බොලිවුඩ් සිනමා පටයක යොහානි හින්දියෙන් ගයන ‘මැණිකේ’ ගීතය එළි දක්වයි (VIDEO)

0
1715

ශ්‍රී ලාංකේය යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ගයන ‘මැණිකේ මගේ හිතේ’ ගීතය බොලිවුඩ් සුපිරි නළු අජේ දේව්ගන් රංගනයන් දායක වන ‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටය සඳහා යොදා ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එම ගීතය “මැණිකේ” ලෙස නම් කර ඇති බව ය.

එරට ප්‍රමුඛ පෙළේ සංගීත නිෂ්පාදන සමාගමක් සහ චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන T-Series, අද (සැප්. 16) එම ගීතය මුල් වරට නිකුත් කළේ ය.

‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ තනුවට හින්දි බසින් ලියැවුණු පද මාලාවකින් එය අන්තර්ගත වන අතර එම හින්දි අනුවාදය ද යොහානි විසින් ම ගයනු ලැබීම විශේෂත්වයකි.

‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටය සඳහා බොලිවුඩ් තරු වන අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ නෝරා ෆටේහි රංගනයෙන් දායක වෙති.

මිනිත්තු තුනක කාලයකින් සමන්විත ‘මැණිකේ’ ගීතයේ වීඩියෝව ආරම්භ වන්නේ, අජේ දේව්ගන්ගේ රංගනයෙනි.

ඉන්ද්‍ර කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටය ඔක්තෝබර් 25 වන දින නිකුත් කිරීමට නියමිත ය.

එය 2019 වසරේ ‘මර්ජාවාන්’ චිත්‍රපටයෙන් පසුව සිද්ධාර්ත් රංගනයෙන් දායක වන ප්‍රථම චිත්‍රපටය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

‘මැණිකේ මගේ හිතේ’ ගීතය මුල් වරට ගයනු ලැබුවේ, සතීෂන් රත්නායක විසින් වන අතර එහි යොහානි ද සිල්වා සමග සතීෂන් රත්නායක ගැයූ ගීතය පසුගිය දා ලොව පුරා ජනාදරයට පත් විය.