ආර්ථික අපරාධ නොදන්නා තොත්ත බබාලා

0
39

එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී  ලංකාව සම්බන්ධයෙන් පසුගියදා ඉදිරිපත් කළ වාර්තාව මානව හිමිකම් ක්ෂේත්‍රයේ අලුත් දිශානතියක් කරා අවධානය යොමුකර තිබේ. මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාවට පදනම්ව ඇය විසින් ඉදිරිපත් කළ වාර්තාවට අනුව ශ්‍රී  ලංකාවේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනයට අදාළව ඇය බර තබා ඇත්තේ වර්තමාන ආණ්ඩුව රටේ ජනතාවට එරෙහිව සිදුකරන ආර්ථික අපරාධ සම්බන්ධවය.

ඊට පිළිතුරු වශයෙන් විදේශ ඇමැති අලි සබි්‍ර මානව හිමිකම් කවුන්සිලය හමුවේ ප්‍රකාශ කළේ, ආර්ථික අපරාධ විෂය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විෂය පථයට අදාළ නොවන බවය. අලි සබි්‍රට හඳ පෙන්නූ විට ඔහු බලන්නේ හඳ දෙස නොව ඇඟිල්ල දෙසය. හඳ දෙස නොබලා ඇඟිල්ල දෙස බැලීම ඔහුගේ පැවැත්මට හොඳ විය හැකිය. නමුත් රටේ ජනතාව මේ මොහොතේ ගොදුරු වී සිටින විපතට එයින් සතපහක ප්‍රයෝජනයක් නැත.

නියෝජ්‍ය මහ කොමසාරිස් නාඩා අල් නෂීෆ් කතා කර තිබෙන්නේ අද වේලක් නොකා වේලක් කන ශ්‍රී  ලංකාවේ ජනතාව පැත්තේ සිටගෙනය. විදේශ ඇමැති අලි සබි්‍ර කතා කරන්නේ ඇමැති පට්ටම ලබාදුන් අනුප්‍රාප්තික ජනාධිපති පැත්තේ සිටය. ඔහුට රකින්නට මනරම් ආණ්ඩුවක් තිබේ. රටේ ජනතාව සිටින්නේ පාන් කියාගන්නට බැරිවය.

මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවේ සඳහන් වන්නේ ශ්‍රී  ලංකාවේ උද්ධමනය කම්පන සහගත 66.7%ක අගයක් දක්වා වර්ධනය වී ඇති බවය. පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකින් ජනතාව පීඩා විඳිමින් සිටින බවය. ශ්‍රී  ලාංකිකයන් ඉන්ධන, විදුලිය, ආහාර, ඔෟෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟයකට මුහුණ දී සිටින අතර මිලියන 6.3ක ජනතාවක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවය. මෙම යථාර්ථයන් මිනිසුන්ගේ ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ වැඩ කිරීමේ අයිතිය අඩාල කර ඇති බව ඇය ජාත්‍යන්තරයට පෙන්වා දී තිබේ.

වාර්තාවේ සඳහන් වන්නේ මේ මොහොතේ ශ්‍රී  ලංකාවේ බහුතර ජනයා අත්විඳින සැබෑ තත්ත්වයයි. ඒවා ඇමැතිවරුන්ගේ කනට අමිහිරි වූවාට රටේ මිනිස්සු අරගල කරන්නේ මේ ප්‍රශ්නවලට විස¾දුම් ලබාදෙන ලෙස ආණ්ඩුවට බල කරමිනි. ශ්‍රී  ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටින තත්ත්වය මානව හිමිකම් කවුන්සිලය විග්‍රහ කරන්නේ ආර්ථික අපරාධයක් වශයෙනි.

ශ්‍රී  ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රඥප්තීන්ට අස්සන් තබා ඇති රාජ්‍යයකි. මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයට අනුව ශ්‍රී  ලංකාවේ ජීවත්වෙන සෑම පුරවැසියකුටම ආහාර, ඇ¾දුම්, පැල¾දුම්, නිවාස, වෛද්‍ය ප්‍රතිකාර සහ සමාජ සේවා ඇතුළු යහපැවැත්ම සඳහා ශුද්ධ වූ අයිතියක් තිබේ. රටේ පුරවැසියන් ආණ්ඩුවක් තෝරා පත් කරන්නේ එම අයිතීන් සාක්ෂාත් කර ගන්නා පිණිසය. ආණ්ඩුව එම වගකීම පැහැර හරිනවා නම් ආණ්ඩුව මහජන සුබ සාධනය පිණිස ඇති මුදල් සොරා කනවා නම් එය ආර්ථික අපරාධයකි.

ඉන්ධන පෝලිම්වල, ගෑස් පෝලිම්වල මිනිසුන් මියයෑම, ගෑස් ළිප් පුපුරා මිනිසුන් මියයෑම, රටේ දරුවන් මන්දපෝෂණයට ගොදුරු වීම, ඔෟෂධ නැතුව රෝගීන් මියයෑම, පුරවැසියන්ට නිරාහාරව නින්දට යෑමට සිදුවීම ඉතාමත් පැහැදිලිව ආර්ථික අපරාධ වන්නේය. ඒ අපරාධයට වගකිව යුත්තේ ආණ්ඩුවය. රටත් ජනතාවත් මුහුණදෙන ප්‍රශ්නයක් විසඳනවා වෙනුවට ආණ්ඩුව කරමින් සිටින්නේ ප්‍රශ්න ඉදිරිපත් කරන එඩිතරයන් මර්දනය කිරීමය.

රටේ ප්‍රශ්න ගැන කතා කරන තරුණයන් වර්තමාන ආණ්ඩුවට වහකදුරු වී තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දඟ ගෙයි ලන්නේ ඒ නිසාය. කිසිදු පුරවැසියකු ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතබන බවටත් කිසිදු දරුවෙක් මන්දපෝෂණයට ගොදුරු නොවන තැනටත් තමා වගබලා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. එය ඉතා යහපත් වගකිවයුතු ප්‍රකාශයකි. ප්‍රශ්නය දකුණු ආසියාවේ ළමයින්ගේ මන්දපෝෂණය ඉහළම දෙවැනි රට ශ්‍රී  ලංකාව බව යුනිසෙෆ් සංවිධානය පවසනතුරු ශ්‍රී  ලංකාවේ ජනාධිපතිට දැනගන්නට නොලැබීමය.