටු වන්නේ නැහැ. දේවල් පසුපස නිරන්තර හඹායෑමේ නොතිත් දැඩි ආශාව  සමාජයම පසුගාමී කිරීමට හේතු පාදක වෙනවා.

එමනිසා බුදු දහම පිළිබඳ විස්වාස කරන සෑම සියලුම දෙනාම සාධාරණ බවින් සහ මානවහිතවාදීව කටයුතු කිරීම සමාජ ප්‍රගමනයට හේතු වෙනවා. අපි සෑම විටම ඇති දේ ඇති සැටියෙන් දැකීමටත්, වැරදි දෙය බැහැර කිරීමටත් පුරුදු පුහුණු වෙන්න ඕනෑ. උදාහරණයක් ලෙස තමන් ඉදිරියේ යම් පුද්ගලයෙක් වැරැද්දක් කරනවා නම් ඔහුට හෝ ඇයට එම වැරැද්ද පෙන්වාදී සාධාරණව කටයුතු කිරීම වඩාත් උචිතයි. නමුත් අද බොහෝ දෙනා සිදු කරන්නෙ පුද්ගලයෙක් වැරැද්දක් කරනවා දැක දැක එය වැළැක්වීමට කිසිත් නොකර වැරැද්ද සිදුකළාට පසුව ඔහුට හෝ ඇයට අසාධාරණ ලෙස ‍ෙදා්ෂාරෝපණය කිරීමයි.

අද ගොඩක් ප්‍රචණ්ඩකාරීන් එසේත් නැත්නම් මැරයන් බිහිවී තිබෙන්නේ කිසියම් හෝ අවස්ථාවක සමාජය විසින් ඔවුන්ව දැඩි අසාධාරණයකට ලක්කර ඇති නිසාය. පුද්ගලයන්ව අපරාධකාරයන්, මිනීමරුවන්, මංකොල්ලකරුවන්, සොරුන් බවට පත් කරන්නේ මානවහිතවාදී බව පසෙකලා අසාධාරණ ලෙස කටයුතු කරන සමාජ ඒකක විසින්මයි. අවසානයේදී ඔවුන් සමාජයටම පිළිලයක් බවට පත් වෙනවා.

 බුද්ධ චරිතය අධ්‍යයනයේදී ඔබ “මාතුපෝසක” ජාතකය ගැන අසා ඇතිවාට සැකයක් නැහැ.

අප මහා බෝසතාණන් වහන්සේ මුහුදුබත් වූ නැවක සිරවී සිටි තම මෑණියන්ව පිට මත රඳවාගෙන සයුරේ සිට බොහෝ දුර පිහිනාගෙන සයුරෙන් ගොඩට ගෙනාවා. ගෞතම බුදුන් බුද්ධත්වයට පත්වීම සඳහා නියත විවරණ ලැබුවේද මේ අවස්ථාවේදී. ඉන් ආරම්භ කළ දීර්ඝ චාරිකාව අතරතුර පාරමිතා, උපපාරමිතා සහ පරමත්ත පාරමිතා දහම් පුරමින් ලෝකසත්ත්වයා සංසාර දුකින් එතෙර කරවීමේ ඒකායන අධිෂ්ඨානයෙන් යුක්තව ක්‍රියා කළා. ඒ ගමන අතරතුර බොහෝ දුක්කම්කටොලු විඳිබව පන්සිය

පනස් ජාතක කතා පොත් වහන්සේ තුළින් අප ඉගෙන ගෙන තිබෙනවා. ඉතින් බෞද්ධයන් වන අපත්, අප ශාස්තෘවරයාණන් වහන්සේ අනුගමනය කරමින් සෑම මනුෂ්‍යයකුටම කොන්දේසි විරහිතව ආදරය කිරීමත්, මෛත්‍රිය වැඩීමත්, උපේක්ෂාවෙන් යුතුව කටයුතු කිරීමත් වැදගත් වෙනවා. අනෙක් ආගම්වලටත් නිසි ගෞරව දක්වමින් සියලු දෙනාටම සාධාරණ ලෙස සමාජය තුළ ජීවත් වීමට ඉඩ සලස්වන්න ඕනෑ.

ඒ වගේම තමන්ට තිබෙන දෑ හැකි අයුරින් අනෙක් අයට ලබාදීලා ඒ අයගේ ජීවිතත් එළිය කිරීමට කටයුතු කිරීම අද කාලයට වඩාත් උචිතයි. අද රටේ තිබෙන ආර්ථිකයත් සමඟ අප සැම දෙනාම ජීවත් වන්නේ ඉතාමත් අසීරුවෙන් නිසා ඇති අය නැති අයටත් උදවු උපකාර කරමින් මානව හිතවාදීව කටයුතු කරමු. එවිට අප ජීවත් වන සමාජය සැමට සාධාරණ සහ ජීවත් වීමට ආසා හිතෙන තැනක් බවට පත් වේවි.

දුමිදු ලංකා බණ්ඩාර

පූජ්‍ය මාතර විජයසීහ හිමි

තරුණ දම්සභා බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ