පේරාදෙණියේදි වෑන් රකුසාට බිලි වුණු හීරැස්සගල රෝස මල

0
86

අප මරණයට ගොදුරු වන්නේ කොයි මොහොතේදී දැයි නොකිව හැකිය. ඇතැම් විට අප ඒ දෙවියන් වඳින්නට යන මොහොතේ විය හැකිය. පසුගිය 9 වැනිදා සවස මහනුවර ගැටඹේ පේරාදෙණිය පාරේදී සිදුවූයේ එවැන්නකි. ඒ මාරක රිය අනතුර සිදු වූයේ රියැදුරුගේ පාලනයෙන් ගිලිහුණු වෑන් රියක් දේවස්ථානකට යමින් සිටි එකම පවුලේ මව, පුතු, සහ දියණිය යටකර ගෙන යෑමෙනි. මේ මාරක අනතුරින් ජීවිතක්‍ෂයට පත්වූයේ හීරැස්සගල පදිංචිව සිටි 26 හැවිරිදි යොහන්සි සෙව්වන්දිකා දියණියය. මේ බිහිසුණු රිය අනතුරින් ඇගේ මවත් සොහොයුරාත් තුවාල ලැබූහ.

පළමුව පේරාදෙණියේ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කෙරුණු මවත් පුතාත් පසුව මහනුවර ජාතික රෝහලට මාරු කර යැවිණි. ඉකුත් 9 වැනිදා මේ මවත් පුතාත් දියණියත් මහනුවර හීරැස්සගල රිච්මන්ඩ් හිල් පෙදෙසෙහි නිවෙසින් පිටව ගොස් ඇත්තේ පල්ලියේ පූජාවට සහභාගි වනු පිණිසය. අප විපතට පත් අයගේ නිවෙස සොයා යන විට ප්‍රතිකාර ලැබ පැමිණ සිටි මව මානෙල් පෙරේරා මහත්මිය තම එකම දියණියගේ වියෝවත් සිදුවූ තුවාලත් හේතුවෙන් මානසිකව මෙන්ම කායිකව ඇද වැටී සිටියාය. එහෙත් ඇය අපහසුතාවෙන් වුවද අපට සිද්ධිය හෙළි කළාය.

“අපේ පවුලෙ හතර දෙනයි හිටියෙ. අපි බොහොම සතුටින් හිටිය පවුලක්. දරුවන්ගෙ තාත්තා මීට අවුරුදු පහකට උඩදී නැති වුණා. එයා නැතිවෙලා මේ 18 වැනිදාට හරියටම අවුරුදු පහයි. දුව කිව්ව අම්මෙ තාත්තාගෙ පින්කම වෙනුවෙන් මොනව හරි කරන්න ඕනෑ කියලා. එයාම ගෙවල් ‍ෙදාරවල් අස්පස් කරලා අතු ගාන්නක් පටන්ගත්ත.” ඇය කඳුළු පිරි වතින් කියන්නට පටන් ගත්තාය.

මේ පවුලේ අය හොඳ කතෝලික බැතිමත්හුය. ඉඩ ලද හැම මොහොතකම ඔවුහු දේවස්ථානයට ගියෝය.

මියගිය සෙව්වන්දිකා මෙනෙවියද කුඩා කල සිටම ආගමික භක්තියෙන් යුතු තැනැත්තියක් වූවාය. මහනුවර යහපත් එ‍ෙ¾ඩ්රාගේ කන්‍යාරාමයේ ආදි සිසුවියක වූ ඇය උසස් පෙළ හැදෑරුවේද එහිය. ඇය විවෘත විශ්වවිද්‍යාලයේ පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳව ඩිප්ලෝමාවක්ද ලැබ සිටියාය.

“අපේ දූ හරි අහිංසකයි. එයා කොච්චර අහිංසකද කිව්වොත් ඉස්කෝලෙ යාළුවෝ එයාට කිව්වෙ ‘රෝසමල’ කියල” මව යළිදු වැලපෙන්නට වූවාය.

“ගැටඹේ පේරාදෙණිය පාර අපිට හොඳට පුරුදු පාරක්.

දරුවෝ පොඩි කාලෙ අපි එයාලව ඉස්කෝලෙ එක්කගෙන ගියෙත් අපි කට්ටිය පල්ලි ගියෙත් ඔය පාරෙමයි. කවදාවත් අපි අනතුරකට මූණ දීලා නැහැ. මේ ඉතින් අනතුරක් වුණාමයි!

‘එදා අපි චර්ච් එකට යන්න ගියේ පයින්මයි. පයින්ම ගියේ පූජාවට වෙලාව තිබුණු හින්දයි. පස්සෙන් ආපු වෑන් එකක් ‘ඩෝං’ ගාලා හැප්පෙනකං අපි දන්නෙම නෑ. හැප්පෙනකොටම මාව විසිවෙලා වැටුණා. ඒත් මට සිහිය තිබුණා. මම ඇස් ඇරලා බලනකොට පුතා පැත්තක වැටිලා හිටිය. පුතත් නැඟිටලා මට නැඟිටගන්න උදවු කළා. දුව වැටිලා හිටියෙ අනිත් පැත්තෙ. අපි නැඟිට්ටට එයා නැඟිට්ටේ නෑ. එයාට සිහිය නැතිවෙලා ඇති කියලයි මට හිතුණෙ. මං අවට හිටිය අයට කිව්ව ‘අනේ ඉක්මන් කරල අපිව ඉස්පිරිතාලෙට ගෙනියන්න කියලා. ඒ අය කිව්ව ඇම්බියුලන්ස් එකකට කියලයි තියෙන්නේ ඔයාලා හැමෝම ඒකෙ යන්න කියලා.

දුවගෙ පර්ස් එකයි ෆෝන් එකයි අපි අහුල ගත්තා. ඒවට මොකුත් වෙලා නෑ. දුවට සිහිය ආවට පස්සේ දෙන්න ඒව තියාගත්ත. අපිව ඉස්සරලම අරගෙන ගියේ පේරාදෙණියට මං දුව ගැන ‍ෙදාස්තර මහත්තයට කිව්ව. අපි එයා ගැනත් බලනවා කියලා ‍ෙදාස්තර මහත්තයා කිව්ව. හැබැයි අපි ඉන්නකොට දුව ආවෙ නෑ.”

පෙරේරා මහත්මිය කී හැටියට ඔවුන් හප්පා යට කළ වෑන් රිය පදවා ඇත්තේ වයස 21ක 22ක තරුණයෙක්. අනතුරින් පසු එතැනට පැමිණි ඔහු අනතුර සිදු වූ අවස්ථාවේ තමාට නින්ද ගොස් තිබූ බව කියා ඇති වග තමන්ට ආරංචි වී ඇතැයි කීවාය.

“මගෙ දුවව දුන්න දෙවියන් වහන්සේම ආපහු ගත්තා. අනේ එයාගේ ඇඟ උඩින් වාහනේ යද්දී එයාට කොච්චර රිදෙන්න ඇද්ද? දැන් මොනවා කිව්වත් මගෙ දුව මට නැති වුණා. මං දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා අපට යුක්තිය ඉෂ්ට කරලා දෙන්න කියලා.”

පියා නැති මේ පවුල ආදරයෙන් රැක බලා ගෙන ඇත්තේ සතෙත් කේශ්වර අල්විස් නමැති පුතුය. ඔහු ජා-ඇළ පෙදෙසෙහි ආයතනයක සේවය කරයි.

“අපිව හැප්පුණු තැන යතුරුපැදියක් තිබුණා. මාව වෑන් එකේ හැප්පිලා ආයෙත් මෝටර් සයිකලෙත් වැදිලා විසි වුණා. මගෙයි අම්මගෙයි ජීවිත බේරුණේ එහෙම වැදිලා විසි වුණු නිසා වෙන්න ඇති. නංගිව වෑන් එකේ වැදිලා ඒ ළඟ තිබුණු විදුලි ට්‍රාන්ස්ෆෝමරයෙත් වැදිලා තිබුණා. එයාගෙ පපුවටයි බෙල්ලටයි හානි වෙලත් තිබුණා. නංගි එතෙන්දීම තමයි නැතිවෙලා තියෙන්නේ. නංගි ආයෙ එන්නෙ නෑ. නංගිට යුක්තිය ඉෂ්ට වෙන්ඩ ඕනෑ! මගේ එකම ඉල්ලීම ඒකයි. අපි හැමදේම කළේ නංගි වෙනුවෙන් එයාට අනිවාර්යයෙන්ම යුක්තිය ඉෂ්ට වෙන්න ඕනෑ!”

කෝකිල සමීර