ලංකාව හිර කරන්න සම්පන්දන් කළ යෝජනාව

2
1190

මානව හිමිකම් කඩ කිරීම්, යුද්ධ අපරාධ හා ජනවර්ගයන්ට එරෙහි අපරාධවලින් ශ්‍රී ලංකා රජය හා එහි ආරක්‍ෂක අංශවලට බේරීමට නොහැකි ආකාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මෙවර සැසිවාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ශක්තිමත් යෝජනාවක් සම්මත කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් එම කවුන්සලය වෙත අවධාරණය කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සියලු සාමාජික රටවල් ශ්‍රී ලංකාව සඳහා වන මෙවර යෝජනාව සම්මත කර ගැනීමට සහයෝගය දිය යුතු යැයි ද හෙතෙම ඉල්ලා සිටියි.

මේ වන විට ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 51 වන සැසිවාරය සහ ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත්ව ඇති වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සම්පන්දන් මෙම ඉල්ලීම කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේ ද කීවේ ය.

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 51 වන සැසිවාරය ආරම්භ වී තිබෙනවා. එම සැසියේ පළමු දිනයේදී ම එම කවුන්සලයේ වැඩබලන කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් එළිදක්වනු ලැබුවා. එම වාර්තාව අප පක්‍ෂය ඉතා අගය කොට සිටිනවා.

මෙම කවුන්සලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීට පෙර යෝජනා කිහිපයක් ම සම්මත වී තිබෙනවා. ඒත් එම යෝජනාවල සඳහන් වූ නිර්දේශ බොහෝමයක් ශ්‍රී ලංකා රජය විසින් ඉටු කිරීම පැහැර හැර තිබෙනවා. මානව හිමිකම් කඩ කිරීම්, යුද්ධ අපරාධ, ජනවර්ගයන්ට එරෙහි අපරාධ යන ගැටලු වෙනුවෙන් ඉදිරිපත් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අනුගමනය කරනු ලැබුවේ ඉතාමත් මන්දගාමී ප්‍රතිපත්තියක්.

ජාතික ගැටලුවට විසඳුම් තවමත් ලැබී නෑ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර නෑ. එම පනත යටතේ තවමත් අත්අඩංගුවට ගැනීම් සිදුවෙනවා. මෙම ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරය වෙත නොයෙකුත් පොරොන්දු ලබාදී තිබෙනවා. ඒත් එම පොරොන්දුවලින් කිසිවක් මේ වනතෙක් ඉටුකර නෑ. දුන් පොරොන්දු කුණු කූඩයට විසි කරමින් ශ්‍රී ලංකා රජය කළේ සැමදා ජාත්‍යන්තරය රැවටීමට ලක් කිරීමයි.

ඒත් මෙවර ජිනීවාහිදී ශ්‍රී ලංකාවට බේරීමට නොහැකි ආකාරයෙන් ඉතාමත් ශක්තිමත් යෝජනාවක් සම්මත කර ගත යුතුයි. එයට සියලු සාමාජික රටවල් සහයෝගය ලබා දිය යුතුයි. මෙවර කවුන්සලය ශ්‍රී ලංකාවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉටුකර දිය යුතුමයි.”

2 COMMENTS

Comments are closed.