අවුරුදු 96 ක මහ රැජිනගෙ ජීවිතයේ සතුට දුක විනෝදය ප්‍රේමය රැඳුණු තැන්

0
61

රාජකීයත්වය සමඟ සැම විටම ගෞරව බහුමාන මෙන්ම සම්ප්‍රදායයන්ද බැඳී තිබේ. හිරු නොබසින අධිරාජ්‍ය යන විරුදාවලිය ලැබූ මහා බි්‍රතාන්‍යයේ රාජකීයයන් සම්බන්ධයෙන්ද මහා සම්ප්‍රදායක් පවතී. නූතන ලෝකයේ විවිධ හැලහැප්පීම් මැද බි්‍රතාන්‍ය රාජකීය සම්ප්‍රදායයන් රැකගන්නට දෙවැනි එළිසබෙත් මහ රැජින කැපවී සිටියාය.  දෙවැනි එළිසබෙත් මහ රැජනගේ රාජකීය අවමංගල්‍ය සැලසුම් කෙරුණේ ඇයගේ අභාවයට දශක කිහිපයකට කලින් බව කියැවේ.

බි්‍රතාන්‍ය රාජකීය සම්ප්‍රදාය අනුව රාජ්‍යත්වය දරන මහ රජු හෝ මහ රැජින මියගිය පුවත මුල් වරට රාජකීය පවුලේ ඥාතීන්, සමීපතමයන් සහ ඉහළ පෙළේ නිලධාරීන් අතර දැනුම්දීමට සංකේත වදන් පෙළක් භාවිත කරනු ලබයි. දෙවැනි එළිසබෙත් මහ රැජනගේ අභාවය

දැනුම්දීමට භාවිත කළ සංකේතමය වදන් පෙළ වන්නේ ‘London Bridge is down’ යන්නයි. මහ රැජනගේ පියා වූ හයවැනි ජෝර්ජ් රජතුමා හැඳින් වූ කේත නාමය වූයේ Hydpark corner වෙයි. මහ රැජනගේ වල්ලභයා වූ එඩින්බරෝහි ආදිපාද පිලිප් කුමරු Forth Bridge යන කේත නාමයෙන් හැඳින්විණි. ඔහුගේ අවමංගල්‍ය Operation Forth Bridge විය. එලෙසම London Bridge ලෙස හැඳින්වුණු මහ රැජනගේ අවමංගල්‍ය උත්සවයේ ක්‍රියාදාමය Operation London Bridge යනුවෙන් හැඳින්වෙයි.

දෙවැනි එළිසබෙත් මහ රැජන ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේදී ඉකුත් 8 වැනිදා සවස 4ට පමණ අවසන් හුස්ම හෙළීමත් සමඟම මෙකී ‘Operation London Bridge’ කේතයෙන් හැඳින්වූ මෙහෙයුම ක්‍රියාත්මක විය. මහ රැජනගේ අවමංගල්‍ය උත්සවයේ කොටස් ලෙස ලෝකයා දුටු දේද නොදුටු තවත් බොහෝ දේ ද මෙම මෙහෙයුමට ඇතුළත්ය.

මහ රැජනගේ අවමංගල්‍ය සැලසුමේ මහ රැජන මියගිය දිනය හැඳින්වෙන්නේ D- day යනුවෙනි. බි්‍රතාන්‍ය රාජකීය සම්ප්‍රදාය අනුව රාජකීයත්වය හොබවන රජු හෝ රැජන මියගිය වහාම රජකම උරුම අනුප්‍රාප්තිකයා රාජ්‍යත්වයට පත්වෙයි.

ඒ අනුව රාජකීය සම්ප්‍රදාය අනුව ක්‍රියාත්මක වෙමින් මහ රැජන මියගිය අවස්ථාවේදීම කිරුළ හිමි කුමරු ලෙස නම් කර සිටි චාල්ස් කුමරු තෙවැනි චාල්ස් මහ රජු ලෙස රාජප්‍රාප්ත වීම සිදුවිය. ඔහුගේ සොයුරු සොයුරියන් රාජකීය සම්ප්‍රදායානුකූලව ඔහුගේ අත සිඹ රජුට පක්ෂපාතීත්වය ප්‍රකාශ කිරීමද ඒ සමඟ සිදුවෙයි.

දෙවැනි එළිසබෙත් මහ රැජනගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවට අසාමාන්‍ය පුවතක් සැප්තැම්බර් 8දා 12.39ට බී.බී.සී. පුවත් සේවයෙන් මුදා හැරිණි. පස්වරු එක වෙද්දී චාල්ස් කුමරු සහ කැමිලා එහි ළඟා වූ අතර විලියම් සහ හැරී කුමරුවන්ද මහ රැජනගේ දියණිය වන අෑන් කුමරියද එහි ළඟා විය.

සවස 4.00ට පමණ මහ රැජනගේ අභාවය සිදු වූ අතර බකිංහැම් මාලිගයෙන් ඒ හා සම්බන්ධ නිල නිවේදනය නිකුත් වූයේ සවස 6.30ට පමණය. සාමාන්‍යයෙන් රාජකීයයන්ගේ අභාවය පිළිබඳව මුල් පුවත විකාශනය කෙරෙන්නේ බී.බී.සී. පුවත් සේවය හරහාය. එම අවස්ථාවට උචිත වන සේ නිල නිවේදනය නිකුත් වීමට පෙරාතුවම බී.බී.සී.ය වරින් වර මහ රැජනගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මහජන අවධානය ගෙන දෙන පුවත් Breaking News ලෙස විකාශනය කිරීම ඇරඹූ අතර නිවේදකයා කළු පැහැති ටයි පටියක් පල¼දා අවමංගල්‍ය අවස්ථාවකට සුදුසු ලෙස පෙනී සිටියේය. මෙම සූදානම රාජකීය අවමංගල්‍යයකට බවට ඉඟි මෙසේ කල් ඇතුව පළවන්නේ මහ රැජනගේ අවමංගල්‍ය පිළිබඳව Operation London Bridge ක්‍රියාත්මක වී ඇති හෙයිනි.

මහ රැජනගේ අභාවය පිළිබඳව පුවත මහ රැජනගේ පෞද්ගලික ලේකම්වරයා විසින් අගමැතිනියට දුරකථනයෙන් දැනුම්දීමද සම්ප්‍රදායකි. කෙසේ වුවත් 8 වැනිදා නව අගමැතිනි ලිස් ට්‍රස් පාර්ලිමේන්තුවේ සිටියදී රැජනගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කල්තියා දැනගන්නට ලැබුණු අතර ඇය විපක්‍ෂ නායකයාද සමඟ ඒ පිළිබඳව කටයුතු කිරීමට සභා ගර්භයෙන් නික්ම ගිය බවට පුවත් පළවිය. පාර්ලිමේන්තුවේ කථානායිකාව මහ රැජන සහ රාජකීය පවුල වෙනුවෙන් යාඥා කිරීමට සභිකයන්ට දන්වන ලදී. 96 හැවිරිදි වියේ පසු වූ මහ රැජන ගැන ඉමහත් අවධානයක් එතුමිය අවසන් හුස්ම හෙළන අවස්ථාවේදී බි්‍රතාන්‍ය තුළ යොමුව තිබිණි.

බි්‍රතාන්‍ය මහ රැජින මිය ගිය පුවත අගමැතිනිය වෙත දන්වන්නේද “London Bridge is down” යන කේත පදවලිනි. ඇයගෙන් ඒ සඳහා අවධානයක් යොමු නොවී නම් සිවිල් නිලධාරීන් වෙතද “London Bridge is down” යන දැනුම් දීම සිදුකිරීම රාජකීය සම්ප්‍රදායයි.

අනතුරුව විදේශ කාර්යාලය මහ රැජිනගේ අභාවය පිළිබඳ පුවත ලෝ පතල කිරීමට කටයුතු කරයි. ඒ ලෝකයේ මේ වන විටත් බි්‍රතාන්‍ය රාජ්‍යත්වයේ අණසක යටතේ පවතින රටවල් 15ක රාජ්‍ය නායකයන් වෙත මහ රැජින මියගිය පුවත පෞද්ගලිකව දැනුම් දීමටයි. අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 36යේ රාජ්‍ය නායකයන්ටද මෙම කනගාටුදායක පුවත දැනුම් දෙයි.

මේ අතරම බකිංහැම් මාලිගයේ ගේට්ටුවේද මහ රැජන මියගිය ශෝකජනක පුවත රැගත් කළු පැහැති රාමුවක් සහිත නිවේදනයක් එල්ලීම සිදුකරයි. එය සිදුකරනු ලබන්නේ ශෝකී අවස්ථාවකට උචිත ඇඳුමින් සැරසුණු මාලිගයේ විශේෂ නිලධාරියකු විසිනි.

මහ රැජින මියගිය පුවත බකිංහැම් මාලිගයේ මී මැසි ගොවිපළේ මී මැසි රැජිනන් හට දැනුම් දීමද රාජකීය සම්ප්‍රදායයකි. මෙම චාරිත්‍රය 18 වැනි සියවස දක්වා පසුපසට දිව යයි. පැරැණි ඊජිප්තුවේ මී මැස්සන් වන්දනාමානයට ලක් කරන අතර අදද මී මැසි පාලනය යෙදෙන්නේ මී මැස්සෝ  තම පවුලේ අය ලෙස සලකමින් මී මැස්සන් සමඟ පවුලේ පුවත බෙදා ගනී.

බකිංහැම් මාලිගයේ හා ක්ලැරන්ස් හවුස් හි මී මැසි පාලකයා වන ජෝන් චැපල් තමා මෙම චාරිත්‍රය අනුගමනය කරමින් මහ රැජින මියගිය පුවත් හා නව මහ රජු ලෙස තෙවැනි චාල්ස් පත්වූ පුවත මී මැසි රැජිනන්ට දැනුම් දුන් බව කියා තිබේ.

ඔහු මී මැසි පෙට්ටිවල කළු රිබන් පටියක් ගැටගසා පෙට්ටියට සෙමින් තට්ටු කොට මෙම පණිවිඩය දී ඇත. මෙම චාරිත්‍රය අයර්ලන්තය, ජර්මනිය, නෙදර්ලන්තය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, බොහිවියාව සහ ඇමරිකාවෙන්ද  වාර්තා වෙයි.  තම භාරකාරයාගේ ජීවිතයේ වැදගත් අවස්ථාවන් මී මැසි ප්‍රජාවට නොදන්වා නොසලකා සිටියොත් මෙම මී මැස්සෝ සිය මී මැසි ජනපදයෙන් ඉවත්වීම, මී පැණි නිෂ්පාදනය නැවැත්වීම හෝ මියයෑම සිදුවන බවට විශ්වාසයක් පවතී.

බි්‍රතාන්‍ය රාජ්‍යත්වය දරන අයකුගේ අවමංගල්‍යයකදී දේහය මහජන ප්‍රදර්ශනයට තැබීමද රාජකීය සම්ප්‍රදායකි.  අවශේෂ රාජකීයයන්  සහ විශේෂ පුද්ගලයන්ගේ දේහයන් මහජන ප්‍රදර්ශනය සඳහා ප්‍රසිද්ධ ස්ථානයක තැබීම  හැඳින්වෙන Lie in State යන යෙදුමෙන්ම මහ රැජිනගේ දේහයේ මහජන ප්‍රදර්ශන අවස්ථාවද හැඳින්වේ.

දේහය මහජන ප්‍රදර්ශනය සඳහා තබන බව සඳහන් වුවද කිසිදු රාජකීයයකුගේ මෘත ශරීරය දැක බලා ගැනීමට සාමාන්‍ය ජනතාවට අවස්ථාව ලැබෙන්නේ නැත.

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ දේහය පළමුවරට Lie in State තත්ත්වයෙන් ප්‍රදර්ශනය කෙරුණේ ඇය අවසන් හුස්ම හෙළුෑ බැල්මොරාල් මන්දිරයේ සිට ලන්ඩන් බලා එන අවමංගල්‍ය පෙරහර නවතා දේව මෙහෙයක් කිරීමට විධිවිධාන සලසා තිබූ එඩින්බරෝ හි ශාන්ත ගිල්ස් ආසන දෙව්මැඳුරේදීය. පසුව දේහය ලන්ඩනයට රැගෙන ආ පසුව බකිංහැම් මාලිගයට ගෙන ගොස් පසුදින බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඇති පෞරාණිකම ගොඩනැඟිල්ල වන වෙස්මිනිස්ටර් ශාලාව වෙත ගෙන එන ලදී.  ඉකුත් බදාදා සවස 5.30  සිට එතුමියගේ අවසන් කටයුතු සිදුවන සැප්තැම්බර් 19දා සඳුදා උදෑසන 6.30 දක්වා දේහය Lie in State තත්ත්වයෙන් මහජන ප්‍රදර්ශනයට විවෘතව පවතී.

මෙම Lie in State අවස්ථාවේදී මහ රැජිනගේ දේහය සහිත දෙන වැසී යන ලෙස Royal Standard යනුවෙන් හඳුන්වන බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ රාජකීය ධජයෙන් වසා ඇත. ඒ මත මහ රැජිනගේ කිරුළ චාරිත්‍රානුකූලව තබා ඇත. එඩින්බරෝහි Lie in State අවස්ථාවේදී ස්කොට් හි කිරුළ සහ සුදු මල් වඩමක් මෘත කලේබරය මත විය. වෙස්මිනිස්ටර් ශාලාවේදී රාජකීය ධජයෙන් වැසුණු මෘත කලේබරය මත ඇත්තේ මහ රැජිනට සිය කිරුළ පැලඳවීමේ උත්සවයේදී පලඳවනු ලැබූ ඇයගේ අගනා මිනි මුතු ආදියකින් සුසැදි ඇයගේ රාජකීය කිරුළයි.  එය ධජයෙන් ආවරණය කළ පෙට්ටිය මත තැබූ දම්පැහැති කුෂන් එකක් මත තබා ඇත්තේ පසෙකින් සුදු රෝස මල් වඩමක්ද සමඟයි.

මහ රැජිනගේ කිරුළට අමතරව තවත් රාජ්‍ය කකුධ භාණ්ඩ මහජනයාට දැක බලාගත හැකිය. අඩි 3ක් පමණ දිගු බි්‍රතාන්‍යයට අයත් රටවල සංකේත සහිත සහ කැරට් 530 කලිනන් 1 දියමන්තියක් සහිත රාජකීය සෙංකෝලය (Royal Sceptre) සහ ක්‍රිස්තියානු ලෝකයේ මහ රැජිනගේ බලය පෙන්වන අඟල් 11ක් වන මුදුනක දියමන්ති ඇල්ලු කුරුසයක් සවිකල  Sovereign orb නමැති ගෝලයක්ද රාජ්‍ය කකුධ භාණ්ඩ ලෙස රැජිනගේ මෘත කලේබරය මත වෙයි.

මහ රැජිනගේ දේහය බහාලු පෙට්ටිය ඉංගී්‍රසි ඕක් දැවයෙන් නිෂ්පාදිතය. එම දැවයෙන් නිමැවූ පෙට්ටිය තුළ දේහය දිගු කලක් නරක් නොවී සුරැකෙන බව බි්‍රමින් හැම් කෞතුකාගාරයේ මෘත කලේබරයන් භාර කළමනාකරු පවසා ඇති බව ඇසෝෂියේට් ප්‍රේස් සඳහන් කරයි.

එසේම මහ රැජිනගේ පෙට්ටිය මත තබා ඇති සුදු මල් පොකුර බැල්මොරාල් මාලිගයේ වත්තෙනි. එය 2021 වසරේදී සැමියාගේ අවමංගල්‍ය වෙනුවෙන් ඇයගේ සුරතින් කඩාගත් සුදු මල් පොකුරට සමාන මල් පොකුරකි.

මහ රැජිනගේ දේහය වෙස්ට්මිනිස්ටර් ශාලාවේ සිට අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට රැගෙන යෑමට රාජකීය කාලතුවක්කු රථය යොදාගෙන ඇත. මෙය රාජකීය අවමංගල්‍යයන්හිදී මෘත දේහය රැගෙන යෑමට යොදා ගන්නා අතර මහ රැජිනගේ පියාගේ අවමංගල්‍යයයේදී නාවික සොල්දාදුවන් 142 දෙනකු විසින් ඇදගෙන යන ලදී.

නව මහ රජු තෙවැනි චාල්ස් හා ඔහුගේ දරුවන්ද, මහ රැජිනගේ අනෙකුත් දරුවන් හා ඥාතීන්ද රාජකීය සම්ප්‍රදායන් රකිමින් අවමඟුල් පෙරහරේ ගමන් කරනු ඇත.

අවසන් දේව මෙහෙය නිමාවීමෙන් පසු පෙ.ව. 11.55ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වේ. මහ රැජිනගේ කැමැත්ත අනුව අනතුරුව දේහය වෙලින්ටන් ආච් (Wellington arch) වෙත ගෙනයනු ලැබේ. එය බැකින්හැම් මාලිගයට පිවිසීම සඳහාම නිම කළ මුල් කාලීන ‍ෙදාරටුවයි. පසුව නැවත අවමංගල්‍ය රථයෙන් වින්ඩ්සර් මන්දිරය වෙතද එතැන් සිට ශාන්ත ජෝර්ජ් දේවස්ථානය කරාද ගෙනයයි. එහිදී නව මහ රජු ඇතුළු මහ රැජිනගේ දරුවන් දතර දෙනා රාජකීය පවුලේ අය පමණක් සහභාගි වන පෞද්ගලික දේව මෙහෙයක් පැවැත්වේ.

මහ රැජිනගේ වල්ලභයා වන පිලිප් කුමරුගේ අවසාන කටයුතුද මෙම ශාන්ත ජෝන් දේවස්ථානයේදී සිදුවිය. දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ මව හා පියාගේ සිරුරුද, පිලිප් කුමරුගේ සිරුරද එහි තැන්පත්ව පවතී. මහ රැජිනගේ දේහය පිලිප් කුමරුගේ දේහය ඇති ගර්භයේම තැන්පත් කෙරේ. ඒ මත මාබල් ආවරණයක් අතුරනු ඇති අතර එහි පහත අකුරු සටහන් වනු ඇත. ELZABETH II 1926-2022

රු කාරියවසම්