අභ්‍යවකාශය පීරමින් ජේම්ස් වෙබ් සොයාගත් අරුම පුදුම දේවල්

0
405

Stephan’s Quintet මන්දාකිණි පොකුර

Stephan’s Quintet යනු මන්දාකිණි 5කින් සමන්විත මන්දාකිණි පොකුරක් වන අතර මෙය HCG 92 යන නාමකරණය යටතේද හ¾දුන්වනු ලබයි. මෙය ඛගෝලයේ Pegasus තාරකා රාශියට අයත් කලාපය තුළ පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 290ක් පමණ දුරින් පිහිටා ඇත.

මෙම මන්දාකිණි 5 දුර පරාස දෙකක ස්ථානගතවී ඇති අතර ඒවා අතරින් ආසන්නයෙන්ම පිහිටි මන්දාකිණිය වන NGC 7320 නම් මන්දාකිණිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 40ක් පමණ ආසන්නයෙන් පිහිටයි. සෙසු මන්දාකිණි වන NGC 7317 NGC 7318A NGC 7318B සහ NGC 7319 යන මන්දාකිණි පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 290ක සීමාව ඇතුළත ස්ථානගත වී පවතියි.

මේ අතරින් NGC 7320 නම් දරන මන්දාකිණිය අප සෞරග්‍රහ මණ්ඩලය පිහිටා ඇති ක්ෂීරපථය මෙන් සර්පිලාකාර මන්දාකිණියක් වන අතර ජේම්ස් වෙබ් විසින් මාධ්‍යයට නිකුත් කළ ඡායාරූපය නිරීක්ෂණය කිරීමේදී මෙම මන්දාකිණිය තුළ අඩංගු වන විවිධ වයස්වල තාරකාවන් පිහිටන කලාප පැහැදිලිව නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතියි.

එහි ළාබාල තාරකාවන් පිහිටි කලාප නිල් පැහැයෙන් සහ වයස්ගත යෝධ තාරකා පිහිටන කලාප රතු පැහැයෙන්ද නිරීක්ෂණය කළ හැකිය. NGC 7317 නම් මන්දාකිණියද Stephan’s Quintet මන්දාකිණි පොකුරට අයත් ඉලිප්සාකාර මන්දාකිණියකි. මෙය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 290ක් පමණ දුරින් ස්ථානගත වී පවතියි. NGC 7319 මන්දාකිණියද විශේෂිත වර්ගයේ සර්පිලාකාර මන්දාකිණියක් වෙයි. සෙසු මන්දාකිණි ද්විත්වය වන NGC 7318A සහ NGC 7318B යනු එකිනෙක ගැටුණු මන්දාකිණි ද්විත්වයකි.

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය විසින් ලබාගත් Stephan’s Quintet මන්දාකිණි පොකුරේ මෙම ඡායාරූපය පික්සල් මිලියන 150කින් යුක්ත වන අතර එය සංස්කරණය කර ඇත්තේ ඡායාරූප 1000ක පමණ සංඛ්‍යාවක් ආධාර කර ගනිමින්ය.

Carina නිහාරිකාව

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය විසින් ලබාගත් ඡායාරූප අතරෙන් තවත් අද්විතීය ඡායාරූපයක් වන්නේ Carina නිහාරිකාවේ (NGC 3324) කොටසක ලබාගත් ඡායාරූපයයි. මෙය ප්‍රසිද්ධ තරු බිහිවන කලාපයක් වන අතර ජේම්ස් වෙබ්ගේ කාචයට හසුවූ කලාපය තුළ විවිධ අවධිවල තරු දහස් ගණනක් නිරීක්ෂණය කළ හැකි වේ. වර්ගීකරණයේදී මෙම නිහාරිකාව විමෝචන නිහාරිකා (Emission Nebula) ගණයට අයත් වෙයි. Carina නිහාරිකාව ආසන්න වශයෙන් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 7600ක් පමණ දුරින් අප සෞරග්‍රහ මණ්ඩලය පිහිටන ක්ෂීරපථය තුළම පිහිටි නිහාරිකාවක් වන අතර ඛගෝලයේ කැරීනා තාරකා රාශිය තුළ පිහිටයි.

මීට පෙරද හබල් අභ්‍යවකාශ දුරේක්ෂය විසින් Carina නිහාරිකාව ඡායාරූප ගත කිරීමට සමත් වූ නමුත් ජේම්ස් වෙබ් දුරේක්ෂය විසින් ලබාගත් ඡායාරූපයේදී නිහාරිකාව තුළ පවතින අණුක වායු වලාවන්වල කලාප සහ සීමා ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි වේ. තාරකාවක් නිර්මාණය වන්නේ මෙවැනි අණුක වායු වලාවන්වල කුඩා කලාප ආකර්ෂණ බල යටතේ එක් ලක්ෂයකට ආකර්ෂණය වීම හේතුවෙනි.

මෙලෙසින් තාක්ෂණය අතින් හබල් දුරේක්ෂයට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් සිටින ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ඉදිරියේදීද මෙයින් ඔබ්බට යන නිරීක්ෂණ සහ සොයා ගැනීම් සිදු කිරීමට නියමිතය. දශක ගණනාවක් පුරාවට ජේම්ස් වෙබ් දුරේක්ෂය නිර්මාණය කරන ලද්දේ විශ්වය ආරම්භයේ රහස් ගවේෂණය කිරීම වෙනුවෙන්ය. ඉතින් විය යුතු පරිද්දෙන්ම එය නුදුරු අනාගතයේදී අප දැනට දන්නා භෞතික විද්‍යා සිද්ධාන්ත උඩු යටිකුරු කළහොත් ජේම්ස් වෙබ් දුරේක්ෂය ගැන දන්නා තාරකා විද්‍යා ලෝලියකු ලෙස ඔබ පුදුම විය යුතු නැත.

සිනෙර රිද්මික