පිරිමින්ගෙ වැඩ නිසා මනුස්ස දූවරු විතරක් 

0
581

ස්ත්‍රිය නම් විෂය පතුලක් නැති ගැඹුරින් පිරි විලක් වැනිය. එය එතරම්ම අරුම පුදුමය. ස්ත්‍රිය නම් විෂය පථය පිළිබඳව පුරාණයේ පටන් අද දක්වාම විවිධ වියතුන් විවිධාකාරයෙන් විවිධ දෑ වරනඟයි. ස්ත්‍රීවාදය හරහා වුව එය ඉදිරියට නොනවත්වාම ගලා ආවේය. ස්ත්‍රීවාදයේ මව වන සිමොන්දි බෝවා එයාගෙ දෙවැනි ලිංගිකයා (The Second Sex) හරහා මෙතෙක් පැවැති පුරුෂ මූලික ලෝකයට අභියෝග කළා. ඩෙස්මන්ඩ් මොරිස්ගේ ‘ Naked Woman’ එහෙමත් නැත්නම් නිරුවත් ගැහැනිය කෘතිය කියන්නේ ස්‍ත්‍රියගේ ශරීරය සම්බන්ධ බොහෝ දේ පිළිබඳව රචනා කළ කෘතියක්. අද කතා කරන්න යන්නෙ ස්ත්‍රිය ගැන නම් නොවේ මිථ්‍යා කතාවල එන යක්ෂණියන් පිළිබඳව.

සිමොන්දි බෝවා විතරක් නෙමෙයි ඊට පෙරත් පිරිමින්‍ට අභියෝග කරපු ගොඩක් ගැහැනු මේ ලෝකේ සිටියා. ගැහැනියව යක්ෂාවේශ කිරීම අද ඊයේ සිදුවුණු දෙයක් නෙමෙයි. ඒක දැනගන්න බයිබලයේ උත්පත්ති කතාව දක්වාම අපිට දිව යන්න වෙනවා. බයිබලයට අනුව ගැහැනිය මවන්නේ ආදම්ගෙ ඉළ ඇටයෙන්. ඒකෙ අදහස ස්ත්‍රිය කියන්නෙ පිරිමියාගේ කොටසක් කියන එක. හැබැයි ඒ කතාවට අනුව නොකියවෙන එක දෙයක් තිබෙනවා.

ඒ තමයි එයා සම්පූර්ණයි කියන එක. ඒ වගේම ඉළඇටය නැතිවුණා කියන්නෙ පිරිමියා අසම්පූර්ණයි කියන එක. ස්ත්‍රීත්වය කියන්නෙ පරිපූර්ණ දෙයක්. මතකද බටුවංගල රාහුල හාමුදුරුවන්ගෙ රන් කරඬුව නවකතාව. ඒකෙ කතාවෙන්නෙත් මේ සැඟවුණු තාන්ත්‍රික සාරය. ගැහැනියගෙ පරිපූර්ණ බව. පිරිමියාගෙ වුවමනාව වෙන්නෙ මේ පරිපූර්ණ ජීවියාව යටපත් කරන එක. ඒ නිසා තමයි ස්ත්‍රිය යක්ෂණියක් බවට පත් කිරීමට සියලු ක්‍රියාවන් සිදු කරන්නෙ. එහෙනම් අපි කතා කරමු යක්ෂණියන් ගැන. ලැමියා

ලැමියා යනු පුරාණ ග්‍රීක මිථ්‍යා කතාවන්ට අනුව ළමයින් කන යක්ෂණියකි. පසු කාලීනව ඇය රාත්‍රියෙහි සැරිසරන ආත්මයක් ලෙසද හ¾දුන්වා තිබෙනවා.

මුල්ම පුරාණ කතාවලට අනුව ලැමියා සියුස් සමඟ සම්බන්ධකම් පැවැත්වූ පුරාණ ලිබියාවේ රුවින් අගතැම්පත් රැජිනක්. මේ ගැන දැනගත් සියුස්ගේ බිරිය වූ හේරා සියුස් සමඟ ඇති සම්බන්ධයෙන් ඇයට ඉපදුණු ලැමියාගේ දරුවන් පැහැරගෙන තිබෙනවා. මේ දරුවන් අහිමි වීම නිසා ලැමියා උමතු භාවයට පත්වෙනවා.

මේ පළිගැනීම් සහ බලාපොරොත්තු සුන් වීම නිසාවෙන් ලැමියා අතට අහුවෙන ඕනෑම දරුවකු උදුරාගෙන ඔවුන්ව ගිල දමන්න පුරුදු වෙනවා. ඇගේ මේ කුරිරු ක්‍රියාවන් නිසාවෙන් ඇයගේ ශරීර පෙනුම අවලස්සන වෙලා බිහිසුණු යක්ෂණියක් බවට පත් වෙනවා. සියුස් ලැමියාට අනාවැකි කීමේ බලය සහ ඇගේ ඇස් ඉවතට ගෙන නැවත ඇතුළු කර ගැනීමේ හැකියාව ලබා දුන්නේ ඊට පස්සෙ. මේ හේතුවෙන් ලැමියාට නින්ද යන්නෙ නැති අනිද්‍රා  (Insomnia) ගත දිවියක් උරුම වෙනවා. මේත් සමඟම හේරාගේ සාපයට ලක් වූ නිසා ඇයට තවදුරටත් ඇස් වසා ගැනීමට නොහැකි වෙනවා.

පසුකාලීනව ඇය සැරිසරන ආත්මයක් බවට පත් වෙනවා. මේ සැරිසරන ආත්මය තමන්ගේ ලිංගික රුචිය තෘප්තිමත් කර ගැනීම සඳහා තරුණයන් පොලඹවාගෙන පසුව ඔවුන්ගේ මාංසයෙන් පෝෂණය වන එම්පුසා කියන ආත්මයන්ටත් සමානත්වයක් දක්වනවා. මහා කවි ජෝන් කීට්ස් ලැමියා ගැන කාව්‍යයක් පවා ලියනවා. මේ කාව්‍ය ලියන්න කීට්ස්ට ආභාසය ලැබෙන්නෙ ටියානා නම් වංචනිකයෙක මිනිසෙක්ව පරාජය කරන ලැමියා පිළිබඳ ලියවුණු ඇපලෝනියස්ගෙ වාර්තාවක.

මිථ්‍යා කතාවලදී ලැමියාට සර්ප ගුණාංග ආරෝපණය කරලා තිබෙනවා. සමහර විචාරකයන් විශ්වාස කරන්නේ පුරාණයේ සිට යම් යම් අයුරින් ලිමියාගේ අවතාර කලින් කලට ලෝකයට පැමිණෙන බවය. මිථ්‍යාවන්ට අනුව ලැමියා අර්ධ සර්ප ශරීරයක් දරනවා. ලැමියා යනු අර්ධ සර්ප අර්ධ ස්ත්‍රී ශරීරයකින් සමන්විත යක්ෂණියකි.

අෑත අතීතයේදී  ස්පාඤ්ඤයේ, පෘතුගාලයේ සහ ලතින් ඇමරිකාවේ මවුපියන් කොකෝ පත්‍ර භාවිතා කළ තරමටම තම දරුවන් කීකරු කර ගැනීමට, බිය ගැන්වීමට ඇගේ නාමය භාවිත කර තිබෙන බව ඉතිහාසය සාක්ෂි දරනවා.

ඇතැම් මිථ්‍යා කතාවන්හි ඇය ප්‍රොසයිඩන් හෙවත් මුහුදට අධිපති දෙවියාගේ දියණිය ලෙසත් හ¾දුන්වනවා. එහිදී ඇයට සර්ප ශරීරයකට සම මුහුදු රකුසකුගේ ශරීරයක් ඇති බවද කියවෙනවා. චිත්‍ර ශිල්පී ජෝන් විලියම් වෝටර් හවුස්ගේ නිර්මාණ කිහිපයකටම ලැමියා පාදක වෙලා තිබෙනවා.

1492දී පුනරුද යුගයේ ජීවත් වූ ලේඛක ඇන්ජලෝ පොලිසියානෝ ලියූ ලැමියා යනු දාර්ශනික පොතකි. ඔහු එය යොදාගන්නේ තමන්ගෙ ප්‍රතිවාදී දාර්ශනිකයන්‍ට විරුද්ධත්වය පෑම උදෙසා බව තමයි කියවෙන්නෙ. මේ ග්‍රීක ලේඛකයා ලැමියා යන පදය සමාජයේ මැදිහත්කාර කාර්යබහුලත්වයේ සංකේතයක් බවද යෝජනා කරනවා. වෙනත් ආකාරයකින් කිව්වොත් ලැමියා එවැනි විද්වතුන්ගේ කුහකකම විදහා දක්වන සංකේතයක් විධියට ද පෙන්වා දෙනවා.

15 වැනි ශතවර්ෂයේ මැද භාගයේ සිට 16 වැනි සියවස දක්වා, ලැමියා කියන නාමය මායාකාරියන් හ¾දුන්වන්නත් යොදාගෙන තිබෙනවා. Edward Topsell’s History of Four- Footed Beasts (1607) හි ලැමියාව විස්තර කර ඇත්තේ කාන්තාවකගේ උඩුකය ඇති නමුත් එළුවන්ගේ ශරීර කොටස් ඇති විශාල හා අපිරිසුදු පාෂාණ කොටස් වැනි පසුපස කොටසක් ඇති යක්ෂණියක් ලෙසයි.

ඉංග්‍රීසි නිර්මාපකයෙක් වන ඩෝරති හොවෙල් 1920 ගණන්වල ලන්ඩන් ප්‍රොමෙනේඩ් ප්‍රසංගයේදී ශ්‍රීමත් හෙන්රි වුඩ් යටතේ ලැමියා නමින් නාද කාව්‍යයක් රචනා කරනවා. එය 2019 වසරේදී  බීබීසී ෆිල්හාර්මනික් වාද්‍ය වෘන්දය මෙහෙයවන රූමන් ගැම්බා විසින් මෑතකදී පටිගත කර ප්‍රේක්ෂකයා වෙත මුදාහරිනු ලැබීමෙන් ලැමියා ගැන නැවත නැවතත් කතා බහට ලක් වෙනවා.

1982 ටි්‍රස්ටන් ට්‍රැවිස් රචනා කළ ලැමියා නම් නවකතාව 1970 දශකයේ චිකාගෝවෙහි ලිංගික අපරාධකරුවන්ගෙන් පළිගැනීම් කරන ගැහැනියකගේ කතාවක් පාදක කරගෙන ලියවුණු නවකතාවක්. 2009 තිරගත වූ ‘Drag Me To Hell’ නම් ත්‍රාසජනක චිත්‍රපටයේ ප්‍රධාන විරුද්ධවාදියා ලැමියාය. මේ චිත්‍රපටයේ ලැමියා විස්තර කර ඇත්තේ සියලු භූතයන්ට වඩා බියකරු එළුවකුගේ හිස සහ කුර ඇති යක්ෂණියක් ලෙසය.

රික් රිඕඩන් නම් රචකයාගේ ‘The Demigod Diaries’ හි එන සිවුවැනි කෙටිකතාව වන The Son of Magic හි ද ලැමියා පෙනී සිටියි. ඒ කතාවට අනුව ඇය නිරූපණය කර ඇත්තේ සර්ප ලක්ෂණ සහිත දිලිසෙන කොළ පැහැති ඇස් ඇති, කටුස්සන් වැනි නිය සහිත වියැකී ගිය දෑත් සහ කිඹුලකු වැනි දත් ඇති කෙනකු ලෙසයි. මේ අයුරින් ලැමියා නම් මිථ්‍යා යක්ෂණිය ලෝකයේ බිහිවූ විශිෂ්ට නිර්මාණ රාශියකට පාදක වුණ බලවත් තැනැත්තියකි.

ලිලිත්

බයිබලයේ ලිලිත් ගැන සඳහන් තැන් ඉතා අඩුයි. ඇත්තටම මේකෙදි සිදුවෙලා තිබෙන්නෙ බයිබලයෙන් ලිලිත් ගැන ලියවුණු කොටස් මකා දැමීම. ලිලිත් ගැන අන්තර්ජාලය පුරාම හෙව්වත් හමුවෙන්නෙ ඇය යක්ෂණියක් කියන නිගමනය. ඇය පිරිමින් මුළාකරන තැනැත්තියක්, යක්ෂයා හා නිදිවදින තැනැත්තියක්, මන්තරකාරියක් එක්කො දරුවන් කා දමන්නියක් කියලා තමයි අන්තර්ජාලය ඇය ගැන විස්තර ලබා දෙන්නෙ. ඇය යක්ෂණියක් කියා කිව හැක්කේ කාටද? ලෝකය පුරාවෙම ඇය දෙස හෙළන බැල්ම එතරම් යහපත් නැහැ.

කවුරු හරි ජොහාන් වුල්ෆ් වැන්ග් ගොතේගේ (ඔහු ජර්මානු සාහිත්‍යයේ විශිෂ්ටයා ලෙස අවිවාදිතව පිළිගැනේ) Faust කියන කාව්‍යයේහි මුල් ශෝකාන්තය කියවා තිබෙනවා නම් එහිදී ලිලිත්ගෙ යක්ෂාවතාරය මුණ ගැසෙනවා. පූර්ව රැපාලිත සහෝදරත්වයේ එනම් Pre Raphelite Brotherhood ආභාසයෙන් දාන්තේ ගාබි්‍රයෙල් රොසෙති නිමවන Lady Lilith (ලිලිත් ආර්යාව) නම් සිතුවම තුළ පිරිමින් අල්ලා බැද දමන සිය ස්වර්ණ වර්ණ කෙස් කලඹ දිගහැර ස්වරූපරාගී ලෙසින් කැඩපත දිහා බලා සිටින ගැහැනිය ඔබට දකින්න පුළුවන්. 2001 නිකුත් වුණ කිම් කී ඩුක්ගෙ Bad Guy චිත්‍රපටයෙත් මේ පින්තූරය තිබෙන පොතක් Sun –hwa කියන තරුණිය පොත හලකට ගිය අවස්ථාවකදී අෑ අසල තිබෙනවා පෙන්නනවා. අපි කතා කරමු එහෙනම් ලිලිත් ගැන.

ලිලිත් පිළිබඳ මුල්ම පුරාණෝක්ති විස්තරය අපිට හමුවන්නේ සුමේරියානු ප්‍රජාව ආශ්‍රිතව. ඒ ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවස මැද භාගයේ වකවානුවක. සුමේරියන්වරු තමයි මෙසපොතේමියානු ශිෂ්ටාචාරය සමයේ ජීවත් වූ සාක්ෂරතාවක් තිබූ ආදිතම ජන කොට්ඨාසය. ලිලිත්ගේ නමට ආසන්න නමක් පිළිබඳව මුලින්ම සඳහන් වන්නේ ක්‍රිස්තු පූර්ව 2400 පමණ ලියවිල්ලක් වූ සුමේරියානු රාජාවලියක.

මේ රාජාවලියේ රණශූරයකු වූ ගිල්ගමේශ්ගේ පියා “ලිල්ලු-යක්ෂයෙක්” බව සඳහන් වෙනවා. “ලිල්ලු” කියන්නේ සුමේරියන්වරු විශ්වාස කරපු යක්ෂයන් සිවුදෙනෙක්ගෙන් එක්කෙනෙක්. ලිල්ලු අයත් වෙන්නේ ලේ උරාබොන යක්ෂයෙක් කියලා හ¾දුන්වන “සකිබස්” කියන වර්ගයට. දන්නවනෙ වැම්පයර්ලට ටිකක් සමානයි මේ සකිබස්ලා. සාමාන්‍යයෙන් සකිබස් යක්ෂණියක් ලෙස තමයි අතීතයේ ඉඳන්ම විශ්වාස කෙරෙන්නේ.

(මේ සකිබස්ගෙ අනෙක් ස්වභාවය එහෙමත් නැත්නම් පිරිමි ස්වභාවය තමයි ඉන්කියුබස් කියන්නෙ). ඉන්කියුබස් සකියුබස් ගැන කියවන්න හොඳ මූලාශ්‍රයක් තමයි ක්ලිෆර්ඩ් බිෂොෆ්ගෙ ‘ලිංගිකත්වය සහ ආධ්‍යාත්මිකත්වය’ කියන කෘතිය. මේ යක්ෂයන් හතර දෙනාගෙන් තවත් දෙදෙනෙක්ව “ලිලිතු” (යක්ෂණියකි), අර්දත් ලිලී (ලිලීගේ සේවිකාවය කියන අරුත ගම්‍ය වේ) සහ ඉර්දු ලිලී (ලිලිත්ගේ සහකරු යන අරුත දේ) කියා හ¾දුන්වලා තිබෙනවා. මේ ජනප්‍රවාද ආරම්භයේදී මෙම යක්ෂයො හතරදෙනාම කුණාටු- යක්ෂයො (Storm –demons) ලෙස හැඳින් වූවත් පසුකාලීනව ඔවුන් රාත්‍රියෙහි පියාසරන යක්ෂයො (Night –demons) ලෙස හැඳින්වෙන බවත් කියවෙනවා.

බයිබලයේ උත්පත්ති කතා පොත ගැන අපි මුලින්ම කතා කළා. ඒකෙ කියවෙන විධියට ඒවා (Eve) තමයි ලෝකෙ පළමු ගැහැනිය වෙන්නෙ හැබැයි ඒක එහෙම නෙමෙයි. ආදම්ගේ පළමුවැනි බිරිය හෙවත් ලෝකෙ පළමුවැනි ගැහැනිය ඒවා නෙවෙයි ඇයට කලින් තවත් බිරියක් ආදම්ට හිටියා කියලා කියවෙනවා. මේ කතාව මූලිකවම ඇතිවෙන්නෙ ටෝරාවේ උත්පත්ති කතාවේ (ට්ඥදඥඵඪඵ) මේ මිනිසා මැවීම කියන කොටස දෙවතාවක් සඳහන් වෙන නිසා. (උත්පත්ති 1:27 සහ උත්පත්ති 2:21-23) මැවීම පිළිබඳව කතා දෙකක් මේ ආකාරයට වෙන වෙනම සටහන් වෙනවා.

මේ නිසා ටෝරාව අධ්‍යයනය කරපු සමහර රබීවරුන් (යුදෙව් පූජකයන් මෙනමින් හැඳින්වේ. ඉසාක් බෂෙවිත් සිංගර්ගේ තැවුල් සිත හෙවත් The Penitent නවකතාවේ මොවුන් පිළිබඳ ප්‍රබල විග්‍රහයක් ඇත) හිතනවා දෙවියන්ගේ වචනය සඳහන් ටෝරාවෙ වරදක් පවතින්නත් නොහැකි නිසා බොහෝ විට තව මැවීමක් සිදුවෙලා තිබෙනවා කියලා. ඒ වගේම මේ පළමු මැවීමේදී පිරිමියා පළමුව මවා දෙවනුව ඔහුගේ ඉළ ඇටයකින් ස්ත්‍රිය මැවීමක් සඳහන් වෙන්නෙ නෑ. දෙවියන් තමන්ගේ ස්වරූපයට පුරුෂයා සහ ස්ත්‍රිය මැවූ බව තමයි සඳහන් වෙන්නෙ. නමුත් දෙවැනි මැවීමේ කතාවෙදි ස්ත්‍රිය මවන්නෙ දෙවනුව. මේ විධියට පළමු මැවීමේදී මවන ස්ත්‍රිය තමයි එතකොට ලෝකේ පළමුවැනි ගැහැනිය වෙන්නෙ.

ඒවාට කලින් මවන මෙයාව හ¾දුන්වනවා ‘පළමුවැනි ඒවා’ (First Eve) කියල. ‘උතුරු වැසියා’ හෙවත් Notherner විධියටත් අෑව හ¾දුන්වනවා. මේ Notherner කියන වචනය යොදන්නේ පැරණි ජනකතා අනුව ‘නපුර’ පැමිණෙන්නෙ උතුරෙන් බවට වන විශ්වාසය නිසා. නමුත් වඩාත් ජනප්‍රිය නාමය වෙන්නෙ වෙන නාමයක්. ඒ තමයි ලිලිත් කියන නම. ලිලිත් කියන වචනයේ තේරුම වෙන්නෙ අ¾දුර, රාත්‍රිය කියන අරුත.

ලිලිත් ගැන ටෝරාවේ තව එක තැනක සඳහන් වෙනවා. ඒ යෙසායාගේ පොතේ 34:14 කියන පාඨයේ. මෙහි දැක්වෙන්නේ නපුර ගැන සඳහනක්. මේ අනුව ‘ලිලිත්’ නපුරෙහි අ¾දුරෙහි බලවේගයක් බව හැඟවෙනවා. (ටෝරාව පර්වර්තනය කරන විට  බයිබලයේ ඇතැම් ඉංග්‍රීසි පරිවර්තකයන් ලිලිත්ව ‘ The Night Monster හෝ Screetch Owl ලෙසත් හ¾දුන්වා තිබෙනවා. සිංහල පරිවර්තනවල ‘උලමා’ ලෙස හ¾දුන්වන්නෙ මෙයයි.

ඇතැම් මූලාශ්‍රවලට අනුව ඊඩ්න් උද්‍යානයේ සර්පයා ලෙසත් ලිලිත්ව හ¾දුන්වනවා. ඒ අනුව ලිලිත් සර්ප වෙස්ගෙන ඒවාව පොලඹවාගෙන ඇයට තහනම් ගසෙහි ගෙඩි කෑමට දුන් බව කියැවෙනවා. අෑ මේ අයුරින් ක්‍රියා කරන්නේ ආදම් සහ ඒවාට දැනුම හා ප්‍රඥාව ලබාදී නිදහස් කරවා ගැනීමට හෝ නැතිනම් ආදම් සහ ඒවා තහනම් ගසෙහි ගෙඩි කෑ පසු මරණයට පත්වන නිසා බවටත් මතයක් පවතිනවා. එහෙම නොවුණා නම් මිනිසා යනු සදාකාලික සත්ත්වයෙක් වන්නට ඉඩ තිබුණා.

ලිලිත් පිළිබඳ වන විස්තර බොහෝ ප්‍රමාණයක් තිබුණත් කතා වෙන්නෙ ඉතා අඩුවෙන්. Alphabet of Ben Sira , විකන් ආගමික පත්තිරු හීබෘෘ මිථ්‍යා කතා, බැබිලෝනියානු තල්මුදික් ග්‍රන්ථ, මළ මුහුදේ පත්තිරු (Dead Sea Scrolls) වැනි විවිධ වූ මූලාශ්‍රවලදී අපිට ලිලිත් මුණගැහෙනවා. එමෙන්ම තවත් නොයෙක් ආකාරයේ මතවාද, ප්‍රවාද විශාල ගණනක් ලිලිත් සම්බන්ධව ඉදිරිපත් වෙලා තිබෙනවා.

ලෝකයේ විවිධ රටවල එනම් ඊශ්‍රායලය, යුරෝපය, ඇමරිකාව වැනි රටවල ස්ත්‍රීවාදීන්  ලිලිත්ව තම ආයතනයන්හි මූර්තියක් බවට හෝ සුරුවමක් බවට පත්කරගෙන තිබෙනවා. ඒකට හේතුව වෙන්නේ ලිලිත් කියන චරිතය තුළින් දකින්නට ලැබෙන නිදහස, සීමා නොකළ ලිංගිකත්වය, පුරුෂාධිපත්‍යයෙන් මිදී ස්වාධීන වීම වැනි චරිත ලක්ෂණ නිසාවෙනි. මෙවන් කරුණු නිසා ලිලිත්ව තම නිදහසේ ප්‍රතිමූර්තියක් විධියට බොහෝ ස්ත්‍රීවාදීන් හ¾දුන්වන්නට යෙදෙනවා.

ගිහාන් සචින්ත