ගැබිනි අම්මලා මළගෙවල්වල ගියොත් මොකද වෙන්නේ?

0
598

ගර්භණී කාලය පිළිබඳව නොයෙක් නොයෙක් වැරදි විශ්වාස ලෝකය පුරාම පැතිරිලා තිබෙනවා. ඒවායේ විද්‍යාත්මක පදනමක් තිබේද යන්න පිළිබඳව පරීක්ෂා නොකර ඒවා ගතානුගතික ලෙස පාරම්පරිකව විශ්වාස කිරීමට බොහෝ අය නැඹුරුවී සිටිනවා. ලංකාව තුළ හා ලෝකයේ විවිධ රටවල් තුළ පැතිරී තිබෙන මෙවැනි මිථ්‍යා මත පිළිබඳ අප මේ සතියේ විමසා බලමු.  ගර්භණී කාලය පිළිබඳව ලංකාව තුළ තිබෙන විශ්වාස පිළිබඳව සැලකීමේදී ඒ අය කියන එක් දෙයක් තමයි එකට බද්ධ වූ කෙසෙල් ගෙඩි ආහාරයට එකතු කරගන්න එපා යැයි කියන මතය.

ඒවා ආහාරයට ගැනීමෙන් බද්ධ නිවුන් දරුවන් ලැබෙනවා කියලා බොහෝ දෙනා විශ්වාස කරන්න පෙලඹිලා තිබෙනවා. බද්ධ වූ කෙසෙල් ගෙඩි පමණක් නොව බද්ධ වූ කිසිදු පලතුරක් අනුභව කිරීමෙන් ගර්භණී අය වැළකී සිටිනවා. ඒ වැනිම තිබෙන අනෙක් විශ්වාසයන් පිළිබඳව සලකා බැලුවොත්, දරුවා ගැහැනු දරුවෙක්ද, පිරිමි දරුවෙක්ද කියන එක උදරය දිහා බලා කීමට බොහෝ දෙනා පෙලැඹී තිබෙනවා. උදරය උල්වී හෝ සිහින් වෙලා තිබෙනවා නම් ඒ පිරිමි දරුවකු බවත්, උදරය පැතලි විදිහට තිබෙනවා නම් ගැහැනු දරුවකු උපදින බවටත් විශ්වාස කරනවා. ඒ වගේම, ගර්භණී

කාලයට බොහෝ පියකරු වේ නම්, සාපේක්ෂව වැඩියෙන් ලස්සන වෙනවා නම් ලැබෙන්නේ ගැහැනු දරුවකු ලෙසත්, සාපේක්ෂව වෙනදාට වඩා අවලස්සන වී දරදඬු පෙනුමක් තිබෙනවා නම් ලැබෙන්නේ පිරිමි දරුවකු ලෙස බොහෝ දෙනා විශ්වාස කරනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් වන්නේ මෙවැනි විශ්වාසයන් අප රටට පමණක් ආවේණික නොවන බවත් මේවා බටහිර රටවලත් පවතින බවයි. විශේෂයෙන්ම චීනයෙත් මේ වගේ විශ්වාසයක් පවතිනවා. ගර්භණී කෙනකුගේ උදරය බසයක පිටුපස පෙනුමට සමානයි නම් ගැහැනු දරුවකු උපදින බවත් එසේ නොවෙයි නම් පිරිමි දරුවකු උපදින බවත් ඔවුන් විශ්වාස කරනවා.

 ඒ වගේම ලංකාවේ තිබෙන තවත් විශ්වාසයක් වන්නේ ගැබිනි කාලයේදී ආහාර අනුභව කරනවිට දෙළුම්, අලිගැටපේර වැනි පලතුරු අනුභව කළොත් ලස්සන දරුවකු ලැබෙන බව. ඒ වගේම උණුසුම් ආහාර අනුභව කළොත් දරුවාගේ හිසකෙස් අඩු වෙයි කියලා විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම ගර්භණී අය බොහෝ වෙලාවට අන්නාසි ආහාරයට එකතු කර නොගැනීමට වග බලාගන්නවා. එයින් ගර්භාෂයට හානි සිදුවී ගබ්සා සිදුවන බවට විශ්වාසයක් පැතිරිලා තිබෙනවා. ඒ වගේම පැපොල්, සුදුලූනු අනුභවයෙනුත් ගර්භාශයට හානි සිදුවනවා යැයි විශ්වාසයක් පවතිනවා. ගර්භණී කාලයේදී ඕනෑවට වඩා ජලය පානය කළොත් එය ගර්භාශය නරක් වෙන්න බලපාන බව සමහර ප්‍රාදේශීය ප්‍රදේශවල මතයක් තිබෙනවා.

ඒ වගේම ගර්භණී කාලයේදී ශරීරය නවන්න එපා කියලත් එසේ නැමුවොත් දරුවා තද වී විකෘති වන බවට ද විශ්වාසයක් තිබෙනවා. විශේෂයෙන්ම සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණයක් පවතින අවස්ථාවලදී උල් වෙලා තිබෙන ලෝහ වස්තුවක් භාවිත කරන්න එපා කියලා කියනවා. පිහියක් වගේ දෙයක්. ඒ වගේම කෑම පිසීම සහ අනුභව ආදියට උණුවතුර භාවිත කළොත් එසේ නැත්නම් ඕනෑවට වඩා උණු දේවල් භාවිත කළොත් ඒ වගේම වැරැදි වෙලාවලට ස්නානය කළොත් අංගවිකල දරුවන් ලැබෙනවයි කියලා එහෙමත් නැත්නම් අවලස්සන උපන් ලප සහිත දරුවන් ලැබෙන බවට මතයක් තිබෙනවා.

ඒ වගේම බොහෝ වෙලාවට එළඟිතෙල් අනුභව කිරීම ප්‍රසූතිය සඳහා පහසු වන බවට මතයක් පවතිනවා. දරු උපතින් පසුව අමු සුදුලූනු අනුභව කිරීමෙන් ගර්භාශය පිරිසුදු වන බවට මතයක් තිබෙනවා. ඒ වගේම ගර්භණී කාලයේදී ලස්සන දරුවන්ගේ රූප, වර්ණවත් රූප දැකීමෙන් ලස්සන දරුවකු ලැබෙනවයි කියලාද විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම තමන් වැඩිපුරම දකින සිත්ගත් දරුවකුගේ රූපයකට සමාන රූපයක් සහිත දරුවකු ලැබෙන බව බොහෝ මවුවරුන් තරයේ විශ්වාස කරනවා. ඒ නිසා ගර්භණී කෙනකු සිටින නිවෙසක ඒ අයගේ නිදන කාමරයේ ලස්සන දරුවන්ගේ රූප, පින්තූර එල්ලා තැබීමට බොහෝ අය නැඹුරු වී සිටිනවා. ගැබිනි කාලය තුළ බිත්තර නොබිඳිය යුතුයි කියලා මතයක් තිබෙනවා.

එහෙම බින්‍ෙදාත් තමන්ගේ ගර්භයටත් හානියක් වෙයි කියලා ඔවුන් සිතනවා. ඒ වගේමයි තමන්ගේ ගර්භණී සමයේ මුල් මාසය තුළ එක් එක් අයට ප්‍රචාරය නොකළ යුතුයි යැයිද මතයක් තිබෙන අතර එහෙම කළොත් ගර්භණී බව නැති වෙන්න පුළුවන් කියලා විශ්වාසයක් පවතිනවා. ඒ වගේම සමහර කාර්යයන් කිරීම නරක යැයි කියනවා. මහන මැෂින් පෑගීම නොකළ යුතුයි කියන එක එවැනි මතයක්.

ඒවා තමයි ලංකාවේ අසන්නට ලැබෙන මිථ්‍යා විශ්වාස‍යන් වන්නේ. ඒ වගේම මෙවැනි දේවලට සමාන සහ වෙනත් විවිධ මත මුළු ලෝකය පුරාම විවිධ රටවල පැතිර තිබෙනවා. ඒවා පිළිබඳ අප අවධානය යොමු කළොත් පිලිපීනයේ තිබෙන මතයක් වන්නේ අනුභව කිරීමට තද ආශාවක් දක්වන ආහාර මත දරුවාගේ ස්වරූපය වෙනස් වන බව. ඒ අය ගර්භණී කෙනකුට චොක්ලට් හෝ තද දුඹුරු ආහාර ලබා දෙන්නේ නැහැ. දරුවාත් එවැනි පැහැයක් ඇතිවෙයි කියලා. ඒ වෙනුවට ඒ අය කැමති

වර්ණ අඩු කිරි වැනි ආහාර අනුභව කිරීමට. එවැනි ආහාර අනුභව කිරීමෙන් දරුවා පැහැපත් වන බවට මතයක් තිබෙනවා. ඒ වගේම තවත් මතයක් තිබෙනවා මව යම් ආහාරයකට කැමැත්තක් දක්වනවා නම් එය ලබාදෙන්න කියලා. මොකද එය දරුවාගේ අවශ්‍යතාවක් කියලා ඔවුන් සිතනවා. මේ මතය ලංකාවෙත් බොහෝ දුරට පවතින අතර එය ලංකාව තුළ “‍ෙදාළදුක” ලෙස හ¾දුන්වනවා. ඒ නිසා ගර්භණී කෙනෙක් ආසා කරන දේවල් ලබා දෙන්න ගෙදර අය කෙසේ හෝ කටයුතු කරනවා.

එහෙම නැති නම් දරුවට හානිවේ යැයි සිතනවා. ඒ වගේම පිලිපීනයේ තිබෙන තව මතයක් වන්නේ, ගෙල වටේ මාලයක් බැඳීම හෝ තුවායක් ගෙල වටා ඔතා ගැනීම නොකළ යුතුයි කියලා. එහෙම සිදු කළොත් දරුවාගේ උත්පත්තියේදී පෙකණි වැල බෙල්ලේ හිර වෙන්න ඉඩ තිබෙන බව ඔවුන් විශ්වාස කරනවා. ඒ වගේම ගර්භණී කාලයේදී අවමංගල්‍ය කටයුතුවලට සහභාගි නොවිය යුතු බවට මතයක් තිබෙනවා. එහෙම කළොත් අසුබ පල එන්න පුළුවන් කියලත් දරු ගැබ විනාශ වෙන්න පුළුවන් කියලත්, අවමංගල්‍යය වෙලාවට එහි නපුරු භූතයෝ ඉන්න පුළුවන් කියලත් ඒ අය තමන්ගේ දරුවව අරගෙන යන්න පුළුවන් කියලත් විශ්වාස කරනවා. එයත් බොහෝ රටවල  තිබෙන විශ්වාසයක්. ඒ වගේම පිලිපීනයෙත් විශ්වාස කරනවා එකට බැඳුණු කෙසෙල් ගෙඩි අනුභව කිරීමෙන් බද්ධ නිවුන් දරුවන් ලැබෙනවයි කියලා.

 ආසියානු රටවල තිබෙන තවත් එක් මිථ්‍යා විශ්වාසයක් වනුයේ විශේෂයෙන්ම ඇ¾දුම් මැසීම හෝ ලණු මතින් පැනීම නුසුදුසු බව. දැන් කාලයේ නම් ලණුවකින් පැනීම වගේම නිවෙසේ තිබෙන power cables බිම ඇදල තිබෙන අවස්ථාවේදී ඒවා උඩින් පැනීම නරක බවටද මතයක් තිබෙනවා. ගර්භණී කාලය තුළ තමන්ගේ ශරීරයේ කළු පැහැ ලප හෝ කළු ප්‍රදේශ ඇති වුණොත් පිරිමි දරුවෙක් ලැබෙන බවත්, තමන් වඩා පැහැපත් වී පිරිපුන් වී ලස්සන වෙනවා නම් ගැහැනු දරුවකු ලැබෙන බවත් විශ්වාස කරනවා. ජපානයේ තිබෙන මතයක් වන්නේ ගර්භණී කාලායේදී ගර්භණී මව විසින් තමන්ගේ උදරය පිරිමැදීම නොකළ යුතුය යන්නයි. එසේ කළහොත් තමන්ට අකීකරු දරුවෙක් ලැබේ යැයි කියලා විශ්වාසයක් තිබෙනවා.

එම මතය එලෙසින්ම චීනයේද තිබෙනවා. ලයිබීරියාව කියන රටේ තිබෙන විශ්වාසයක් වන්නේ ගෙදර අය හැරුණු විට වෙනත් අමුත්තෙක් ගර්භණී කාන්තාවට අතට අත දීම හෝ ස්පර්ශ නොකළ යුතුයි යන්නයි. එහෙම ස්පර්ශ වූවොත්, අමනුෂ්‍යයන් භූතයන් හෝ ප්‍රේතයන් තමන් වෙත ළඟා වී තමන්ගේ ගර්භයට හානි කරන්න උත්සාහකරන බවට ඒ රටේ බහුතරයක් විශ්වාස කරනවා. චීන සංස්කෘතීයේ තිබෙන විශ්වාසයක් වන්නේ උල් සහිත, ඉඳිකටු, කතුරු වැනි උපකරණ ගැබිනි කාලයේදී ගැබිනියගේ ඇඳ මත හෝ ඒ අසල ස්ථානයක නොතැබිය යුතු බවයි. එහෙම තිබුණ හොත් කුසේ සිටින දරුවට නොයෙක් ආබාධ ඇති වෙනවා යැයි විශ්වාස කරනවා.

තුර්කිය නමැති රටේ අනාදිමත් කාලයක පටන් තිබෙන විශ්වාසයක් වන්නේ, ගර්භණී කාන්තාවන්ට සත්ත්ව උද්‍යානය නැරඹීමට යන්න නොදිය යුතු යන්නයි. එයට හේතුව වන්නේ සත්ත්ව උද්‍යානවල සිටින අවලස්සන සතුන් ලෙස සැලකෙන වලසුන්, ව¾දුරන් ආදිය බැලීම ගර්භණී කාලයේදී හොඳ නැති බවයි. ඒ නිසා ලස්සන දරුවකු ලැබීමට නම් අවලස්සන දේ ඉවත් කර ලස්සන දේ නැරඹීම පමණක් ඔවුන්ගේ චාරිත්‍රයක් ලෙස සිදුකරනු ලබනවා. ඒ වගේම හුඟක් රටවල විශ්වාසයක් තිබෙනවා පූර්ණ චන්ද්‍රයා දෙස බැලීම සිදුකළොත් ගර්භණියට තොල් පැළුණු, හිඩැස් ඇති එසේ නැත්නම් තල්ල පැළුණු දරුවකු ලැබීමට ඉඩ තිබෙන බව. එය ආදි කාලයේ ගෝත්‍රයක් වන ඇස්පෙක්වරුන්ද විශ්වාස කර තිබෙනවා.

සමහර සංස්කෘතීන්වල චන්ද්‍ර කිරණින් බේරීමට ලෝහවලින් සැදුණු යමක් පැලඳිය යුතුයි යැයි විශ්වාසයක් පවතිනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ චන්ද්‍රග්‍රහණ, සූර්යග්‍රහණ බැලීම ගර්භණී කාන්තාවන්ට පමණක් නෙවෙයි අනෙක් අයටත් අසුබ යැයි සලකනවා. ඒ වගේම සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ සිදුවන කාලයේදී විවේකීව සිටිය යුතු බවට කියනවා. ගර්භණී මවුවරු විශේෂයෙන්ම නිවෙස්වලට වෙලා ජනෙල්, ‍ෙදාරවල් වහගෙන වීදුරු ජනෙල් පියන් තිබෙනවා නම් ඒවා කඩදාසිවලින් වහගෙන නිරාහාරව ඒ ග්‍රහණ කාලය තුළ සිටින්න ඕනෑ.

ඒ කාලය තුළ ස්නානය කිරීමත් නොකළ යුතු බවට විශ්වාස කරනවා. චීනයේ තිබෙන තවත් විශ්වාසයක් වන්නේ ගර්භණී කෙනකු විවාහ මංගල්‍යවලට සහභාගි නොවිය යුතු බව. විවාහ මංගල්‍යයකට සහභාගි වුණොත් ඒ අය විශ්වාස කරනවා මනමාල යුවළ ළඟ “චී ශක්තිය” තිබෙන බවත් ගැබිනි මවගෙත් චී ශක්තිය තිබෙන නිසා මෙම ශක්ති දෙක එකින් එකට විරුද්ධ නිසා එකට ගැටීමෙන් දරුවට අනතුරක් වෙයි කියලා. ඒ වගේම චීන අය විශ්වාස කරනවා සුබ කටයුතු දෙකක් එකවර නොකළ යුතු බව. විවාහය සහ ගර්භණී බව යන දෙකම සුබ කටයුතු නිසා ගර්භණී කෙනෙක් විවාහ කටයුතුවලට සහභාගි නොවිය යුතු බව. ඒ වගේම ගැබිනි කාලයේදී තද වචන, නපුරු වචන භාවිත නොකළ යුතු බවට ගර්භණී අයට අවවාද ලබාදෙනවා. එවැනි දේවල් නුසුදුසු බවත් තමන් කේන්තියෙන් සිටියොත්, කෑ ගැසුවොත් ආබාධිත දරුවෙක් ලැබෙන බව විශ්වාස කරනවා. ඒ නිසා බොහෝ රටවල නෑදෑ හිතවතුන්, ස්වාමිපුරුෂයා ආදී සියලු දෙනා ගර්භණී කාන්තාව සන්සුන්ව තැබීමට උත්සාහ කරනවා.

 විවිධ රටවල පවතින තවත් විශ්වාසයක් වන්නේ ගැබිනි කාලය තුළ යම්කිසි කෙනකුගෙන්  තෑගි ලබා ගැනීම හෝ ඒවා විවෘත කිරීම අසුබදායක බව. යුදෙව් අය කියනවා එයින් ගැබිනි මාතාවට ඇස්වහ ඇතිවන බව. ලංකාවේ වගේම බල්ගේරියාවේ තිබෙන විශ්වාසයක් වන්නේ ගර්භණීභාවය ප්‍රචාරය නොකළ යුතු බව. විශේෂයෙන් ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල පැතිරිලා තිබෙන මතයක් වන්නේ මුහුදේ නෑම සහ විශාල ජලාශවල නෑම අගුණ බව. මෙනිසෝටා කියන ප්‍රාන්තය විල් දහදාහක් පමණ තිබෙන ප්‍රාන්තයක්ලු. එහි පැතිර තිබෙන විශ්වාසයක් තිබෙනවා.

මෙය ආදිකාලයේ පටන් ස්වදේශිකයන් පවා විශ්වාස කළ මතයක්. එම විශ්වාසයට අනුව එම විශාල විල්වල නරක භූතයන් ඉන්න බවත් ඒවාට ගර්භණී කාන්තාවන් නොබැසිය යුතු බවත් පවසනවා. සමහර රටවල තිබෙන තවත් මතයක් වන්නේ ගර්භණී කාලයේදී උදෑසනට තදින් වමනය යනවා නම් එය හුඟක්ම අධිකව සිදුවේ නම් වෛද්‍ය ප්‍රතිකාර පවා ගන්න සිදුවේ නම් ගැහැනු දරුවකු උපදින බව. ඒ වගේම බටහිර රටවල තිබෙන තවත් විශ්වාසයක් වන්නේ කුළුබඩු සහිත ආහාර, අපි සැර ආහාර වශයෙන් හඳුන්වන ඒවා ආහාරයට ගත්තොත් දරුවාගේ ඇස් පිලිස්සී යන බවත් අන්ධවීම සිදුවන බවයි. ඒ වගේම බටහිර රටවල තිබෙන මතයක් වන්නේ ලණුවක් හෝ විදුලි රැහැනක් උඩින් පැන්නොත් නරකයි කියන එක. එහෙම කළොත් දරුවගේ පෙකණි වැල බෙල්ල වටේ එතෙන්න නැඹුරුතාවක් පවතින බවටයි විශ්වාස කරන්නේ.

ඒ වගේම තිබෙන තවත් විශ්වාසයක් වන්නේ හිසට උඩින් අත්දෙක ඔසවන්න එපා කියන එක. එසේ එසවීමෙන් දරුවගේ පෙකණි වැල බෙල්ල වටේ එතිලා තද වෙලා දරුවා මියයන්න පුළුවන් කියලා. ගැබිනි කාලයේදී ගර්භණිය තමාගේ හිසකෙස් නොකැපිය යුතු බවත් එසේ නොකළොත් දරුවාගේ ඇස් පෙනීමට එය බලපාන බව විශ්වාස කරනවා. ඒ වගේම තිබෙන තවත් මතයක් වන්නේ ගැබිනි කාලය තුළ තමන්ගේ කුසේ සිටින දරුවාට ලබාදීමට බලාපොරොත්තු වන තෑගි බෝග නෑදෑ හිතවතුන් විසින් ගෙනල්ලා දුන්නොත් ඒවා ලබා ගන්න එපා කියලා. එහෙම නැත්නම් ඒවා විවෘත නොකර ඉන්න කියලා. ඒවා තමයි හුඟක්ම පැතිරිලා තිබෙන විශ්වාස වන්නේ. තවත් විශ්වාසයක් තිබෙනවා දරුවාගේ ගැහැනු / පිරිමි බව නිර්ණය කර ගැනීමට සමහර රටවල භාවිත කරනවා මුදු පරීක්ෂාව. එය Ring test ලෙස හඳුන්වනවා.

එයට ගන්නේ ගර්භණිය විවාහ වන දවසේ පැලඳි මුද්ද. ඒ මුද්ද නූලකින් ගැටහසා ගර්භණිය නිදා ගැනීමට සලස්වා ඇයගේ හිතවතෙක් ගර්භණියගේ ගර්භයට ඉහළින් මුද්ද එල්ලා, එම මුද්ද චලනය වන විට එය රවුම් ආකාරයෙන්  කරකැවෙනවා නම්, වටේට ගැහැනු දරුවකු උපදින බව විශ්වාස කරනවා. ඒ වගේම එම මුද්ද ඉහළට, පහළට, පැත්තෙන්, පැත්තට සෙලවෙනවා නම් පිරිමි දරුවකු උපදින බවත් විශ්වාස කරනවා.

මේ වගේ විශ්වාසවල විද්‍යානුකූල බවක් නැතත් එහෙම පිළිපදින කෙනෙක්‍ට ඒවා පිළිබඳ වැඩිපුර අදහස් කීම හෝ ඒවා නොකිරීමට බල නොකළ යුතුයි. යම්කිසි විධියකින් ඒ අයගේ තිබෙන විශ්වාසවලට විරුද්ධව අපි යමක් කරලා හෝ කියලා ඒකත් දරුවත් අතර කිසිම සම්බන්ධයක් නැති වුවත් යම්කිසි ආකාරයකින් දරුවට හානියක් සිදුවුණොත් ඒ අදාළ අනෙක් පාර්ශ්වයට සිතෙන්න පුළුවන් අපගේ අදහසක් හෝ විශ්වාසයක් නිසා එවැනි දෙයක් සිදුවුණ බව. ඒ වගේම සෑම කාන්තාවක්ම විශාල බලාපොරොත්තුවකින් ඉන්නවා තමන්ට ඉතාම ගුණවත්, නැණවත් ලස්සන දරුවකු ලබා ගැනීමට.

එයට හානි වන කිසිම දෙයක් කිරීමට කිසිම ගර්භණී කාන්තාවක් කැමැති වන්නේ නැහැ. ඒ නිසා ඕනෑම විශ්වාසයක් තමන්ගේ දරුවට හොඳයි, ගර්භණීතාවට හොඳයි කිව්වොත් එයට ඕනම සංස්කෘතියක ඉන්න කාන්තාවක් නැඹුරු වීමට ඉඩකඩ පවතිනවා. ඒ නිසා එහෙම අවස්ථාවක ඉන්න කාන්තාවකට එවැනි දෙයක් කිරීම කොතරම් අවිද්‍යාත්මක වුවත් ඒවා පිළිබඳව නිශ්ශබ්දව සිටීම තමයි බුද්ධිමත් බව වන්නේ.

එහෙම නැත්නම් අනෙක් අය සිතනවා යම්කිසි විපතක් සිදුවුවහොත් පවතින විශ්වාසයන්ට අනුව කටයුතු නොකළ නිසා තමයි එවැනි විපතක් සිදුවුණේ කියලා. මෙවැනි මිථ්‍යා විශ්වාස තිබෙනවා. ඒවා පිළිපැදීම හෝ නොපිළිපැදීම ඒ අයගේ කාර්යයක්. එහෙත් විද්‍යානුකූලව නම් බාහිර වශයෙන් කරන කිසිම දෙයක් ගැබිනිභාවයට බලපෑමක් සිදු නොවන බවයි විද්‍යාත්මක හා වෛද්‍ය විද්‍යාත්මක මතය ලෙස පිළිගනු ලබන්නේ.

රමෝද් ජයවර්ධන