ගැමුණු මහ රජු ඉදිකළ  රුවන්වැලි මහා සෑයට යටවුණු හෙළිකර නොගත් අබිරහස් ගොන්නක්

0
18

රුවන්වැලි මහා සෑය දුටුගැමුණු මහ රජුගේ මාහැඟි නිර්මාණයක් බව ඓතිහාසිකව හා පුරාවිද්‍යාත්මකව ඔප්පු වී හමාරය. එය “මහාථූපය” නමින් නම් වූයේද ඊටත් වඩා උසකින් තවත් එවැනිම ථූපයක් පසුකාලීන රජවරු ඉදිනොකළේද දුටුගැමුණු රජුටත් මහා ථූපයටත් ඇති ගෞරවය නිසා බැව් සත්‍යයකි. ඒ තරමටම සිංහල ජාතියත් බෞද්ධාගමත් ගැන සිහිපත් කරද්දී රුවන්වැලි මහා සෑය අතිශය වැදගත් වීම නොරහසකි.

ඔබ අදටත් එහි ගොස් වැඳුම් පිදුම් කරන, මේ කියන මහාථූපය නැතහොත් රුවන්වැලි මහා සෑයේ පසුකාලීන කතාව හා බැඳුණු සත්‍යයක් හෙළිකිරීම මෙම ලිපියේ අරමුණ වේ.

අනුරාධපුර රාජධානිය බිඳ වැටීමෙන් පසු කාලයාගේ ඇවෑමෙන් වරින් වර වල් බිහිවී ගිය මේ බිම ඉංග්‍රීසි ආණ්ඩු කාලය වෙද්දී තිබුණේ මහා පස් ගොඩක් ලෙසය. එහි ගස් වැල් හැදී ස්තූපයක් එහි ඇත්දෝයි සිතෙන තරමට වැසී ගොස් තිබුණේය. 1830 – 1850 එමර්සන් ටෙනන්ට්ගේ වාර්තාවට අනුව එය තිබී ඇත්තේ “මහා පස් කන්දක්” විලසින්ය. සැදැහැවතුන්ගේ බොහෝ ඉල්ලීම් නිසා මෙම ථූපය ප්‍රතිසංස්කරණය කිරීමට අමරපුර නිකායික ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ බෞද්ධ සැදැහැවතුන් පිරිසක් සමිතියක් පිහිටුවා ගෙන ලහිලහියේ එම කටයුතු ඇරැඹුවේය. සැදැහැවත්කමට අනුව එය වරදක් නොවුවත් මෙම ථූපයේ ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුව තිබුණේ පුරාවිද්‍යාඥයන්ගේ අධීක්‍ෂණය යටතේය. එහෙත් කඩිමුඩියේ පුරාණ ස්තූපයේ බොහෝ මුල් ඉදිකිරීම් කිසිදු දැනුමක් හා විද්‍යානුකූල පසුබිමක් නැතිව ඉවත් කිරීමත් සැකසීමත් නිසා මෙහි යටගිය ඉතිහාසයේ වැළලී ගිය සත්‍යයන් මතු කර ගන්නට තිබුණු පුරාවිද්‍යාත්මක සාධක සැඟව ගිය පුවත කනගාටුදායක තත්ත්වයකි.

මෙවැනි දෙයක් වන බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්තා වූයෙන් අධීක්‍ෂණ කටයුතු සඳහා කණ්ඩායමක් සමඟ එහි ගියේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාය. පරණවිතාන මහතා එහි යන විටත් රුවන්වැලි සෑයේ උතුරු වාහල්කඩේ සහ ඇත් පවුරේ ප්‍රතිසංස්කරණ කටයුතු සමිතිය මඟින් කරගෙන යමින් තිබිණි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම තරමක් දුරට හෝ දෙන්නට හැකි වී තිබුණේ එම මොහොතේ සිටය. ඉන්පසු රුවන්වැලි සෑය පිළිබඳ පරණ සිද්ධස්ථාන භාර උපදේශක මණ්ඩලයේ අනුකාරක සභාවද අනුරාධපුරයට පැමිණ ප්‍රතිසංස්කරණ කටයුතු පරීක්‍ෂා කරන්නට පටන් ගත්තේ ඉන්පසුවය.

මෙම කතාවේ කුතුහලය දනවන වැදගත්ම කොටස පටන් ගන්නේ ඉන් අනතුරුවය. අද තිබෙන ඇත් පවුර ඉදිකිරීමට එදා අත්තිවාරම් කපද්දී බොහෝ සිත්ගන්නාසුලු පුරාවස්තු ගණනාවක්ම හමුවූයේය. ඒ අතරවූ එක් සමාධි පිළිමයක් විශේෂය. ශෛලිය අනුව එය හය වැනි සියවසට අයත් රන් ආලේප කළ එකකි. එහි ස්වභාවය පරික්‍ෂා කර බලද්දී කලාකෘතියක් හැටියටද අගයෙන් ඉහළ බව පරණවිතාන මහතාගේ අදහස වූයේය. ඇත් පවුර අසලම තිබී ලෝහ කරඬුවක්ද හමුවූයේය. ඒ තුළ අපූරු දෙයක් තිබිණි. එනම් ආභරණ කිහිපයකි. කාන්තාවකගේ කන්, නාස් පලඳනාවලිනුත්, මාලයක කොටස්වලිනුත් එය සමන්විත වූයේය. ඒවා මැණික් ගල් ඇල්ලූ රන් පලඳනා වීම විශේෂය. කිසියම් ප්‍රභූ කාන්තාවක විසින් ශ්‍රද්ධාසම්පන්නව ඇත් පවුර ඉදිකරද්දී ඊට යට කොට මෙය කරවූ බවක් සිතිය හැකිය. එම මාලයට එක් කොට තිබුණු රන්කාසි නවයක අරාබි අකුරු සටහන් විය. ඒවා ක්‍රිස්තු වර්ෂ 954-960 කාලයට අයත් ඒවා යැයි කිව හැකිය. කාසිවල අරාබි අකුරු නොදන්නා නිසා රන්කරුවා ඒවා උඩු යටිකුරු කර මාලයට අල්වා තිබුණේය. මෙම කාසි එකල වෙළෙඳ මාර්ගයෙන් වෙළෙන්දන් හරහා ලක්දිවට ලැබුණු ඒවා බවත්, වෙළෙඳ කුලයේ ප්‍රභූවරුන් අත තිබුණු මේ කාසි ගෞරවයෙන් යුතුව, ශ්‍රද්ධාවෙන් ඇත් පවුරට පූජා කළ බවක් පෙනෙයි.

ප්‍රතිසංස්කරණ සමිතිය 1946 මාර්තු බරපතළ කටයුත්තකට අත ගසමින් ථූපයේ දකුණු වාහල්කඩේ ප්‍රතිසංස්කරණයන් ඇරැඹීය. එම ගොඩනැඟිල්ලේ බිත්ති මූණතට අල්ලන ලද ගල්තහඩු අඩි 10ක් 12ක් පමණ උඩට ආරක්‍ෂාවී තිබුණේය. පරණවිතාන මහතා එම සිදුවීම තම පර්යේෂණ සටහනේ දක්වා තිබුණේ මෙසේය.

“ඒ පැරණි ගොඩනැඟිල්ල ගලින් ගල ගලවා ඉවත් කර ඒ වෙනුවට අලුත් ගොඩනැඟිල්ලක් එම ස්ථානයේ ඉදිකිරීමට සමිතිය තීරණය කර තිබිණි. පැරැණි බදාම තට්ටුව ආරක්‍ෂා කරවීමත් අලුත් වැඩවලට ඒ බදාම තට්ටුව පදනම් කර ගැනීමත් උසස් කාර්මික දක්‍ෂතා ඇති අය ලවා කරවිය යුතු දෙයක් විය.

සමිතියේ සේවකයන් කිසිවකුට මේ දක්‍ෂතා තිබුණේ නැත. දෙපාර්තමේන්තුවට නොදන්වාම ගොඩනැඟිල්ල ගැලවීමේ කටයුතු අරඹන ලදී. ඒ කාර්ය කරගෙන යන ලද්දේත් ඒ අතරතුර සම්භ විය හැකි පුරාවස්තු පිළිබඳ සුදුසු නිරීක්‍ෂණයක් කිරීමට හෝ ඒ පිළිබඳ සටහන් තබා ගැනීමට හෝ සෑහෙන සැලකිල්ලක් දක්වමින් නොවේ. ගොඩනැඟිල්ලේ ගල් ගැලවීමේ කාර්ය පටන්ගෙන දින කිහිපයකින් එහි කම්කරුවන්ට පියනක් සහිත මැටි භාජනයක් සම්භ විය. භාජනය තුළ රන් හා පළිඟු කරඬු කිහිපයක් තිබිණි. අනතුරුව තවත් භාජන කිහිපයක්ද සම්භ විය. ඉන් සමහරක් හුනුගලින් හා සමහරක් වළං මැට්ටෙන් තනා තිබිණි. ඒවා තුළත් නොයෙක් අන්දමේ කුඩා කරඬු තැන්පත් කොට තිබිණි.”

පරණවිතාන මහතා කියූ හැටියට මේ තුළ ඇත්තේ ධාතුන් වහන්සේලා යැයි කියා මහත් රාවයක් නැඟී ගොස් ඇත. ඒවා බලන්නට

වැලනොකැඩී එන්නට පටන්ගෙන තිබිණි. මෙයින් තවදුරටත් පුරාවස්තුවලට හානියක් වේ යැයි සිතා පරණවිතාන මහතා වහා එම කටයුතු කෙරෙන තැනට පැමිණ සිය රාජකාරි පටන්ගෙන ඇත. පරණවිතාන මහතා පැමිණීමෙන් පසු ගලවා ඉවත් කිරීම් හිතු මතයට වූයේ නැත. ලැබුණු ඉඩප්‍රස්තා අනුව ඔහු විධිමත් ලෙස කරුණු සටහන් කරගන්නට යුහුසුලුව ඇත. ඔහුගේ පර්යේෂණ වාර්තාවේ තැනක මෙසේ වෙයි.

“මා එහි පැමිණෙන විට පැරැණි ගොඩනැඟිල්ලේ වැඩි ප්‍රමාණයක් ගලවා දමා තිබුණේය. එහි තිබී සම්භවූ පුරාවස්තු සමිතියේ නිලධාරීන්ගේ භාරයට ගෙන තිබිණි. ඒ පුරාවස්තු පිළිබඳ ලේඛනයක් සකස් කිරීම සඳහා සමිතියේ සහයෝගය එක්තරා ප්‍රමාණයකට මට ලැබිණි. එසේ වුවත් ගොඩනැඟිල්ල ගලවා දැමීමේ ඉතුරු වැඩ කොටස ක්‍රමවත් ලෙසකින් නිම කරවීමට සමිතිය එකඟ කරගත නොහැකි විය. සමිතිය විසින් නව ගොඩනැඟිල්ලට මුල්ගල් තැබීම සඳහා සුබ දිනයක්ද ළඟ ළඟම නියම කරගෙන උත්සවයට සහභාගි වීම සඳහා සම්භාවනීය පුද්ගලයන් කිහිපදෙනකුට ආරාධනා කරලා ද තිබුණේය. පැරැණි වස්තුවකට හානියක් වීම හෝ පුරාවිද්‍යානුකූල සාක්කියක් නැති වී යෑම හෝ ඔවුන්ට එතරම් සැලකිය යුතු දෙයක් නොවීය.”

මෙම තත්ත්වය මත පරණවිතාන මහතාට ඉතිහාසය විද්‍යානුකූලව මතු පරපුරට වාර්තා කර තැබීම සඳහා මහත් උත්සාහයක් ගන්නට සිදුවූ බවක් පෙනෙයි. ඒ අනුව නියම වූ සීමාව තුළ ඒ ඒ පුරාවස්තු තිබී හමුවූ ස්ථානවල සටහන් හා ඡායාරූප පිළියෙල කරන්නට සිදුව තිබේ. ඒ අනුව ලැබුණු ඉඩකඩ අනුව හැකි තරම් විස්තර සහිත වාර්තාවක් පරණවිතාන මහතා සටහන් කර ගත්තේය. ඒ සඳහා එකල අටමස්ථාන විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය එච්. රේවත නාහිමියන්ගේද දැනුවත් කිරීමෙන් සමිතියේ සභාපතිගේ හා අවශේෂ නිලධාරීන්ගේ සහාය ඉන්පසු ලබා ගන්නට කටයුතු සලසාගෙන ඇත. මුල්ගල් තැබීම සඳහා සෑහෙන ප්‍රමාණයක් පැරැණි ගොඩනැඟිල්ල ගලවා ඉවත් කළ පසු පැරැණි ගොඩනැඟිල්ල දෙපස පිහිටි ගල්කණු දෙක වටා රුචි පරිදි කැණීමට පරණවිතාන මහතා මඟපාදා ගත්තේය. එම කටයුතු මුහන්දිරම් පී. ‍ෙදාන් ඇම්බේ‍රාස් වික්‍රමසූරියගේ සෝදිසිය ඇතිව සිදු කරන්නට යෙදුණු බවත් කියැවේ. මේ පිළිබඳ පර්යේෂණ වාර්තා රාජකීය ආසියාතික සමිතියේ (ලංකා ශාඛාවේ) අංක xxxvii දරන කලාපයේ 3 සහ 7 වැනි පිටුවල සඳහන් කර තිබේ. තවදුරටත් කෙටි විස්තරයක් සහිත තොරතුරු හා ඡායාරූප ගණනාවක්ද සහිතව 1947 ජනවාරි 11 වැනි දින “ඉලස්ට්‍රේටඩ් ලන්ඩන් නිවුස්” සඟරාවෙහිද පළවී තිබේ.

මෙම සිදුවීම නිසාම පරණවිතාන මහතාගේ උපදෙස් මත පෞරාණික වස්තු පිළිබඳ ආඥා පනත යටතේ සම්පාදනය කළ අංක 24 දරන නියෝගය සංශෝධනය කර වීමට දෙපාර්තමේන්තුව ක්‍රියා කළේය. ඉන් පසු මුල් පනතට අනුව නොව මින් මතු කිසිම කෙනකුට අවසර පත්‍රයක් ලබා සිටි කෙනකුට වුවත් පුරාවිද්‍යා කොමසාරිස්ගේ ලිඛිත අවසරය කලින් ලබා ඇත්නම් හා පුරාවිද්‍යා කොමසාරිස් තැන හෝ ඔහුගේ නියෝජිතයකු හෝ ඉදිරිපිටදී මිස ප්‍රකෘතිමත් කරගෙන යනු ලබන ස්මාරකයක කිසිම කොටසක් කැඩීම තහනම් කෙරිණි.

සෙනරත් පරණවිතාන මහතාගේ නිගමනයට අනුව රුවන්වැලි සෑයේ සෙසු වාහල්කඩ දෙපාර්තමේන්තුව මඟින් විද්‍යානුකූලව කැණීම් කළේ වී නම් ඒ තුළද වැදගත් පුරාවස්තු හමුවීමට තිබිණි. ඒ සඳහා යෝජනාවක් එකල ඉදිරිපත් කෙරුණද, ඒ සඳහා 1946-47 වර්ෂයේ කෙටුම්පත් ඇස්තමේන්තුවලින් මුදල් වෙන් කර නොතිබිණි. එදා ඒ කටයුතු පරණවිතාන මහතා අතින් සිදුවූයේ නම් රුවන්වැලි සෑයේ ඉතිහාස කතාව තව තවත් පුළුල් වන්නට ඉඩ තිබිණි.

කෙසේ වෙතත් පරණවිතාන මහතාගේ පුරාවිද්‍යාත්මක මැදිහත්වීම නිසාවෙන් එම කණ්ඩායමට රුවන්වැලි සෑය අසලින් පුරාවස්තු කිහිපයක්ම මතුකර ගන්නට හැකිවී තිබේ. ඒ අනුව අඩි 2කුත් අඟල් 9ක් සහ අඩි 2කුත් අඟල් 2ක් දිග පළල ඇති ගල් පුවරුවක් හමුවිය. එහි කනිට්ඨතිස්ස රජුගේ (මළුතිස) රාජ්‍ය කාලයේ පළමු වර්ෂයට අයත් ලිපියක් කොටා තිබිණි. මෙම පුවරුව මුලින්ම 1934දී සොයාගෙන තිබෙන බවක්ද වාර්තා වී ඇත. එදවස එය කවුරුන් විසින් හෝ වුවමනාවෙන්ම මිටියකින් තළා, හතරට කඩා ඇත. මෙය බොහෝදුරට මීට යටවී තිබුණැයි සිතූ නිදන් වස්තුවක් සිතින් මවාගෙන නිදන් සොරකු විසින් කළ දෙයක් බව පෙනිණි. එකල බොහෝ අය සිතුවේ සෙල්ලිපියක් ඇති තැන නිධානයක් ඇතැයි කියලායි.

පරණවිතාන මහතා මෙම ගල්පුවරුවේ කැබැලි තිබෙනු දැක තිබුණේ සෑයේ දකුණු ‍ෙදාරටුව අසලවූ ගල්ගොඩකට යටවී තිබෙද්දීය. ඒ වන විටත් එය සත් වසරක් එතැන තිබී ඇත. පරණවිතාන මහතා කැඩුණු ගල් පතුරු කැබැලි හතර එක්කොට එහි අච්චුවක් ලබාගෙන ඇත. ඒ අනුව ලිපිය කියැවූ ඒ මහතා එහි වූ තොරතුරු සටහන් කර තැබුවේය. එහි කියැවුණේ රුවන්වැලි සෑයට කළ ගම්බිම් පූජාවක් ගැනය. අභාග්‍යයක තරම මිටි පහරවැදී තිබුණේම ගම් බිම්පූජා කළ තැනැත්තාගේ නම සඳහන් තැනටමය. සෙල්ලිපියේ වැදගත්ම කොටස නම් එහි විස්තර වන ඉඩම් පූජාවට අදාළ ඔප්පුව ලෝහප්‍රසාදයේ භාණ්ඩාගාරයේ තැන්පත් කර තිබෙන බවය. කරුණු එසේ නම් නිසැකයෙන්ම එය

සුවිශේෂී ප්‍රභූවරයකුගේ එනම් රජකුගේ නමක්ම  විය හැකි යැයි උපකල්පනය කරන්නට හැකිය. ඔහු දුටුගැමුණු රජුමද නැතිනම් ඉන්පසු රජවූ කෙනකුද යන්න සොයාගත නොහැකි වීම අභාග්‍යයකි.

ඔබ එහි ගිය දිනෙක ඉන් පසුව කළ කැණීම් හා ඉන් මතු කර සංරක්‍ෂිත දෑද බොහෝය. දාගැබේ උතුරු, නැඟෙනහිර සහ බටහිර ‍ෙදාරටු තවමත් හොඳින් දැකගත හැකිය. එහෙත් දකුණු ‍ෙදාරටුව බොහෝ සේ නටබුන් වී ඇත. එහි කොටස් හඳුනාගත හැකිය. හොඳින් ආරක්‍ෂා වූ උතුරු ‍ෙදාරටුවේ සිට උතුරට හෙවත් ථූපාරාමය දිශාවට පුරාණ මාර්ගයක් එදා විහිදී තිබී ඇත. උතුරු ‍ෙදාරටුවේ වම් පස සුවිසල් සෙල් ටැඹකි. එය දේවානම්පියතිස්ස රජතුමා විසින් එම ස්ථානයෙහි මතු දිනෙක මහාථූපය ගොඩනංවන බවට සඳහන් කරමින් තැබූවක් බැව් කියැවේ.

රුවන්වැලි සෑයට වැටෙන වැසි ජලය බැස යෑමට පුරාණයේ සිවු දිසාවෙහි පොකුණු සතරක් තිබී ඇතත් වර්තමානයේ ඒවා බොහොමයක් විනාශ වී ගොඩවී ඇති අතර එහි නැඟෙනහිර පොකුණ සංඝාරාමය ඉදිරිපස පිහිටා ඇත. නැඟෙනහිර ‍ෙදාරටුව දකුණු පස චතුරස්‍රාකාර සෙල්මුවා භාජනයකි. එහි ඇතුළු පැත්ත උත්තලාකාරව සකසා ගල් පතුරු එකිනෙකට වද්දා නිර්මාණය කර තිබේ. එය පාදෝවනය සඳහා ජලය තැන්පත් කිරීමට භාවිත කර ඇති පාදෝවනියක් බව විශ්වාස කෙරේ. නැඟෙනහිර ‍ෙදාරටුවේ සිට ප්‍රාකාරයේ වම් පස පදනමේ නිදන්කර තිබූ චීන මැටි බඳුන් රැසක් 2004 වසරේදී පුරාවිද්‍යාඥයන්ට හමුවී තිබේ. අනුරාධපුර යුගයට අයත් ලෙස සැලකෙන එම මැටි බඳුන් ඉතා හොඳින් ආරක්‍ෂා වී තිබිණි. එකල ලක්දිවත් චීනයත් අතර වූ මහා සබඳතාව ඉන් ප්‍රකට කෙරෙයි.

මළුවේ තිබී හමුවූ දෙඋරම වැසූ සෙල්මුවා හුනුගල් බුදු පිළිමය කලාත්මකවද පුරාවිද්‍යාත්මකවද ඉහළම නිර්මාණයකි. මෙහි ඇත් පවුර නිමවා ඇත්තේ දුටුගැමුණු රජුගේ මලණුවන් වූ සද්ධාතිස්ස රජතුමාය. ඇත් පවුරෙන් ඇතුළත සලපතළ මළුව අක්කර 5කි. එය ලඤජිතිස්ස රජු කළ එකකි. සලපතළ මළුවේ ඇති අඩි 6ක් උස 4ක් පළල සෙල්ලිපිය නිශ්ශංකමල්ල රජතුමා පිහිටුවූවකි. එහි ස්තූපයේ වැලි මළුව ඇතිරූ තොරතුරු දැක්වේ. නැඟෙනහිර ‍ෙදාරටුවේ සලපතළ මළුවට ඇතුළු වූ තැනම දකුණුපස චෛත්‍යයට වැඳගෙන සිටින ආකාරයෙන් නෙළා ඇති සුවිසල් ශෛලමය ප්‍රතිමාව මේ මහා චෛත්‍යය ඉදිකළ දුටුගැමුණු රජතුමාගේ බව විශ්වාස කෙරේ.

එබැවින් ඓතිහාසික සාධක මත විද්‍යාත්මක ලෙස පුරාවිද්‍යාඥයන් විසින් මතු කර දුන් මතුකර දෙන සාක්‍ෂි සහිත ඉතිහාසය අනාගත පරපුරට ඉතා වැදගත්ය. යුතුකමක් වශයෙන් එය තවදුරටත් පර්යේෂණය කිරීම හා විද්‍යානුකූලව තහවුරු කිරීම අපගේ යුතුකමය.

සජිත් රෝහිත ලියනගේ

(පර්යේෂණ වාර්තා ඇසුරින් සැකසිණි)