අම්මයි නංගියි කපලා මරද්දි මළා වගේ ඉඳලා බේරුණු අක්කා..!

0
72

අපරාධයක් සිදු කරන පුද්ගලයකු අපරාධය සිදුකළ ස්ථානයේ ඔහු නොදැනුවත්ව කිසියම් සාක්කියක් ඉතිරි කර යන බව අපරාධ විමර්ශනවල යෙදෙන විමර්ශකයන්ගේ මතයකි. ඒ බව පසුගියදා බදුල්ල පොලිස් වසමේ සිදුකළ ද්විත්ව මිනිස් ඝාතනයකදීද මැනවින් පැහැදිලි විය.  බදුල්ල ගැනල්පීන් වතුයායේ හිඟුරුගමුව කොටසේ කාතාන්වත්ත ලැයිමක වතු නිවාසයකට ඇතුළුවූ  සාහසිකයකු එම ලැයිම් නිවෙසේ සිටි මවක හා දියණියන් දෙදෙනකු කපා කොටා පලාගියේය.

ඔහු එම වතු නිවෙසින් පලාගියේ කපා කොටා දැමුණු කාන්තාවන් තිදෙනාම මියගොස් ඇති බව සිතාගෙනය. ඔහු සිතූ දේ මඳක් නිවැරැදිය. තියුණු මන්න පිහි පහර කෑ කාන්තාවන් දෙදෙනකු පමණක් වතු කාමරය තුළ ජීවිතක්‍ෂයට පත්ව තිබිණි. ඒත් මන්න පහර කෑ එක් කාන්තාවක් මියගොස් තිබුණේ නැත. ඇය බරපතළ තත්ත්වයෙන් බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබිණි.

බදුල්ල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත මේ පිළිබඳ විමර්ශන පැවැත් වූ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා බරපතළ තත්ත්වයෙන් පසුවූ එම කාන්තාවගෙන් කට උත්තරයක් ලබා ගත්තේය. ඇය බැරි බැරි ගාතේ එම ප්‍රකාශය පොලිසියට ලබාදුන්නාය. ඇය මුලින් බොරුවක් කීවද ඇගෙන් උපක්‍රමශීලීව ප්‍රශ්න කිරීමෙන් පසු ඇය සත්‍ය හෙළි කළාය.

ද්විත්ව ඝාතනය සිදුකළ අපරාධකරු හඳුනාගන්නට ඇගේ ප්‍රකාශය පොලිසියට මහඟු සාක්කියක් විය. අපරාධකරුගේ තියුණු මන්න පහරට ගොදුරු වී ඇයත් මියගියේ නම් අපරාධකරු හඳුන ගැනීමට පොලිසියට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවනු නොඅනුමානය. එම කාන්තාවද මැරෙන්නට ඇතැයි සිතා ඇයවද මියගියවුන් අතරට දමා අපරාධකරු පැනගියද ඔහු නොදැනුවත්වම ඉතිරි කළ එම සාක්කිය මෙම ද්විත්ව ඝාතනයේ සුලමුල හෙළි කර ගැනීමට පොලිසියට මහත් පහසුවක් ගෙනදුන්නේය.

බදුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසන ආකාරයට සිද්ධිය එකිනෙක දිග හැරෙන්නේ මෙසේය.

ඉකුත් සැප්තැම්බර් මස 9 වැනිදා උදෑසන 6.30ට පමණ පොලිස් හදිසි ඇමැතුම් අංශය 119 ඔස්සේ බදුල්ල මූලස්ථාන පොලිසියට දුරකථන ඇමැතුමක් ලැබිණි.

“සර් කාතාන්වත්තේ  ලැයිමක ගෑනු දෙන්නෙක් මරලා දාලා.”

ලැබුණු තොරතුරට අනුව අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් වහා සිද්ධිය වූ කාතාන්වත්ත ප්‍රදේශයට පිටත්ව ගියහ. බදුල්ල මූලස්ථාන පොලිසියේ සිට කිලෝමීටර් පහක පමණ දුරින් කාතාන්වත්ත පිහිටියේය. බදුල්ල පොලිසිය පසුකොට ස්ටී්‍රම්වැලි මාර්ගයේ කිලෝමීටර් හතරක් පමණ ගොස් තවත් කිලෝමීටරයක් පසුකළ තැන ගැනල්පීන් වත්තේ කාතාන්වතු කොටස හමුවේ.

ලැයිමේ කාමර දෙකක් පූට්ටු ආකාරයට පිහිටා ඇති අතර එය වෙන්කර තිබුණේ බිත්තියකිනි. එක් ගෙදරක 83 හැවිරිදි රංමැණිකා සහ දියණියක් ජීවත්ව සිටි අතර අනෙක් නිවෙසේ තවත් යුවළක් පදිංචිව සිට ඇත. ඊට පිටුපසින් තවත් ලැයිම් ගෙයක් තිබූ අතර එම ලැයිමේ මේරිනෝනා ජීවත් වූවාය.

එක් ලැයිමක ඇඳක් මත රංමැණිකා සහ ඇගේ එක් දියණියක් වූ ජයවතී ලේ විලක් මැද වැටී සිටියහ. ජයවතී අවිවාහක කාන්තාවක් වූ අතර ඇය 58 හැවිරිදි වියේ පසු වූවාය.

“වෙන කවුද මේ ගෙදර ඉන්නේ.”

නිලධාරීහු අහල පහළ අයගෙන් විමසූහ. ‘සර් මෙයාට තව දුවෙක් ඉන්නවා. එයාටත් තුවාලයි. එයා මැරුණේ නැහැ. එයාව අපි හොස්පිට්ල් එකට යැව්වා.”

මේරිනෝනා පොලිසිය හමුවේ කියා සිටියාය. ඒ වන විටත් රංමැණිකා සහ පියවතී මියගොස් තිබිණි. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සිද්ධිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාටද දැනුම් දීමෙන් පසු මේ බව සහකාර පොලිස් අධිකාරිවරයාට සහ බදුල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙතද දැනුම් දෙනු ලැබීය.

අපරාධ විමර්ශනය පිළිබඳ හසළ දැනුමක් සහ රාජකාරිමය පළපුරුද්දක් ඇති බදුල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා, අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා වෙත ඉදිරි විමර්ශන සිදුකළ යුතු ආකාරය ගැන සියලු උපදෙස් දෙනු ලැබීය. ඒ අනුව ඉදිරි විමර්ශන ඇරඹිණි.

ඉන් අනතුරුව බදුල්ල කොට්ඨාස සොකො නිලධාරීන්, ඇඟිලි සලකුණු නිලධාරීන්ට අමතරව නිල සුනඛයාද සිද්ධිය වූ ස්ථානයට කැඳවනු ලැබීය.

මෙතැන කිසිම ඇසින් දුටු සාක්කියක් තිබුණේ නැහැ. පර්වේෂණ සාක්කියකුත් නැහැ. නිල සුනඛයාට ඉව කරන්න දෙන්න දෙයකුත් නැහැ. පිටිපස්සේ ගෙදර මේරි නෝනාටත් මේ ලැයිම් කාමරයට සම්බන්ධව තියෙන අනිත් ගෙදර අයටත් කෑගැසීමක්වත් ඇහිලා නැහැ. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් වුණා කවුද මේ ඝාතන දෙක කළේ. මොකටද මේ දෙන්නව මැරුවේ කියලා.”

විමර්ශනයට එක් වූ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

“හැබැයි එකක් අපිට පැහැදිලිව නිරීක්ෂණය වුණා. මේ කාන්තාවන් ඝාතනය කළ පුද්ගලයා එයාලා හිටිය කාමරේත් ඒ ගෙදරත්  තියෙන කිසිම අල්මාරියක් කඩලා හරි අවුස්සලා හරි නැති බව. ගෙදර තිබුණු බඩු මුට්ටු ඒ විධියටම තිබුණා. එතැනදී අපට වැටහුණා, මේ අපරාධකාරයා ගෙදරට ඇවිත් තියෙන්නේ හොරකමකට නොවන බව.

නිලධාරීන් ද්විත්ව ඝාතනය පිළිබඳව කරුණු අධිකරණයට වාර්තා කිරීමෙන් පසු වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය නිරීක්ෂණය කරමින් මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්විය. පසුව ඔහුගේ නියෝග මත මව සහ දියණියගේ මළසිරුරු පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා බදුල්ල රෝහල් මෘත ශරීරාගාරය වෙත රැගෙන යනු ලැබීය. මේ අනුව 83 හැවිරිදි රංමැණිකා සහ ඇගේ දියණිය වන 58 හැවිරිදි ජයවතී යන දෙදෙනා සිද්ධියෙන් මියගොස් තිබූ අතර කැපුම් තුවාලවලින් රංමැණිකාගේ තවත් දියණියක් වූ මිසි නෝනා බරපතළ තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබිණි.

සිද්ධිය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත් වූ බදුල්ල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා නිගමනය කළේ තියුණු හා මොට ආයුධයකින් පහරදීම නිසා මෙම ඝාතන සිදුවී ඇති බවය.

පොලිස් විමර්ශන නැවත ඇරඹුණේ ඉන්පසුවය. අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම ඒ සඳහා නිරත වූහ.

“අපි සීන් එකට ගිය වෙලාවේ ඉඳලාම විමර්ශන ආරම්භ කරලයි තිබුණේ. කවුද මේක කළේ මොකටද කළේ කියලා අපි හෙව්වා. ඒත් කිසිම සාක්කියක් අපට ලැබුණේ නැහැ. ඇසූ දුටු සාක්කි නැහැ. කවුරුත් කියන්නෙත් නැහැ. ඔන්න ඔය අතරේ අපිට එක සාක්කියක් ලැබුණා. එක්තරා පුද්ගලයකු සිද්ධියට පෙර දවසේ දවාලේ ‍ෙදාළහට විතර රංමැණිකාගේ ගෙට උඩින් තියෙන ගලක් ළඟ වාඩිවෙලා හිටියා කියලා. “මේක දකින්නේ වත්තේ කෙනෙක්.”

“ඒත් මේ දකින කෙනා ඒ පුද්ගලයා ගැන එච්චර තැකීමක් කරන්නේ නැහැ. මිනිස්සු යනවා එනවානේ. වත්තේ වැඩ කරන්න යනවා. හරක් බඳින්න යනවා. ඒ නිසා මෙයා ඒ පුද්ගලයා ගැන ඒ තරම් සැකයක් හිතන්නේ නැහැ. ඒ එක ඉඟියක්.” ඊට පස්සේ මේ ලැයිමට යාබද නිවසේ වයෝවෘද්ධ ආච්චි කෙනෙක් හිටියනේ. මේරි නෝනා කියලා. එයාගෙන් අපිට තොරතුරක් ලැබෙනවා රංමැණිකාගේ ගෙදරට හවස පුද්ගලයෙක් ඇවිත් තිබුණා කියලා. අපි ඒ දෙන්නගෙන්ම ප්‍රශ්න කරලා අර ගල උඩ හිටිය පුද්ගලයාගේ හැඩරුවයි රංමැණිකාගේ ගෙදර ආව කියන පුද්ගලයාගේ හැඩරුවයි අහගන්නවා.

විමර්ශන පැවැත් වූ නිලධාරියෙක් සඳහන් කළේය.

පොලිස් කණ්ඩායම ඊළඟට හැරුණේ සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ රංමැණිකාගේ දියණියක් වූ මිසිනෝනා වෙතය. ඇය ඒ වන විට සිටියේ බරපතළ තුවාල සහිතව බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ගනිමින්ය.

නිලධාරීහු වහා බදුල්ල රෝහලට ගියහ. ඒ ඇගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය. ඒ මේරි නෝනාගේ ප්‍රකාශය මතය.

“ඔයාට හඳුනන්න පුළුවන්ද ආව කෙනා”

නිලධාරීන් ඇගෙන් විමසන්නට විය.

“අනේ නැහැ සර් දෙන්නෙක් ආවා. දෙන්නම මුහුණු වහගෙන හිටියේ.”

ඇගේ ප්‍රකාශය නිලධාරීන්ට මහත් ගැටලුවක් ගෙනදුනි. ඇගේ ප්‍රකාශය අනුව රංමැණිකා සහ ඇගේ දියණිය ඝාතනය කිරීමට පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඇති බව නිලධාරීන්ට වැටහිණි. එමෙන්ම ඇය වැඩිදුරටත් මෙසේ කියන්නට වූවාය.

“මම අම්මා බලන්න ඒ වෙලාවේ ගෙදරට ආවා. මුහුණු වහගත්ත දෙන්නෙක් මට අම්මලා ඉන්න කාමරයට ඇතුළු වෙන්න දුන්නේ නැහැ. ටික වෙලාවකට පස්සේ මාව පුටුවක තියලා මගේ අත් දෙක ගවුමකින් ගැට ගැහැව්වා.”

“ පස්සේ රෑ අටහමාරට විතර මගේ අත් දෙක ලිහුවා. මම කුස්සියට ගිහින් කිරි තේ එකක් හදාගෙන ඇවිත් කාමරයේ ඇඳ උඩ තුවාල වෙලා හිටිය අම්මටත් නංගිටත් හැන්දෙන් තේ පෙව්වා. පස්සේ මටත් එහෙම්ම නින්ද ගියා.”

පාන්දර තුනට විතර මට ඇහැරුණා.

ඒ වෙලාවේ අම්මටත් නංගිටත් මම කතා කළා. දෙන්නා කතා කළේ නැහැ. ගෙදරට ආව දෙන්නත් පේන්න හිටියේ නැහැ.”

ඇය පොලිසිය හමුවේ කියන්නට වූවාය. ඒත් ඇගේ මෙම ප්‍රකාශය නිලධාරීන්ට මහත් ගැටලුවක් ගෙන දුන්නේය.

ඒ අතර අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා මේ සියලු තොරතුරු කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පවසන්නට විය.

මේ අතර බදුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට අමතරව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙසින් කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්ද මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබිණි. කෙසේ වෙතත් තුවාලකාරියගේ ප්‍රකාශයේ ඇති ගැටලු සහගත තත්ත්වය උසස් නිලධාරීන්ටද දැනුම් දෙනු ලැබීය.

එමෙන්ම ඇය පොලිසිය හමුවේ කී ප්‍රකාශය ගැන ස්ථානාධිපතිවරයාටද කිසියම් සැකයක් ඇති වී තිබිණි. ඇය ඒ වන විටත් මර බියෙන් සිටින බව නිලධාරීන්ට වැටහීණි. ඒ බිය මත ඇය පොලිසියට කිසියම් බොරුවක් පවසන බව අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයාගේ සැකය විය.

එහෙත් අපරාධය සිදු කළ සැකකරු පැහැදිලිවම හඳුනාගත යුත්තේ තුවාලකාරිය බව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාටද වැටහිණි. එසේ නම් කිසියම් උපක්‍රමශීලී ක්‍රමයක් භාවිත කරමින් ඇගෙන් අපරාධකරු කවුදැයි විමසිය යුතු බව හෙතෙම අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයාට දැනුම් දෙනු ලැබීය.

කාන්තා පොලිස් පරීක්ෂකවරියක් උපාය දූතියක ලෙස තුවාලකාරිය සමඟ කතාබස් කිරීමට අපරාධ විමර්ශන අංශය විසින් යොදවනු ලැබුවේ ඉන් අනතුරුවය. එහිදී හෙළිවන්නේ මෙවන් කතාවකි.

“සිද්ධිය වෙන දවසේ මේ තුවාලකාරිය සියල්ල සියැසින්ම දකිනවා. ඒ අවස්ථාවේ මේ දියණිය ඉඳලා තියෙන්නේ ඒ ගෙදරම වෙන කාමරයක. අම්මගේ කෑ ගැහිල්ලට මේ දුවත් එතැනට එනවා. ඒ වෙලාවේ ඝාතකයා මෙයාටත් මෝල්ගස් පහරක් ඔළුවට ගහනවා. පිහියෙනුත් අනිනවා. මේ හින්දා මෙයා බය වෙනවා මෙයාවත් මරාවි කියලා.

“උඹ මේ ගැන කාට හරි කිව්වොත් තෝවත් මරණවා.”

ඝාතකයා එසේ කියමින් ඇයවද මව සහ සොහොයුරිය තුවාල ලබා වැටී සිටි ඇඳ මතට තල්ලු කර ඇත.

කාන්තා පොලිස් පරීක්ෂිකා නිලූෂි ඇගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී තුවාලකාරියට තවදුරටත් සත්‍ය වසන් කර සිටීමට නොහැකි වූවාය.

“ඔයා ඉස්සෙල්ලා අපිට බොරු නේ කිව්වේ.”

“අනේ ඔව් මැඩම්. මම කිව්වේ බොරු. ගෙදරට ආවේ එක්කෙනෙක්. එයා තමයි සමන්. මේ ගැන කාටහරි කිව්වොත් අනිවාර්යයෙන්ම උඹවත් මරලා දානවා කියලා එයා කිව්වා. ඒ නිසා තමයි මම අම්මයි නංගිවයි මරපු එක ගැන බොරු කිව්වේ. මට සමාවෙන්න.”

පොලිස් පරීක්ෂකවරියගේ උපක්‍රමශීලීභාවයෙන් පසු තුවාලකාරියගෙන් ඇත්ත හෙළි කර ගැනීමට ඇයට හැකි වූවාය. ඇගේ ඇසින් දුටු සාක්කිය ප්‍රබල සාක්කියක් බව තේරුම්ගත් අපරාධ විමර්ශන අංශය පොලිස් පරීක්ෂකවරිය ලවාම තුවාලකාරියගෙන් ප්‍රකාශයක්ද ලබාගත්තේය. ඇගේ සාක්කිය විමර්ශනයට වැදගත් වූ හෙයින් බොරු ප්‍රකාශයක් මුලින් ලබාදීමේ වරදට ඇයට එරෙහිව කිසිදු පියවරක් නොගැනීමටද නිලධාරීහු තීරණය කළහ.

කෙසේ වෙතත් තම මවත් නැඟණියත් පණ අදිද්දී තුවාලකාරියට ඇති වූ බිය හේතුවෙන් ඇය පොලිසියට මුලින් බොරු ප්‍රකාශයක් ලබාදී ඇති බව විමර්ශන නිලධාරීහු වටහා ගත්හ.

“කොහොම වුණත් ඝාතකයා මෙයාවත් කපලා අර අම්මයි නංගියි වැටිලා ඉන්න ඇඳ උඩටම දානවා. මෙයත් මැරිලා කියලා හිතා ගෙන තමයි මිනිහා ඒ ගෙදරින් යන්නේ. නමුත් වාසනාවට මෙයා බේරෙනවා.”

“මෙයාගේ ඔළුවට පොලු පහර දෙකක් ගහලා තියෙනවා. බෙල්ලටත් පිහි පහරක් ගහලා තියෙනවා. ඒ නිසා මෙයාටත් ඒ වෙලාවේ සිහිය නැති වෙලා තියෙනවා.

“මෙයා නැඟිටලා තියෙන්නේ පහුවදා පාන්දර. මෙයා තමයි අල්ලපු ගෙදර ආච්චිට කියලා තියෙන්නේ මෙහෙම පුද්ගලයෙක් ගෙදරට ආවා කියලා. ඒ වෙලාවේ ආච්චිත් මේ ගෙදරට ඇවිල්ලා බලන කොට රංමැණිකයි, දුවයි ලේ විලක් මැද වැටිලා ඉන්නවා. ආච්චි කෑ ගහනකොට වටේ මිනිස්සුත් ඇවිල්ලා තමයි මෙයාලා 119 ගහන්නේ.”

විමර්ශන පවත්වන නිලධාරියා සඳහන් කළේය.

ඉන් අනතුරුව පොලිසිය ‘සමන්’ කියන සැකකරු සොයා විමර්ශන දියත් කරන්නට විය.

ලැබුණු තොරතුරක් මත සැකකරු බදුල්ල ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වන්නේ ඉන් අනතුරුවය. ඒ සැකකරු සිද්ධිය වූ වීදියපුර ගම්මානයට යාබද ගම්මානයේ රැඳී සිටියදීය. සැකකරු ත්‍රිරෝද රියැදුරකු විය.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රංමැණිකා සහ ඇගේ දියණිය ජයවතී ඝාතනය කිරීමට හේතුවූ කරුණු අනාවරණය කර ගැනීමට බදුල්ල අපරාධ විමර්ශන අංශයට හැකි විය.

මැරුම් කෑ ජයවතී ගැනල්පීන් වතුයායේ සේවය කළ තැනැත්තියක් වූවාය. ඒ අතරතුර ඇය දන්නා හඳුනන අයට පොඩි මුදලක් පොලියට ලබා දුන්නාය. මේ බව සමන්ද දැන සිටියේය. ඒ ඔහු ඇගෙන් මීට පෙරද අතමාරු කරගෙන තිබුණු නිසාය.

සමන් ත්‍රිරෝද රැකියාව කළේ පිළියන්දලය. ඉන්ධන හිඟයත් සමඟ ඇති වූ ගැටලු හේතුවෙන් රැකියාව හරි හැටි කරගත නොහැකි වූ සමන් යළි බදුල්ලේ නිවෙසට පැමිණියේය. ත්‍රිරෝද රැකියාවත් අහිමි වූ තැන ඔහු අතේ මුදල්ද යහමින් නොවීය. ඔහුට ජයවතී මතකයට ආවේ ඔය අතරය.

ඉකුත් 9 වැනිදා සවස ඔහු ජයවතී සොයා කාතාන්වත්තේ ලැයිමට ආවේය.

“මට හදිස්සියකට විසිදාහක් ඕනෑ”. “උඹ හැම තැනටම ණයයි. උඹ ගත්ත සල්ලි දෙන්නෙත් නැහැ.  අනෙක මගේ අතේ එච්චර සල්ලියකුත් නැහැ. ඕන නම් උඹට පන්දාහක් දෙන්නම්.”

ජයවතී සමන්ට කීවාය.

“මට පන්දාහක් මදි. විසිදාහක් ඕනෑ.”

“මා ගාව නැහැ උඹට දැන් සැරයක් කිව්වනේ.”

ඒ සැණින් සමන්ගේ කෝපය ඉහවහ ගියේය. ඔහු සිය ගමන් මල්ලේ සඟවාගෙන තිබූ පිහිය අතට ගැනීමත් සමඟ ජයවතී බිය වූවාය. දෙදෙනාගේ ගෝරනාඩුව ඇසී රංමැණිකාද එතැනට ආවාය. මිසිනෝනා සිටියේ එහා කාමරයේය.

පිහිය අතට ගත්තද ජයවතී ඔහුට මුදල් ලබාදීමට එකඟ වූයේ නැත.

“ඉඳපන් මම උඹව පොලිසියට අල්ලලා දෙනවා.”

ඒ සමඟම සමන් අත තිබූ පිහිය ඒ මේ අත එල්ල විය. පිහි පහර රංමැණිකාටත් ජයවතීටත් වැදිණි. “උඹට මොනවද ඕනේ. අපේ ළඟ සල්ලි නැහැ. අපිට කරදර කරන්න එපා.”

රංමැණිකා දෙදෙනා ඉදිරියට පැන කියන්නට වූවාය. ඒ තමාට සහ දියණියට සමන් කරදරයක් කරතැයි සිතාය.

“ඒ සද්දෙට තමයි රංමැණිකාගේ අනෙක් දුව මිසිනෝනා එතැනට ඇවිත් තියෙන්නේ. පස්සේ රන්මැණිකාටත් ජයවතීටත් මේ පුද්ගලයා වංගෙඩිවලට පාවිච්චි කරන ජාතියේ මෝල්ගහකින් ගහල පිහියෙනුත් අනිනවා.

පස්සේ රංමැණිකාවයි ජයවතීවයි කාමරයට ඇදගෙන ගිහින් ඇඳ උඩට දානවා. ඒ වෙලාවෙත් මෙයාලට පණ තිබිලා තියෙනවා. පස්සේ මෙයාලගේ කනේ කරේ තියෙන රත්රන් ටික මේ පුද්ගලයා කොල්ලකනවා. රංමැණිකගේ කරාබු දෙකයි ජයවතීගේ කරාබු දෙකයි පැන්ඩන් දෙකයි පණ අදිද්දීම තමයි ගලවගන්නේ. මිසිනෝනාගේ ගන්න දෙයක් නැහැ. එයාවත් ඒ ගොඩට දාලා මූ යන්න යනවා.”

“යන ගමන් මූ ඇඳගෙන හිටිය ඇඳුම් ගලවලා තැන් තැන්වලට විසිකරගෙන ගිහින් තිබුණා. අපි මේ පුද්ගලයාගෙන් ප්‍රශ්න කරලා ඒ ඇඳුම් හොයාගත්තා. සොරකම් කරපු කරාබුයි, පැන්ඩනුයි උකස් කරලා තියලා හොයගත්තා. ඒවා රුපියල් 79,000කට උකස් කරලා තිබුණේ.

“සැකකරු කොටුකරගත් ආකාරය අපරාධ විමර්ශන අංශය විසින් හෙළි කළේ එසේය. සැකකරු වීදියපුර පහළ කොටසේ පදිංචි විවාහකයකු බවද පොලිසිය සඳහන් කළේය.

සැකකරු බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

බදුල්ල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි අපෝන්සු, බදුල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරි ජයසේකර, බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එම්. රත්නායක යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමල් අබේපාල, කාන්තා පොලිස් පරීක්ෂිකා නිලුෂි, උප පොලිස් පරීක්ෂක කුමාර, සැරයන්වරුන් වන ප්‍රභාකරන් (6742), බාලක්‍රිෂ්ණන් (54278), කොස්තාපල් සුදේශ් (20131), වසන්ත (7352) යන නිලධාරීහු මෙම විමර්ශනයට එක්ව සිටියහ. පොලිස් පරීක්ෂණ අසුරෙන් ලිපිය සකස් විය.

කීර්ති මෙන්ඩිස්

පින්තූර _ බදුල්ල – සන්සික ලක්ෂාන්