පසුගිය කාලේ අපේ අය හිටියේ ඩිෆෙන්ඩර් දාගෙන ඇමැතිකම් ඔළුවට ගහලා

0
11

ඇමැතිවරු ජනතාවට බරක් නෙමෙයි ද?

දැන් මේක පත්කර ගන්නේ නැතුව කොහොමද මේ වැඩ කරන්නේ. දැන් අපි ඇවිල්ලා අමාත්‍යාංශයේ එක එක්කෙනා එක්ක කතා කර කර මේ හදන්නේ. අපිට පිටරටවලින් මුදල් ලැබෙනවා. ඒවා හරි තැන්වලට දාගෙන කොහොම හරි අපි රට ගොඩ ගන්න ඕනේ.

හැබැයි මම හිතන්නේ අපේ අමාත්‍යාංශ තුළින් රජයට කරදර කරන්න ඕනේ නෑ කිසිම දෙයකින්. ඒ කියන්නේ මේ මිනිස්සු ඉන්නවනේ පහුගිය කාලවල ඇමැතිකම ඔළුවට ගහලා. අමාත්‍යාංශ වියදම් වැඩි කරගෙන ඩිෆෙන්ඩර් දාගෙන තව වාහන දෙකක් පිටිපස්සෙන් දාගෙන එහෙම යන යුගයකනේ අපි හිටියේ.

මේ රටේ මිනිස්සු අන්තිමේ කිව්වේ තොපි දෙසිය විසිපහම අපිට එපා. උඹලා පලයල්ලා, අපිට මේ ආණ්ඩු එපා, කියන තත්ත්වයකට වැටුණේ මොකද මිනිස්සු ගැන බලන්නේ නෑ. මිනිස්සුන්ට කරන්න ඕන දේ නොකර මාලිගා වගේ ගෙවල් හදාගෙන වැජඹෙන්න යනවානේ. ඒ නිසා මේ වැජඹෙන එක නතර කළා නම් මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් නෑ. දැන් මම අද මේ කඩෙන් බත් එකක් අරන් කෑවා. බොරු වියදම් කළොත් ඒකේ පාඩුව වෙන්නේ මේ රටේ ජනතාවට. ඒකයි මිනිස්සු කියන්නේ එපා කියලා. නැතුව වෙන එකක් නෙමෙයි.

ඔබත් ඇමැති වරප්‍රසාද ගන්නේ නැද්ද?

මට පඩියක් හම්බවෙන්නේ නෑ කියලා මම කියන්නේ නෑ. මොකද මම පෙට්රල් ගහගෙන දැන් අපි යන්න එන්න ඕනේ. දැන් ඉතින් බෙන්තර මගේ ආසනයට යන්න පෙට්රල් ගහන්න ඕනේ රුපියල් පහළොස් දාහක. දැන් ඉස්සර වගේ යන්න බෑ එහේ. නතර වෙලා දවස දෙක ඉන්න කොට ඒ සියලු විය හියදම් දරාගෙන ඉන්න ඕනේ. අරහෙන් මෙහෙන් අර මිනිස්සු කියන විදිහට හොරකම් කරන්නේ නැතිව හිටියොතින් අනිත් ඒවා ගැටලුවක් නෑ.

මේ මොහොතේ රටේ දේශපාලනය ගැන ඔබ මොකද හිතන්නේ?

දේශපාලනික වශයෙන් ඊයේට වඩා අද හොඳයි. අදට වඩා හෙට හොඳ විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. දැන් ඉතින් ඊයේ දිහා බලනකොට ඉතාම අ¾දුරු අවකාශයක හිටියේ. අපි බියෙන් හිටියේ.

හැබැයි ඉතින් අර පහර දීපු අයත් එක්තරා විදිහක වැරැද්දක් කළා. උන් ඇත්තටම කවුද කියලා හොයලා නෙමෙයි අහුවෙච්ච එකාට ගහලා.

ම්ලේච්ඡ බාබේරියන්ස්ලා වගේ භයානක තත්ත්වයක්නේ මේ අය ඇති කළේ. එතැන තිබුණේ නෑනේ සාමය.

මගේ ගේ හදලා තියෙන්නේ 1987. සමහර විට මේ ළමයි ඉපදිලාවත් නෑ. උන් දන්නේ නෑ මගේ ගැන ඉතිහාසය. මම ගාමන්ට් ෆැක්ටරීස් 14ක මැනේජරින් ඩිරෙක්ටර්. ඒ කාලේ අපිට හොඳට සල්ලි හම්බ වුණා. ඒ සල්ලි තමයි මේ නැති කරගෙනම දේශපාලනය කරන්නේ. දැන් උන්ට මාත් එකයි. අර කඩේක වැඩ කර කර ඉඳලා මන්ත්‍රි වෙනවා. මන්ත්‍රි වෙලා ඇමැති වෙනවා. ඒකාට මෙලෝ ආත්මයක් නෑ. උෟවයි, මාවයි දෙන්නාම එකට දානවා.

ඇමැතිකම් බෙදලා තියෙන්නේ විද්‍යාත්මකවද?

දැන් මගේ එක නම් අවිද්‍යාවක් වෙන්න බෑනේ. මට ගිය පාර දුන්නා සංස්කෘතික හා කලා ප්‍රාසාංග. හැබැයි මේ ළමා හා කාන්තා එක පිරිමියකුට දෙනවට වැඩිය ගැහැනිකට මේකේ පොඩි අයිතිවාසිකමක් තියෙනවා කියලා මං හිතනවා.

දරුවන් වදන්න පුළුවන් අම්මා කෙනකුට මේක දීම, දරුවෙක් හදන්න පුළුවන් කාන්තාවකට ඒක දීම හොඳ සුබ නිමිත්තක්.

පහුගිය කාලවල මිනිස්සු කොච්චර ඕකට හිනා වුණාද? මුන් යකෝ කාන්තාවන්ගේ අමාත්‍යාංශය කාන්තාවකටවත් දුන්නේ නෑ කියලා. ඒ නිසා මම හිතන්නේ මේක විද්‍යාත්මක විදිහට දීලා තියෙනවා කියලා.

දේශපාලනය තුළ කාන්තා නියෝජනය සෑහීමකට පත්විය හැකිද?

නැහැ. සෑහීමකට පත්වෙන්න බෑ. ඇත්තම කියනවා නම් පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නේ අපි දහතුන් දෙනයිනේ. මම මුළු දකුණු පළාතටම ඉන්නේ. පළාතකට එකක් වගේ තමයි නියෝජනය වෙන්නේ. කාන්තා නියෝජනය සියයට විසිපහක ප්‍රතිශතයක්වත් පාර්ලිමේන්තුවට ගෙන්නගන්න පුළුවන් නම් ලොකු දෙයක්.

රටේ කාන්තා නියෝජනය වැඩි වෙන්න ඕනේ. හැබැයි වෙන්නේ නැත්තෙත්, මේක ඇතුළේ තියෙනවා නොපෙනෙන හරි අමාරු රාජකාරියක්. මේ සියුමැලිව සුකුමලව කරන්න පුළුවන් ජොබ් එකක් නෙමෙයි. මේක ආවදා ඉඳන් බලාගෙන ඉන්නේ කොහොමද මඩ ගහන්නේ, ආවදා ඉඳන් බලාගෙන ඉන්නේ කටකතා හදන්නේ. ඉතින් ඒවා කාගෙන ඉස්සරහට එන්න පුළුවන් වෙනවා කියන්නේ ලෙහෙසි වැඩක් නෙමෙයි.

රටේ ආර්ථිකය මරණ මංචකයේ නේද තියෙන්නේ?

අපේ රටට ජාත්‍යන්තරවලින් තමයි අපි මේ ගොඩ එන්න බලන්නේ. ඒක හරියට දැන් ගහගෙන යනකොට පිදුරු ගහක එල්ලෙන්න හරි බලාගෙන ඉන්න තත්ත්වයක් වගේ.  අපි ඒක ගැන හංගන්න දෙයක් නෑ. මේ මුළු මහත් රටේම ජනතාව ඒවා ගැන දැනගන්න ඕනේ. මේක බොරුවක් නෙමෙයිනේ. පහුගිය කාලේ බොරුකාරයන්නේ අනේ මිනිස්සු නොමඟ ගියේ. මොකද කිව්වේ බය වෙන්න එපා අපිට සල්ලි තියෙනවා. අපි මෙහෙම කරන්නම්, අරහෙම කරන්නම් ඔහොම කිය කිය හිටියා, දන්නේම නෑ හැමදේම නැතිවෙලා යනකම්. එහෙම කියන්න හොඳ නෑ. රටේ ජනතාවට යථාර්ථය පැහැදිලි කරන්න ඕනේ. දැන් අයි.එම්.එෆ්. එකෙන් ණය මුදලක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඇත්තටම අපි බලාපොරොත්තු වුණා ඊට වැඩිය ගොඩක්. නමුත් ලැබුණේ නෑ.

මෙහෙම ආර්ථික විනාශයක් වුණේ ඇයි?

මේ කරපු වැරදිවලින් තමයි විනාශය සිදු වුණේ. දැන් ඇත්තටම වෙච්ච වැරැදි නිසා තමයි මේක වුණේ කියලා අපිට හංගන්න බෑ. අනවශ්‍ය වියදම් කරලා තම තමන්ගේ පෞද්ගලිකත්වය හුවා දක්වමින් නොයෙක් දේවල්වලට වියදම් කරපු මිනිස්සු හිටියානේ මේ දේශපාලනයේ. බොරුවට පාරවල් හදන්න ගත්තා. අනේ මන්දා, කරත්ත පාර හිටන් කාපට් ගැහුවා. මොකද හේතුව ඔය පාරවල් හදන ගොඩක් ඒවාවල කොන්ත්‍රාත් කරන්නේ දේශපාලනඥයනේ. මොනවා හරි එකක් වරෙන් උන් තමයි කොන්ත්‍රාත් එක ගන්නේ. ඉතින් ඕවාටනේ මිනිස්සු බැන්නේ. මම නම් කවදාවත් කරලා නෑ. කරන්නෙත් නෑ. එතකොට අපි කොච්චර කිව්වත් එව්වා නතර කරන අය ඉඳී කියලා අපිට හිතෙන්නෙත් නෑ.

අසාර්ථක දේශපාලනය රටම දුර්වල කරනවාද?

ඔව්. අසාර්ථක දේශපාලනය කියන්නේ කිසිම සැලසුමක් නැතුව අනාගතය පිළිබඳ වැඩසටහනක් නැතුව එදාට එදාට කාලා බීලා ඉන්න හන්දි ගානේ ඉන්න පෙට්ටි කඩ මුදලාලි වගේ රට ගෙනියන්න බෑ. එහෙම වෙනවා නම් ඒක රටට බලපානවා. මේක අසාර්ථක දේශපාලනයේ එකක්.

කවුද එතකොට මේකට වගකියන්න ඕනේ?

මේකට සම්පූර්ණයෙන්ම හිටපු මුදල් ඇමැති වගකියන්න ඔනේ. ඒ වගේම මේ රටේ හිටපු හැම කෙනෙක්මත් හිටපු අග්‍රාමාත්‍යවරයා, හිටපු ජනාධිපතිවරයාත් මේකට වගකියන්න වෙනවා. ඉතින් ඒගොල්ලෝ නැතුව වෙන කවුද වගකියන්න ඕනේ. අර ගමකින් ඡන්දේ ඉල්ලා ආපු මන්ත්‍රිලාද? මේ ආර්ථික ප්‍රශ්න විසඳගන්න තිබුණේ මීට අවුරුදු දෙක තුනකට විතර ඉස්සර වෙලා. හැබැයි නිසි සැලසුමක් නොමැතිකම හින්දා ඒක වුණේ නෑ.

පරණ මූණු ටිකම නේද අලුත් ආණ්ඩුවෙත් තනතුරුවලත් ඉන්නේ?

මේකට ලස්සන කියමනක් තියෙනවා පරණ කුට්ටම අලුතින් අනලා ගැහුවා වගේ. මේ 225 එක්ස්පීරියන්ස් තියෙන මිනිස්සු ටිකකුත් ඒ ගොල්ලොන්ට අවශ්‍යයිනේ. අනිත් එක ඔය කොයි කවුරුත් මොනවා කිව්වත් පොහොට්ටුවෙන්නේ ජනාධිපතිතුමන්ව දාගත්තේ. ජනාධිපතිගේ කවුද ඉන්නේ දාන්න. කවුරුත් නෑනේ.

මේ පාර දෙන්න එක චාන්ස් එකක්. මේ මිනිස්සුන්ට කරලා පෙන්නපල්ලා. බොරු කරන්න එපා. දැන් මේක ජනතාව විහිළුවට අන්දන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. කෙහොමෙන් හරි පරණ මූණු ටිකට මේක කරගන්න වෙයි.

ඒ කියන්නේ නවකයන්ට අවස්ථාවක් නැහැ කියන එකද?

ඔයා හිතනවාද ඊයේ පෙරේදා ආව මන්ත්‍රිවරුන්ට ඕක දීලා කරන්න පුළුවන් වෙයි කියලා. ඒ අය ඊට හපන් වෙනවානේ. ඒ අය මෙලෝ සංසාරයක් දන්නේ නෑ. ඒ අය අමුතුවෙන්ම ඇවිල්ලා මේක කරන්න යනවා කියන්නේ තවත් අවුලක්. එතකොට අපි පොදුජන පෙරමුණේ හිටපු අයව ගන්නේ නැතුව කොහොමද කරන්නේ.

රනිල් වික්‍රමසිංහ අසාර්ථක නායකයෙක් කියලා විපක්ෂය කියනවා?

ඒ වුණාට කමක් නෑ. එයා සාර්ථක ජනාධිපතිවරයෙක්නේ. අපිට ඕන කරලා තිබුණේ හොඳ ජනාධිපතිවරයෙක් දාගන්නනේ. එයා අසාර්ථක නායකයෙක්ද අරවාද මේවාද අපිට වැඩක් නෑ ඒවා. අපි කියන්නේ එයා සාර්ථක ජනාධිපතිවරයෙක්. ජනාධිපති හැටියට එයා හොඳ ඩිෂිසන්ස් (තීරණ) ගන්නවා. ඒවාට නිර්භීතව කටයුතු කරනවා.

පක්ෂයේ ප්‍රතිපත්තිය මොකක්ද ඔබේ අමාත්‍යාංශය සම්බන්ධයෙන්?

පක්ෂය ගොඩක් වෙලාවට මොන්ටිසෝරියක, කාන්තාව සවිබලගැන්වීම සම්බන්ධව, පූර්ව ළමා විය ගැන කතා කළාට ඒවා අභිභවා ගිහින් ජනාධිපතිවරයා මේවාට උදවු කරන තත්ත්වයක් උදාවෙලා තියෙනවානේ. මේක සම්පූර්ණයෙන් ජනාධිපතිතුමා යටතේ මේ අමාත්‍යාංශය ගියොත් ලොකුම දේ ජනාධිපතිතුමා කරලා ඉවර වෙනවා. ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යව ඉන්න කාලේ ඉඳන් උනන්දුවක්, වුවමනාවක් දක්වපු අමතාත්‍යාංශයක් මේක. මොකද එතුමා දන්නවා හදවතින්ම මේ ගැහැනියට දරුවන්ට මේක සැලකිය යුතු කියලා.

ජන අරගලය කොහොමද ඔබ දකින්නේ?

මිනිසුන්ට පීඩනය දරාගන්න බැරි වෙලාවල්වලදී ජන අරගලයන් ඔය විදිහට එනවා. පෙට්රල් පෝලිම්වල හෙම්බත් වෙනකොට, භූමිතෙල් ටිකක් නැතුව ගෙදර උයාගන්න බැරුව, මේ තට්ටු නිවාසවල ඉන්න මිනිහෙක්ට කන්න දෙයක් නැති වුණා. පාන් ගෙඩියක් ගන්න බෑ. පාන් ගෙඩියක් ගත්තොත් හොද්දක් හදා ගන්න බෑ, ගෑස් එකක් නෑ. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමේ අර වැවකට එකතු වෙච්ච වතුර ටික වගේ මේක කඩාගෙන බිඳගෙන ආවා.

ඉතින් ඊට කලින් මේකට අවධානය දුන්නේ නැද්ද?

අපේ හිටපු ජනාධිපතිතුමාට කොච්චර කිව්වාද අර පොහොර ටික දෙන්න. පොහොර ටික දෙන්න කියලා. ගොවියාට සලකලා මේ පොහොර ටික හදා ගන්න සර් කියලා. කොහොම හරි සර්ව කවුරු හරි නොමඟ ඇරියාද කියලා මම දන්නේ නෑ ඒක. නමුත් ජනාධිපතිතුමා පිළිගත්තා ලොකු වැරැද්දක් කරේ කියලා. ඔය උපදෙස් දීපු අය දැන් මීයෝ වගේ ඉන්නවා. සද්ද නැතුව මුකුත් වුණේ නෑ වගේ හැබැයි.

තරුණයෝ අරගලය කළේ බොරුවට කියලා ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරු කියනවා නේද?

මේක බොරුවට කියලා අවඥාවෙන් බැහැර කරන්න බැහැ අපිට. උන්ටත් නිකන් ඔළුවේ අමාරුවට නෙමෙයි මේ තිබිච්ච අමාරුකම් ඉවසා ගන්න බැරුව ආපු අයනේ. ඇත්තට ආපු අය ඉන්නවා මේකේ. සමහරු නම් ඉතින් මේ දේශපාලන වාසි ගන්න ‘රනිල්…’ කියලා එකෙක් කෑගහනවා. අනේ ඇත්තට කටේ කිරි සුවඳ යන්නත් ඉස්සර මෙහෙම කතා කරන්න ලැජ්ජ නැද්ද කියලා මට හිතෙනවා. ඒ කතා කරපු විලාසවල් ඒ කියපු කුණුහරප… ඒ වගේ මේ මේකෙන් දේශපාලනය කරපු සෙට් එකක් හිටියානේ. ඔබතුමා හිතනවාද මේ අරගලයේ ළමයි කියලා.

ඔබේ නිවෙසටත් අරගලකරුවො පහර දුන්නා කියලා ඔබ කිව්වා නේද?

ඔව්. තාමත් මම කල්පනා කරනවා ඒක ගැන. ඒ අයට තරහවක් තිබුණා නම් ගහන්න ඕන කට්ටිය හිටියා. මම නම් හිතන්නේ අරගලකරුවොත් නෙමෙයි අපේ ගෙවල්වලට ගැහුවේ. නිකන් හාල්පාරුවෝ, කුඩුකාරයෝ, ඔය නිකන් හිටිය පිස්සොත් හිටියානේ. සැබෑ අරගලකාරයෝ මෙව්වා කළේ නෑ.

පාසල් දරුවන් බොහොමයක් කුස ගින්නේ සිටින බව ඔබ දැනුවත්ද?

ඔව්. මම අදත් දැක්කා කලන්තේ දාලා වැටිලා ඉන්නවා. මොකද ටිකක් ලොකු වෙච්ච ළමයි යන්තන් හය හත වුණු අය ‘අපිට බඩගිනි කියන්න’ ලැජ්ජයි. ඉතින් මේ ළමයින්ගේ කුස ගින්න ඉක්මනින් නිවිය යුතුයි. මහා භයානක තත්ත්වයක් ඒක.

රෑට බඩගින්නේ හිටපු ළමයා උදේට නිරාහාරවම පාසල් යනවා කියන්නේ ක්ලාන්තයට අත වැනීමක්. ඉතින් ඒක නැහැයි කියලා කියන්න බෑ. අපි ඉක්මනටම මේකට විසඳුමක් දෙනවා.

දරුවන්ගේ පෝෂණයේ ගැටලු තියෙනවාද?

ඔව්. කිලිනොච්චිය වගේ ප්‍රදේශ ගත්තාම අධි මන්දපෝෂණයෙන් පෙළෙන ළමයි ගොඩක් ඉන්නවා. හැම ග්‍රාම සේවා වසමකම ළමයි කිහිපදෙනෙක් හරි මන්දපෝෂණයට අත වනමින් ඉන්නවා. සමහරු මන්දපෝෂණය වෙලා. ඒ කියන්නේ පෝට්රිෂන් උෟනතාවයෙන් ඉන්නවා.

ගැහැනු දරුවන්ට අවශ්‍ය සනීපාරක්ෂක තුවායන්වල මිල ගණන් වැඩි වීම අද ගැටලුවක් වෙලා මොකක්ද මේකට විසඳුම?

ඔබතුමා මතක් කරපු එක හොඳයි. මම හිතන්නේ අපි මේක අනිවාර්ය කරන් යන්න ඕනේ. ජාත්‍යන්තර ආධාරයක් හෝ මේකට ඉල්ල ගන්න ඕනේ. පාසල්වල දරුවන්ගේ සනීපාරක්ෂක තුවා ඔවුන්ට නොමිලේ ලබා දීමට. ඒක අපේ යුතුකමක්. අම්මා කෙනෙක් හැටියට ගැහැනියක් හැටියට මං හිතන්නේ ඒ දේ අපි ඉක්මනින්ම කරන්න ඕනේ. රාජ්‍ය නොවන සංවිධානවලට අපි ආරාධනා කරන්න කැමැතියි මේ සඳහා සහයෝගයක් ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරන්න කැමැතියි.

ළමා අපචාරයන් සිදු කරන පුද්ගලයන්ට දැඩි දඬුුවම් ලබා දෙන්න ඕනේ කියලා සමාජය කියනවා?

අනිවාර්යයෙන්ම කුඩා දරුවන් අපයෝජනය කරන අයට මරණීය දණ්ඩනය දිය යුතුමයි. දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න පියවර ගන්නවා. මිනිස්සු අද කිසි බයක් සැකක් නැතුව තාත්තා තමන්ගේ දරුවාව, මාමා, බාප්පලා, සීයලා, මුළු ඥාති පරපුරම එකතු වෙලා තමන්ගේම එකාව තමයි නැති කරන්නේ. ඒ අර බයක් නැතිකම. ඒ හින්දා මේකට දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න ඕනේ.

මොකද හිතන්නේ ලැබුණු රාජ්‍ය ඇමැතිකම ගැන?

ඇත්තටම මට පෞද්ගලිකව ලොකු සතුටක් තියෙනවා ළමා හා කාන්තා අමාත්‍යාංශය ගැන. මොකද මේ අමාත්‍යාංශයෙන් මේ රටේ ජනතාවට සුවිශේෂි සේවයක් කරන්න පුළුවන්. අපේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා මේකට ගොඩක් දේවල් ලබා දෙනවා. මම හිතනවා මේක රටට ඕනේම එකක් කියලා.

මිතුන් ජයවර්ධන