භාවනා කරන්න ධර්මය අසන්න යන්න රීදිහේන ආරණ්‍යයට

0
22

තැළුණු, රිදුණු විඩාබර සිත් සුවපත් කරලීමට නම් මේ කලබලකාරී වටපිටාවෙන් මිදී මොහොතකට හෝ සිත සුවපත් කරන නිස්කලංක සාමකාමී පරිසරයට යා යුතුය. විසිරුණු සිතුවිලි එක්රැස් කරගනිමින් ඒ ආකාරයෙන් සිතට සහනයක් ලබාගත හැකි නම් එය අපි සැමටම ඉතා වැදගත් වේවි. දින, සති, මාස, අවුරුදු ගණන් අවිවේකීව ඉතාම කාර්යබහුල ආකාරයට මුදල් පසුපසම හඹායන මිනිසුන් සමඟ ගැටීමෙන් ඔබත් විඩාවට පත්වෙලාද? එසේ නම් ආගමික පසුබිමක් සහිත ඉතා නිස්කලංක පරිසරයක පිහිටා තිබෙන රිදීහේන ආරණ්‍ය සේනාසනය ඔබේ ගත සිත සුවපත් කරගැනීම සඳහා සුදුසුම ස්ථානයක් වේවි. ඔබත් මාතර ප්‍රදේශය ආසන්නයේ සිටින අයෙක් නම් දීයගහ මාතර ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම රිදීහේන ආරණ්‍ය සේනාසනය සමඟ ඔබට පහසුවෙන්ම සම්බන්ධ විය හැකිය.

මාතර දිස්ත්‍රික්කයේ මාතර නගරයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුර ගෙවමින් මාතර _ හක්මන මාර්ගයේ පැමිණි විටදී මෙම ආරණ්‍ය සේනාසනයට ළඟා විය හැකියි. තවද මාතර-මැද්දවත්ත මාර්ගයේ පැමිණීමෙන්ද ඔබට මෙම ස්ථානයට පහසුවෙන්ම ළඟා විය හැකියි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඇල්ලකන්ද රක්ෂිතයේ කුඩා බිම්කඩක පිහිටා ඇති මෙම ආරණ්‍ය සේනාසනය භාවනා කුටි ඇතුළුව කුටි 3කින් පමණ සමන්විතය. මහා විහාරවංශික ශ්‍යාමෝපාලි වනවාස නිකායට අයත් මාතර නගරයේ පිහිටා ඇති එකම ආරණ්‍යය සේනාසනය වන්නේත් මෙම ආරණ්‍යය වේ. 2018 වසරේදී පූජ්‍ය මාතර කස්සප ස්වාමීන් වහන්සේ සහ බණ්ඩාරවෙල සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් මෙම රක්ෂිත කොටස ආරණ්‍ය සේනාසනයක් වශයෙන් ආරම්භ කෙරිණි.

රක්ෂිත වනාන්තරයකට මායිම්ව පිහිටා තිබීම හේතුවෙන් නොයෙක් අලංකාර ජල දහරා, දිය උල්පත්, ඇළ ‍ෙදාළින් පරිපූර්ණ වූ පරිසර පද්ධතියක් තුළ පිහිටා තිබීමත්, නොයෙක් විසිතුරු වටිනා ගහකොළ මෙන්ම නොයෙක් වර්ගයේ සතා සිවුපාවුන් සහ කුරුලු විශේෂ රාශියක්ද මෙහිදී දැකගත හැකිය.

තවද මෙහිද භාවනායෝගීව කටයුතු කරන භික්ෂුන් වහන්සේට අවශ්‍ය දානය ආදිය පිළිගැන්වීමට සහ උන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීමටත් පින් කැමැති ඔබ තුළ කැමැත්තක් ඇත්නම් ඒ සඳහා අවශ්‍ය තොරතුරු දැන කියා ගැනීමෙන් අනතුරුව මෙම භූමිය වෙතට ඔබටත් පියනැඟිය හැකිය.

විශේෂයෙන්ම ඔෟෂධීය වටිනාකම් සහිත වටිනා වෘක්ෂලතාවලින් සමන්විත මෙවැනි පරිසරයකට පැමිණෙන විටදී පරිසරයට හා එහි ජීවත්වන සතා සිවුපාවුන්ට හානියක් නොවන ආකාරයට කටයුතු කිරීමත් ඔබ සතු වගකීමකි. තවද මෙවැනි ආගමික ස්ථානයකට පිවිසීමේදී තැනට උචිත ආකාරයේ ඇඳුම් පැලඳුම්වලින් සැරසී මත්පැන්, මත්ද්‍රව්‍යවලින් තොරව ගමන් කිරීමටද ඔබ දැනුවත් විය යුතුය.

මෙම ආරණ්‍ය සේනාසනයේ ඇති අනෙක් සුවිශේෂී කාරණය වන්නේ මීට වසර 60ක පමණ කාලයක් පුරාවට මෙම වන සංරක්ෂිත කොටසේ වැඩ වාසය කොට අපවත් වූ බෝධීන් වහන්සේ අවට ගම්වාසීන් තමන්ගේ ආගමික කටයුතු සිදුකිරීමට උපයෝගී කරගැනීමයි. එම බෝධීන් වහන්සේගේ අභාවයෙන් පසුව මෙම ආරණ්‍ය සේනාසනය තුළ ජය ශ්‍රී  මහ බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේනමක් මහත් ගෞරවයෙන් යුතුව රෝපණය කරවීමට මෙම ආරණ්‍ය සේනාසනයේ ආදි කර්තෘන් වහන්සේ සහ වර්තමාන ආරණ්‍ය සේනාධිපති ස්වාමීන් වහන්සේ වන පූජ්‍ය මාතර කස්සප ස්වාමීන් වහන්සේ කටයුතු කරන ලදී. ඒත් සමඟම මෙම ආරණ්‍ය සේනාසනය ජනී ජනයාගේ මහත් ගෞරවයට හා වන්දනීයත්වයට මෙන්ම පූජනීයත්වයටද පත් විය.

මෙම රිදීහේන ආරණ්‍ය සේනාසනය හා සම්බන්ධ වී ආගමික වැඩසටහන්වල නිරත වීමට ඔබත් කැමැති නම් 0714082724 යන දුරකථන අංකය ඇමතීමෙන් ඒ සඳහා අවශ්‍ය සියලුම විස්තර දැන කියාගත හැකිය.

දිනූෂා මනෝරි නිශ්ශංක