කෑගල්ල වන රොදකට වීසි කළ දියණී නෙදර්ලන්තෙන් ඇවිත් ආදරය බෙදන්නී

0
25

එකී උත්තරීතර බැඳීම එක් සමාජයකට, රටකට, සංස්කෘතියකට හෝ ආගමකට සීමා වූවක් නොවේ. ඒ විශ්ව ස්නේහයට එවැනි සීමා මායිම් අදාළ වන්නේ නැත.

ශ්‍රී ලාංකිකයන් වන අපි අපේ සංස්කෘතිය ගැන ද ආගම ගැන ද මහ ඉහළින් කතා කරමු. සමාජ බැඳීම් හා සාරධර්ම ගැන උදම් අනමු. එහෙත් බොහෝ බටහිර සහ විශේෂයෙන්ම ස්කැන්ඩිනේවියානු රටවල මිනිසුන් තුළ ඇති මානව ගුණධර්ම, මිනිස්කම, දාරක ප්‍රේමය හා සෙනෙහස පිළිබඳ ගුණාංග විටෙක අප අභිභවා යන තරම්ය.

යම් යම් කාලවල ශ්‍රී ලංකාවෙන් දරුකමට එතෙර ගෙන ගිය දරුවන් කල් යෑමේ දී තමන්ගේ වැදූ අම්මලා ද ඥාතීන් ද සොයා ගෙන ලංකාවට පැමිණෙන කතාන්දර හා ඒ හා බැඳුණු සිදුවීම් විමසන විට මෙවැනි අතිශය සංවේදී කතා අපට හමුවෙයි.

නෙදර්ලන්තයේ ධනවත් යුවළක් වන ලියෝ සහ කාර්ලා 2007 දී මුලින්ම ලංකාවට පැමිණෙන්නේ සංචාරයක් සඳහාය. දරු සම්පත නැති තමන්ට දරුකමට හදා ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් දරුවකු ගෙන යෑමේ අදහස ඔවුන්ට ඇති වන්නේ ඒ අවස්ථාවේදීය. ඒ අනුව ඔවුන් නීත්‍යනුකූලව වත්තල ප්‍රදේශයේ කන්‍යාරාමයකින් පිරිමි දරුවකු ලබා ගැනීමට අවස්ථාව උදා කර ගන්නේය. ඇන්ටන් නමැති මේ බිලි¼දා සුදු මවුපියන් සමඟ එතෙර යන්නේ ඒ අනුවය.

ටිකක් කල් යෑමේදී ඇන්ටන් පුංචි පුතාගේ පාළුව තනිකම යන්නට තවත් දියණියක් ලංකාවෙන් ගෙන යන්නට මේ සුදු අම්මා කාර්ලා තීරණය කරන්නීය. ඒ අනුව 2009 දී ඔවුන් නැවැත ලංකාවට පැමිණි අවස්ථාවක කුරුවිට ඉසුර ළමා නිවාසයෙන් දියණියක් ලබා ගන්නේ ඇන්ටන්ගේ සතුට වැඩි කරමිනි. ඒ දියණිය කෑගල්ල රෝහල අසල වන වදුලක මව විසින් දමා ගොස් තිබියදී පරිවාස මාර්ගයෙන් රජයෙන් පාලනය වන මෙම ළමා නිවාසය වෙත ලැබී තිබුණු දියණියකි. ඒ අනුව ෂෙහානි රන්දිකා නමින් ඇය ද සුදු මවුපියන් සමඟ නෙදර්ලන්තය බලා ගියාය.

මේ සුදු මවුපියෝ බොහෝ විට හරි විවෘතය. දරුවන්ගෙන් කිසිවක්ම සඟවන්නේ නැත. වැදූ අම්මා සමඟ තමන්ට ශ්‍රී ලංකාවේ ජීවත් වන්නට නොහැකි වුණු හේතු ද දැන් විදේශයක තමන් සමඟ ජීවත් වීමේ හේතු ද ඔවුන් නොසඟවා මේ දරුවන්ට කියා දෙන්නේ ය. යම් යම් මතක සටහන් සේයා රූ වැනි දේ ඇත්නම් ඒවා පෙන්වන්නට ද ඒවා ගැන කියා දෙන්නට ද පැකිළෙන්නේ නැත.

ඇන්ටන් පුතා ටිකක් ලොකු මහත් වන විට තමන්ගේ වැදූ අම්මා පිළිබඳ හැඟීමක් ඇති වන්නේ ඒ අනුවය. ඒ අනුව ඊට පසු කාලයක ලියෝ සහ කාර්ලා යුවළ ලංකාවට පැමිණියේ ඇන්ටන්ගේ වැදූ මව සොයා ගැනීමේ ආශාව සමනය කරනු පිණිසය. සංචාරක මඟපෙන්වන්නකු වන ඇන්ඩෘෘ සිල්වාගේ මාර්ගයෙන් මේ අම්මා නුවරඑළියේ හාවාඑළිය ප්‍රදේශයේ දී මුණගැස්වීමට හැකිවීම හරි වාසනාවන්ත හා හැඟීම්බර සිදුවීමක් විය.

කෑගල්ලේ වන වදුලකින් ඇහිඳ කුරුවිට ඉසුරු ළමා නිවාසයෙන් නෙදර්ලන්තය බලා ගිය ෂෙහානි රන්දිකා දියණියට ද අයියාට මෙන් තම වැදූ මව දැක ගැනීමේ ආශාව ඇති වී තිබෙන නමුත් තවමත් ඒ අවස්ථාව උදා නොවීම ගැන ඇය ඉන්නේ කනගාටුවෙනි. එදා මොනයම් හෝ හේතුවක් නිසා අම්මා තමන්ව වෙන් කරන්නට තීරණය කළත් ඇයට තම මව පිළිබඳ ලොකු හැඟීමක් තිබේ. ඒ ඉතිහාසයට ‍ෙදාස් පැවැරීමේ කාලය අවසන් කොට තම දයාබර මව වැලඳ ගැනීමට ඇය සූදානමින් සිටින්නීය. දැන් 13 පමණ වියේ පසුවන ඇයට ලංකාවේ මිනිසුන් පිළිබඳ විශේෂ ළෙන්ගතුකමක් ද තිබේ. සුදු මවුපියන් සතු  තොරතුරුවලට අනුව ෂෙහානිගේ අම්මා කුරුණෑගල, කැලෑගම ප්‍රදේශයේ හේරත් මුදියන්සේලාගේ චමිලා කුමාරි නමැත්තියකි. ෂෙහානි උපත ලබා ඇත්තේ  2009 මාර්තු 12 වැනිදාය.

ඒ නිසාම මේ කතාවේ විශේෂත්වය වන්නේ මේ පැමිණෙන හැම වතාවකදීම ධනවත් නෙදර්ලන්ත මවුපිය යුවළ තම දරු දෙදෙනාගේ ඉල්ලීම පිට ලංකාවේ දුප්පත් ගම්වලට අප්‍රමාණ ලෙස උදවු උපකාර කරන්නට පෙලඹී සිටීමය. 2015 වසරේ එසේ පැමිණි එක්තරා අවස්ථාවක ඔවුන් නවාතැන් ගෙන සිටියේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරක හෝටලයකය. එහිදී හෝටලය සුද්ධ පවිත්‍ර කරන  එක්තරා ද්‍රවිඩ කාන්තාවක් හා කතාබහට වැටුණු සුදු මවුපියන් ඇය ජීවත් වන ඒ අසල කුඹුරුපිඩ්ඩි නම් ද්‍රවිඩ ගම්මානයේ දුගී මිනිසුන්ගේ ගැටලු හා දුප්පත්කම ගැන මහත් සේ සංවේදී විය.

ඇන්ටන් හා නැඟණිය ෂෙහානි ඒ මිනිසුන් ගැන මහත් සේ වේදනාවට පත්ව තිබිණ. ධීවර හා කුලී වැඩ කරමින් දිවි ගෙවන මේ ගමේ පවුල් 25ක් සඳහා සහමුලින්ම ජල ටැංකි පරිත්‍යාග කිරීමට මේ පවුල පියවර ගත්තේය. ඒ පැමිණි හැම වතාවකදීම මුදලින් ද වියළි ආහාරවලින් ද විශාල වශයෙන් ලංකාවේ දුප්පත් ගම්වල වැසියන්ට ඔවුන් උපකාර කර තිබිණ.

මේ අතර අයියා නංගී දෙන්නාට තමන්ගේ නෙදර්ලන්ත පාසලේ රේණුකා නම් තවත් එවැනිම යෙහෙළියක් හඳුනා ගන්නට ලැබිණ. ඇය ද 2010 දී ලංකාවෙන් දරුකමට හදා ගැනීම සඳහා ගෙන ගිය දියණියකි. ඇගේ සුදු අම්මා ඩියානා ය. තාත්තා ඩෙනිස් ය. ඇන්ටන්ලාගේ මිතුරුකම මත ඇය ද ඇගේ ලංකාවේ වැදූ මව සොයා ගැනීමට උනන්දුවෙන් පසුගිය අගෝස්තු මාසයේදී මේ ධනවත් පවුල් දෙකම ලංකාවට පැමිණියේය.

මහනුවර රෝහලේ ඉපදුණු රේණුකා සුදු මවු පියන්ට ලැබී ඇත්තේ 2009 දී මහනුවර ළමා නිවාසයකිනි. ඇන්ඩෘෘ සිල්වා මාර්ගයෙන් රේණුකා දියණියගේ අම්මා සොයා ගත්ත ද ඒ අම්මා දියණිය දැකගැනීමට කැමැත්තක් නොදැක්වීම හරි වේදනාවට කාරණයකි. දැන් මේ අම්මා පදිංචිව ඉන්නේ තංගල්ලේය. දැන් වෙනත් සැමියකු හා දරුවන් සමඟ ගත කරන ජීවිතයට ප්‍රශ්නයක් විය හැකි බැවින් මේ අහිංසක අම්මාට තමන්ගේ දරුවා හමුවීමට හැකියාවක් නැත. ඒවා මෙවැනි අසරණ අම්මලාගේ ජීවිතවල තිබෙන ගැටලුය. සමහර දේට අප්‍රමාණව දුක් වෙමින් ද තවත් සමහර දේට සතුටු වෙමින් ද මේ අම්මාගේ කාලය ගෙවී ගොස් තිබේ. දැන් ඇයට පරණ ජීවිතයට එබී බලන්නට නොහැකි වීම දුව රේණුකාට තේරුම් ගන්නට අපහසුය.

ඔබ පුදුම කරන කාරණය එය නොවේ. ඒ වේදනාවෙන් ම මඬනා ලද ඇය ද ඇගේ සුදු මවුපියන් ද කවදා හෝ තම දියණියට ඒ අවස්ථාව ලැබෙන්නට යැයි ප්‍රාර්ථනා කරමින් ඇය වැඩුණු ළමා නිවාසයට මේ පැමිණි වතාවේ විශාල වශයෙන් උපකාර කළේය. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් විසින් පාලනය කරන එම ළමා නිවාසයට අධි ශීතකරණයක් ද ලක්ෂ 05ක් පමණ වටිනා කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි විශාල ප්‍රමාණක් ද පරිත්‍යාග කර තිබිණ.

මෙහි ලිවිය යුතුම කරුණ මේ සුදු පවුල් දෙක ද ඔවුන්ගේ ශ්‍රී ලාංකේය දරුවන් 03 දෙනා ද මෙවර ඔවුන්ගේ ලංකාවේ සංචාරය දුප්පත් පවුල් සඳහා විශාල වශයෙන් උපකාර කිරීමට යොදා ගත් බවය.

මාසයකට ආසන්න කාලයක් ලංකාවේ රැඳෙමින් මේ හත්දෙනා මීගමුව, තිස්සමහාරාමය, ඇල්ල, ගිරිතලේ, ත්‍රිකුණාමලය, විල්පත්තුව වැනි ප්‍රදේශ රාශියක සංචාරය කරමින් දුප්පත් ගම්මානවලට මුදලින් ද ද්‍රව්‍යවලින් ද කළ උපකාර අනුපමේයය.

ඇල්ල තේ වත්තක පවුල් 32කට වියළි ආහාර හා මුදල් ආධාර ද ගිරිතලේ මිරිදිය ධීවර ගම්මානයකට ද එවැනි උපකාර විශාල වශයෙන් කර තිබිණ. ත්‍රිකුණාමලය කල්ලාර් ධීවර ගම්මානයට ගිය මේ පිරිස පානීය ජල ප්‍රශ්නයකට මුහුණ දී සිටින පවුල් 30කට වතුර ටැංකිය බැගින් ද මුදල් හා වියළි ආධාර ද පිරිනැමුවේය. විල්පත්තුව හා මීගමුව ප්‍රදේශයේ දුප්පත් ගම්වැසියන්ට ද එම උපකාර ලැබිණි. ඔවුන් මෙවර සංචාරයේදී ලක්ෂ 40කට ආසන්න මුදලක් මේ සද්ක්‍රියා සඳහා වැය කළේය. එය මෙවැනි කාලයක ලංකාවේ මිනිස්සුන්ට මොන තරම් දෙයක් දැයි ඔබට සිතා ගත හැකි ද?

අපි කවුරුත් අපේ කුටුම්භයට ආදරය කරමු. තමන්ගේ දේ තමන්ගේ දරුවා ලෙස තම පවුලේ අරමුණු ගැන පමණක් සිතමු. එහි වරදක් නැත. ඒ මිනිස් ස්වභාවයයි. එහෙත් මේ පවුල් දෙකේ අම්මලා තාත්තලා තමන්ගේ කුසින් නොවැදූ තමන් ලේ කිරි නොකළ දරුවන් 03 දෙනකුගේ සිතැඟි හා ආශාවන් සමනය කරනු සඳහා දරන වෙහෙස කොයි තරම් ද? සත්සමුදුරින් එහා කොහේවත් රටකින් තමන්ට ලැබුණු දරුවන් ගැන මොන තරම් කාරුණික ද?

මිනිසුන් උත්තරීතර වන්නේ මොන ජාතියේ ද මොන ආගමේ ද මොන සංස්කෘතියේ ද යන කාරණා මත නොව මිනිස් ගුණධර්ම හා මනුෂ්‍යත්වය මත බව අප සිතිය යුත්තේ එබැවිනි.

තිස්ස කොරතොට