දවස් 05ම චැනල්වල පේන්න ඉන්න ඕනා කියන හීනමානය මට නැහැ

0
66

නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන්නේ ලංකාවේ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන දක්ෂ වගේම ප්‍රවීණ රංගන ශිල්පීන් දෙපළක්. 2014 වසරේ  විවාහ වන ඔවුන් දෙපළගේ ලොකුම සහ එකම හීනය දරු සුරතල් බැලීම බව අවස්ථා ගණනාවකදීම ඔවුන් පවසා තිබුණා. නමුත් පසු කාලයේදී ඇමරිකාව බලා යන ඔවුන් ඒ හීනය හැබෑ කරගන්නේ මීට වසර එකහමාරකට පමණ පෙරයි. දැන් ඔවුන්ට පුංචි දියණියක් සිටිනවා.

ඇගේ නම මෙයිලි නිකොලා රාජපක්ෂ. ඉතින් මෑතකදී නැවතත් නෙහාරා මවු පදවිය ලබන්න සූදානම් බව අපිට දැනගන්න ලැබුණා. ඒ පිළිබඳ සමාජ මාධ්‍ය තුළ විවිධ පුවත් හුවමාරු වුණා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ නවතම කලා කටයුතු පිළිබඳවත් දැනගැනීමට නෙහාරා පීරිස් ‘හදගැස්ම’ කතාබහට එක්කාසු කර ගන්නට අප සිතුවේ ඒ නිසයි. නෙහාරා දැන් තරමක් නිහඬ චරිතයක් වෙලා නේද?

ඔව්. මම දෙවැනි වරටත් මවු පදවිය ලබන්න සූදානමින් තමයි ඉන්නේ. මම හිතන්නේ ඒක ගොඩක් අය දැන් දන්නවා. ඉතින් අපි බොහොම සතුටින්. මම මගේ දුව සහ මේනක අලුත් අමුත්තා පිළිගන්න සූදානමින් බලාගෙන සිටිනවා.

 දෙවැනි වරටත් මවක් වෙන හැඟීම නෙහාරාට කොහොමද දැනෙන්නේ?

ඒක හරිම සුන්දර හැඟීමක්. මමයි මේනකයි ප්ලෑන් කරලම තමයි දෙවැනි වරටත් දරුවෙක් හදමු කියලා සූදානම් වුණේ. දැන් ඉතින් මම ආයේ ටිකක් මහත් වෙලා. ඇවිදින්න කරන්න ටිකක් අමාරුයි (සිනාසෙමින්). ඒ වගේම මගෙ මල්ලියි, මල්ලිගෙ  වයිෆුයි, බබයි නිවාඩුවකට ලංකාවට ඇවිත් සිටිනවා. එයාලා එක්ක පාටි දානවා. ටි්‍රප් යනවා. ඒ නිසා  මේ දිනවල නම් තරමක් කාර්යබහුලයි.

චූටි දූ මෙයිලි එක්ක ගෙවන ජීවිතේ කොහොමද?

මෙයිලි හරිම හුරතල් බබෙක්. ඒ වගේම හරිම දඟයි. ඒ සුන්දරත්වයත් විඳිමින් අසීමිත ආදරයක් මෙයිලිගෙන් ලබමින් තමයි ජීවිතේ ගෙවෙන්නේ සහ විඳින්නේ.

මේනක කියන්නේ තරමක් කාර්යබහුල රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක්. ඒ කාර්යබහුලත්වය සමඟ නෙහාරාට මේනකගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මේනක කියන්නේ  හරිම කාර්යබහුල චරිතයක්. කොච්චර කාර්යබහුල වුණත් එයා අපි සමඟ  ඉන්න කාලවේලාව කළමනාකරණය කර ගන්නවා. මේනකගෙන් විය යුතු වැඩ කොටස අපි වෙනුවෙන් නොපිරිහෙළා ඉටු  කරනවා. මේනක වගේ සැමියෙක් මට ලැබුණේ මගේ වාසනාවකට.

නෙහාරා තමන්ගේ පෞද්ගලිකත්වය තරමක් ප්‍රසිද්ධ කරන්න අකැමැති කෙනෙක් නේද?

එහෙම නැහැ. මම පළමුවැනි පාරට ප්‍රෙග්නන්ට් වුණ කාලයේ ෆොටෝ ෂූට්වලට ගොඩක් ආරාධනා ලැබුණා. නමුත්  මගෙ ලොකු කැමැත්තක්වත් ආසාවක්වත් ඒ වෙනුවෙන් තිබුණෙ නැහැ.  අවුරුදු ගණනාවක් තිස්සේ මගෙ ඇ¾දුම් විලාසිතා නිර්මාණය කරන්නේ නයෝමා විජේසිංහ. ඇගේ ඇරයුම මට ප්‍රතික්ෂේප කරන්න බැහැ. ඒ වගේම ධනුෂ්ක සේනාධීරගේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරන්න බැරි නිසා අපි ගිය පාර ෆොටෝ ෂූට් දෙකක් විතර කළා. නමුත් මෙවර තවම කරනවද නැද්ද කියලා අදහසක් මගේ නැහැ. ගොඩක් අය හිතන්නේ මම ෆොටෝ ෂූට් එකක් කරලා ඇති කියලා. ඒත් මේ පාර තවම ඒ ගැන හිතලා නැහැ.

ඉදිරියේදී නෙහාරා තවත් කාර්යබහුල චරිතයක් වේවි. ඒ කාර්යබහුලත්වය සමඟ ඔබට රංගනය මඟහැරේවිද?

ඒක ඒ වෙලාවට තමයි බලන්න වෙන්නේ. මම ඇත්තටම තවම ඒ ගැන හිතලා නැහැ. ඉදිරියේදී කොයි විධියකට කාර්යබහුල වෙයිද කියලා මට හරියටම කියන්න බැහැ. දරුවන් දෙදෙනකුගෙ මවක් කියන්නේ ලොකු වගකීමක්. ඉතින් එන විධියකට මුහුණ දෙනවා. රඟපෑමක් ගැන තවම හිතලා නැහැ.

නෙහාරා රංගනයේ නිරත වුණු,  ඉදිරියේදී විකාශය වීමට නියමිත  ටෙලි නාට්‍ය ගැන කතා කළොත්?

ටෙලි නාට්‍ය  නම්  මම රංගනයෙන් දායක වුණු කිසිම දෙයක් නැහැ. නමුත් මමයි මේනකයි ආරාධිත රංගන ශිල්පීන් ලෙස සහභාගි වුණු “යාළුයිද යාළුවෝ” කියන චිත්‍රපටය තිරගත වීමට තිබෙනවා. එය ඉදිරියේදී ප්‍රේක්ෂකයන් හට නැරඹීමට පුළුවන්.

රටේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය කලාවට දරුණු අභියෝගයක් වී තිබෙනවා. ඒ ගැන නෙහාරාගේ අදහස කොහොමද?

අර්බුදය නම් හැම ක්‍ෂේත්‍රයකටම එක ලෙස බලපා  තිබෙනවා. මම ප්‍රෙග්නන්ට් නිසා ගොඩක්ම රැඳුණෙ නිවෙසෙයි. නමුත් මට ඇහෙන දේවල් දකින දේවල් එක්ක මේනක මට කියන දේවල් එක්ක කලාවට ගොඩක්ම අර්බුදයෙන් පීඩා සිදු වී තිබෙනවා. සෑම දෙයකම  මිල ඉහළ ගිහින්. ඉස්සර දවසකට යන වියදමයි දැන් දවසට යන වියදමයි දෙගුණයකින් වැඩි වෙලා. නමුත් ඒ වියදම වැඩි වුණාට අපේ මාසික වැටුප වැඩි වෙලා නෑ. උදාහරණයක්  විධියට අපි චැනල් එකකට ටෙලි නාට්‍යයක් දෙනකොට ඒ චැනල් එකෙන් ගෙවන ගාණ වැඩි වෙලා නැහැ. එවිට නිෂ්පාදන කටයුතුවලට වුණත් පාඩු සිද්ධවෙන අවස්ථා තිබෙනවා.  ඊට අමතරව විදුලි පහසුකම්, ඉන්ධන ගැටලු මේ හැම දෙයක්ම කලාවටත් බලපා තිබෙනවා.

නෙහාරා පීරිස් නිතරම රූපවාහිනියේ පෙනී සිටි චරිතයක්. ඉදිරි කාලයේත් රූපවාහිනියේ නෙහාරා නිතර දකින රුවක් බවට පත් වෙයිද?

අපි හැමෝටම ජීවිතයේ වාසනාවන්ත කාලයක් එනවා. අවුරුදු ගණනාවක් මම එක දිගට සම්මාන ගත්තා. ටෙලි නාට්‍ය කළා. මම හිතන්නේ මගේ ඒ නිදහස් කාලය ඉවරයි. දැන් එහෙම ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මගේ දැන් තිබෙන හීන, මගේ දැන් තිබෙන බලාපොරොත්තු වෙනස්. දැන් මගේ වගකීම වෙන්නේ මගේ පවුල, මගේ දරුවන්. මම හිතන්නේ නැහැ මාව ඉදිරියට එහෙම දකින්න පුළුවන් වෙයි කියලත්. අපි එන නවකයන්ට අවස්ථාව දෙන්න අවශ්‍යයි. මට දවස් පහේම චැනල්වල ඉන්නට අවශ්‍යයි කියලා ලොකු හීනමානෙකුත් නැහැ. තව කෙනකුට අවස්ථාවක් දුන්නොත් තමයි මේ ක්‍ෂේත්‍රය ඉදිරියටත් රඳා පවතින්නේ.

මේනක කියන්නේ වර්තමානයේ ලංකාවෙහි සිටින දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. බිරියක් විධියට සැමියාගේ දක්ෂතාව ඔබ දකින්නේ කොහොමද?

මේනක රඟපාන්න ආසයි. ඊට වඩා ඔහු අධ්‍යක්ෂණයට කැමැතියි. ඔහු හරි නිර්මාණශීලී චරිතයක්. ඇතැම් දේවල් අපි දකිනවාට වඩා ඔහු දකින්නේ තරමක් වෙනස් විධියකට. මට හරි ආඩම්බරයි ඔහු ගැන. මම ඔහුගේ රසිකයෙක්. ඔහුට දෙන්න පුළුවන් උපරිම සහයෝගය බිරියක් විධියට මම ලබා දෙනවා.

මේනකගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වෙන්න අදහසක් නැද්ද?

එහෙම බලාපොරොත්තුවක් නම් තවම නැහැ. මම ආස නැහැ ලොකු බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්න. මොකද ඒවා හැබැ වුණේ නැත්නම් දුකත් මටමනේ.  ඒ වෙලාවේ වෙන  දේවල්වලට තමා මුහුණ දෙන්නේ. එයාගෙ පළමුවැනි ටෙලිනාට්‍යයෙත්  මට රඟපාන්න බැරි වුණා. මොකද මම එතකොට පළමුවැනි බබා ලැබෙන්න හිටිය නිසා. තුන්වැනි එකෙත් මට රඟපාන්න බැහැ. දැනුත් මම ප්‍රෙග්නන්ට් නිසා. 

දෙවැනි දරුවාත් දුවෙක්ද පුතෙක්ද කියන්න තවම රහසක්ද?

ඔව්. ඒක සප්‍රයිස් එකක්. මම තාම හිතලා නැහැ ඒ ගැන කියනවද නැද්ද කියලා. ඒක සප්‍රයිස් එකක් විධියටම තියාගමු නේද?

ජීවිතයේ ඉදිරි සැලසුම් කොහොමද?

ලොකු බලාපොරොත්තුවක් නම් නැහැ. දැන්  දෙවැනි බබත් එනවා. බබාලා දෙන්නා සහ මේනක සමඟ සතුටින් ජීවත් වෙන්න තමා මගේ ලොකුම බලාපොරොත්තුව.

සචිනි බස්නායක