පතල් වැඩට සුබ නැකැතක්

0
72

පතල් වැඩ සඳහා ඉතා ප්‍රශස්ත සුබ මොහොතක් මෙම සැප්තැම්බර් මස 28දා බදාදා උදේ 06.02ට උදා වෙයි. මැණික් පතල් මෙන්ම මිනිරන්, දියමන්ති, රන්, රිදී ආදී ඕනෑම පතල් කටයුත්තකට මෙම සුබ මුහුර්තය භාවිත කළ හැකිය. විදේශයක පතලක් සඳහා නම් මෙම වේලාව අදාළ විදේශ රටට අනුරූප ලෙස සකසා ගත යුතුව ඇත.

මැණික් පතල් ආරම්භ කිරීමට මෙන්ම මැණික් යෙදූ ආභරණ සෑදීම, මැණික් කැටයම් කිරීම, මැණික් වෙළෙ¼දාම ආදිය ආශ්‍රිත කර්මාන්ත සඳහාද මෙම නැකැත යොදාගත හැකිය. එසේම මූල්‍යමය කටයුතු සඳහාද ඉඳුල් කටගෑම, හිස කෙස් කැපීම ආදියටද මෙම සුබ මුහුර්තය යොදාගත හැකි වෙයි.

ඒ මොහොතේ උදා ලග්නය වන්නේ කන්‍යා ලග්නයයි. ලග්නාධිපති මෙන්ම දසවැන්නාධිපති වන බුධ ලග්නගතව උච්චව හා දිග්බලව සිටින්නේ භද්‍රා නම් පංච මහා පුරුෂ යෝගයද සහිතවයි. තවද එම බුධ නවවැන්නාධිපති සිකුරු සමඟ එක්ව ධර්ම කර්මාධිපති යෝගයක්ද නිර්මාණය කර ඇත. දීප්තිය ලබාදෙන රන්, රිදී, මුතු, තඹ, පබළු, ගල්, රත්රන්, දියමන්ති ආදියට කාරක රවිද එහිම සිටීමෙන් මෙම සුබ මුහුර්තය ප්‍රබල වෙයි.

භූමිය පිළිබඳ කියැවෙන හතරවැන්න සහ හවුල ගැන කියැවෙන හත්වැන්න අධිපති වන ගුරු හත්වැන්නේ ස්වක්ෂේත්‍ර සිටින්නේ ගුරු හංස යෝගයක්ද සහිතවයි. තවද ස්වක්ෂේත්‍ර ශනිගේ නැකැතකයි. අට අධිපති නවවැන්නේ සිටී. එකොළහ අධිපති දෙවැන්නේ සිටී. එයද ධන යෝගයකි. මෙදින උදා නැකැතද නවවැන්නේ සිටින කුජට අයත් සිත නැකැතයි.

එබැවින් රෙහෙණ, හත, සුවණ යන නැකැත් හිමියන්ට මෙය ඉතා විශිෂ්ට සම්පත් උදාකරණ නැකැතකි.

තවද බෙරණ, පුවපල්, පුවසල, මුවසිරස, සිත, දෙනට, අද, සා, සියාවස, පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී යන නැකැත් හිමියන්ටද ඉතා ශුභයි. භූමි ලාභ ලැබීම උත්පත්ති කේන්දර සටහනේ පෙන්නුම් කරන අයට නොවැරදීම අතගැසිය හැකි නැකැතකි. බොහෝ වස්තුව උදාකරනු ඇත.

නිවැරදි බහිරව පූජා හා කතරගම දෙවියන් සහ සුමන සමන් දෙවියන්ගේ පිහිට සහිතව වැඩට බැසීම වඩාත් සුබපල උදාකරනු ඇත.

ආචාර්ය කැලුම් ගුණතිලක විසිනි