“ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධයෙන් කතිකා කරන ජාත්‍යන්තර වෙ‍‍ළෙඳ කාර්යාලයක් ස්ථාපනය කරනවා” – ජනපති

0
136

ජාත්‍යන්තර වෙළෙඳාම් සම්බන්ධයෙන් කතිකා කරන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපනය කර සංකීර්ණ ආර්ථික, තාක්ෂණික හවුල්කාරිත්වයක් දක්වා නිදහස් වෙළෙඳ ගිවිසුම යතාවත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික සබඳතාවන්හි පවතින ආයෝජන සඳහා වන බාධක සහ වෙළෙඳ ක්ෂේත්‍රය සඳහා වන තීරු බදු නොවන බාධක ජයග්‍රහණය කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ඊයේ (සැප්. 15) පස්වරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ‘ශ්‍රී ලංකා ඉන්දියානු සමාජයේ’ වාර්ෂික සුහද හමුව අමතමිනි.

මෙම සුහද හමුව ඉන්දියාවේ 75 වන නිදහස් සැමරුම සනිටුහන් කරමින් පැවැත්විණි.

ඉන්දියාව ඇතුළු අසල්වැසි රටවල් වෙළෙඳ ඒකාබද්ධතාවකට පැමිණිය යුතු බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමග සමීපව කටයුතු කරන ශ්‍රී ලංකා ඉන්දියානු සමාජයේ ශ්‍රී ලාංකිකයින් සහ ඉන්දියානුවන් 800ක් පමණ සාමාජිකත්වය දරන අතර විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන පිරිස් ඊට අයත් වෙති.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

“පළමුවෙන් ම මා ගැන පැවසූ සියලු දේ සම්බන්ධයෙන් මම කුමාර් නඩේසන් මහතාට ස්තූතිවන්ත වෙනවා. ඉන්දියාවේ 75 වන නිදහස් සංවත්සරයේදී ඔබ සියලු දෙනා සමග මෙහි සිටීමට හැකි වීම පිළිබඳ මම සතුටු වනවා.

දිවංගත ජවහර්ලාල් නේරු එදා ඔහුගේ කතාව සිදු කළේ ඉන්දියාව පිළිබඳ පමණක් නොවේ මුළු ආසියාවට ම යි කියා මා හිතනවා. 1946දී ඉන්දියාව නිදහස් රටක් වීමට පෙර පළමු ආසියානු සබඳතා සමුළුව කැඳවූවා. එය ආසියානු රාජ්‍යයන්ට එක් වීමට මග පෑදුවා. අනතුරුව ආසියානු සහ අප්‍රිකානු රාජ්‍යයන්ට එකතු වීමට මග පෑදුණා. ඇත්තෙන් ම, ඉන්දියාව ඒ අනුව අනෙක් රාජ්‍යයන්ගේ ප්‍රධානියායි. චීනය පැමිණියේ 1949දී යි. ජපානය පැමිණියේ 1952දී යි. මේ රටවල් තමයි ආසියාවේ ප්‍රධාන බලවතුන් තිදෙනා.

ඉන්දියාවේ ජයග්‍රහණ ද සිහිපත් කළ යුතුයි. ඉන්දියාව කියන්නේ රාජ්‍යයන් එකතු කිරීමකින් ඇති වු රටක්. ඉන්දියාව අවුරුදු 75ක් පැවතුණා. ඒ අයුරින් ම බොහෝ කාලයක් පැවතෙයි. ඒ ගැන සැකයක් නැහැ. පුද්ගලයන් දෙදෙනෙක් මේ සම්බන්ධයෙන් සිහිපත් කළ යුතු යි. රාජ්‍යන් කිහිපයක් එක් කළ නියෝජ්‍ය අගමැති වලභායි පටෙල් එක් අයෙක්. ඉන්දියාව යන සංකල්පය සහ අනන්‍යතාව ඇති කළ ජවහර්ලාල් නේරු අනෙක් පුද්ගලයා යි. එය ඉන්දියාවේ ජයග්‍රහණයක්. ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට පොදු බොහෝ දේ තිබෙනවා. එය අශෝක චක්‍රය තියෙන ඔබගේ ජාතික කොඩියෙන් පෙන්නුම් කරනවා. අශෝක අධිරාජ්‍යයා යටතේ තමයි බුද්ධාගම ශ්‍රී ලංකාවට පැමිණයේ. මෞරි පාලනය ශ්‍රී ලංකාවට පැමිණියේ. එබැවින් රාජ්‍ය ආයතන සහ නගර සැලසුම් මෙම ක්‍රමවේදයෙනුයි පැවතෙන්නෙ.

ශ්‍රී ලංකා සමාජය, මූලාරම්භය ගොඩ නැගුනේ කෙසේ ද යන්න අද ඉන්දියානු ජාතික කොඩියෙන් පිළිඹිඹු කරනවා. සංස්කෘත සහ පාලි භාෂාවෙන් ඇරඹි සිංහල සහ දෙමළ භාෂා දෙක අපිට තිබෙනවා. ඉන්දියාවෙන්, උතුරු ඉන්දියාවෙන් මෙන් ම, දකුණු ඉන්දියාවෙන් බෙහෝ චාරිත්‍ර මෙරටට පැමිණ තිබෙනවා. තමිල්නාඩුවෙන් සහ කේරළයෙන් පැමිණි චාරිත්‍ර අතර සමානකම් තිබෙනවා.

මෙහි සිටින බොහෝ සිංහල අය රාහු කාලය ගැන තදින් විශ්වාස කරන අයයි. ඒක අපට ලැබුණේ කේරළයෙන්. කවුරුවත් ඒක මෙහෙට දුන්නෙ නැහැ. අපි කේරළයෙන් ලද පත්තිනි දේවිය වන්දනාමාන කරනවා. මෙහි බෞද්ධාගමිකයෝත් නොවන, හින්දුත් නොවන විශාල පිරිසක් ඉන්නවා. දකුණු ඉන්දියාවෙන් දෙමළට පරිවර්තනය කළ ‘කුරානයෙන්’ මුස්ලිම් බවට හැරුණු සිංහලයන් කණ්ඩායමක් සිටිනවා.

ඉන්දියාව මහද්වීපයක් වශයෙන් ශ්‍රී ලංකාවට සිදු කළ බලපෑම මෙයින් පෙන්නුම් කරනවා. අපි එකිනෙකා මාස හයකට පසු නිදහස ලබා තිබෙනවා. අපට පොදු සංස්කෘතික උරුමයන් තිබෙනවා. ආගම, සංස්කෘතිය, නර්තනය යනාදිය පොදුයි. එය එක් පැතිකඩක්. උඩ‍රැටියන් අඳින රතු සහ සුදු පැහැය කියන වර්ණ සංකලනයත් කේරළයෙන් ලැබුණේ. මෙයයි පොදු දේ. අපට වෙනස්කම් ද තිබෙනවා. අපි මේ මතයි ගොඩ නැගෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේ නවීන යුගයේ අපට ගොඩනැගුණු පොදු දෙයයි. අප සියලු දෙනා එකට එකතු කළ ක්‍රිකට් අපිට ලබා දීම ගැන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අපි ස්තුතිවන්ත වෙනවා. බොලිවුඩ් ලබා දීම ගැන ඉන්දියාවට ස්තූතිවන්ත වෙනවා. මේවා අප එක් කරන නව කරුණු. මේක හුදෙක් ද්විපාර්ශ්විය සබඳතාවක් නෙවේ කියලා මම හැමවිටම කියන්නෙ මේ නිසයි. මෙය ඉන් ඔබ්බට යන්නක්. රවීන්ද්‍රනාත් තාගෝර් විසින් රචිත ඔබේ ජාතික ගීය බලන්න. රවීන්ද්‍රනාත් තාගෝර්ගේ සිසුවෙක් විසින් රචිත අපේ ජාතික ගීය බලන්න. ඔහු ඉන්දියානු මෙන් ම දකුණු ආසියානු තරුවක්. ඔහු අපි සියලු දෙනාට ම අයිතියි. රවීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව ගැන මගේ අම්මා කියනවා මට මතකයි. ඔහු මගේ මී මිත්තණිය හමුවී තිබෙනවා. මගේ අම්මටත් රවීන්ද්‍රනාත් තාගෝර්ට කතා කරන්න අවස්ථාව හිමි වෙලා තිබෙනවා.

අපි ඉන්දියාවෙන් පැමිණි බොහෝ දෙනාගෙන් ආභාෂය ලබා තිබෙනවා. අපි දැන් මහාද්වීපයේ එකට බැඳුණු කොටසක් බවට පත් වෙලා. දකුණු ඉන්දියාවේ සිටින සමහර අයට ලංකාවේ සමහර ප්‍රදේශ උතුරු ඉන්දියාවේ ප්‍රදේශවලට වඩා සමීපයි. රජයකට සංස්කෘතිය ප්‍රවර්ධනය කරන්න බැහැ. ඒක ඉබේ සිදු වන්නක්. නමුත් වැදගත් දේ වන්නේ ඉන්දියානු අගමැති දළදා මාළිගාව වැඳපුදා ගැනීමට පැමිණෙන අතර, ශ්‍රී ලංකා ජනාධිපති තිරුපති යාමයි. මං හිතන්නේ නෑ ඔබට මේ වගේ බැඳීමක් ලෝකෙ වෙනත් කිසි ම රටකින් දකින්නට ලැබෙයි කියලා.

සංස්කෘතිය, කලාව මිනිසුන්ට දිය යුතුයි කියලා මං හිතනවා. ඔවුන් තීරණය කරයි ඔවුන්ට අවශ්‍ය මොනව ද අනවශ්‍ය මොනව ද කියලා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කරන්න රුපියල් බිලියන දෙකක ත්‍යාගයක් ලබා දීම ගැන මම අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට ස්තූතිවන්ත වෙනවා. දෙරට අතර සබඳතා පිළිබඳ ජනතාව දැනුවත්වන නව අදහස් හා ව්‍යාපෘති ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපට ව්‍යාප්ත කළ හැකි ක්ෂේත්‍ර මොනවා ද? වෙළෙඳාම සහ වාණිජ එම ක්ෂේත්‍ර යි. ඉන්දියානු සහ ශ්‍රී ලංකා ආර්ථිකයට අදාළව ආයෝජනයට ඇති බාධා සහ වෙළෙඳාම සඳහා ඇති තීරු බදු නොවන බාධා ජයග්‍රහණය කිරීමට රටවල් දෙක ම උත්සාහ කළ යුතුයි.

විශේෂයෙන් ඉන්දු ආර්ථික සබඳතා ජයග්‍රහණය කරන්න උත්සාහ කළ යුතුයි. මෙම යුගයේ දී අග්නිදිග සහ නැගෙනහිර ආසියානු කලාපයේ ඒකාබද්ධතාව ඔබ දකිනවා. අපි මොනවද දකුණු ආසියාවේ කළ යුතු වන්නේ? ඉන්දියාව, ශ්‍රී ලංකාව නේපාලය සහ බංගලාදේශය සම්බන්ධ වෙළෙඳ ඒකාබද්ධතාව අපගේ මතයයි. අපි ක්ෂේත්‍ර ගණනාවකින් ම එය බලාපොරොත්තු වෙනවා.

ඉන්දියාව සමග වෙළෙඳ ඒකාබද්ධතාවකට පැමිණීම තමයි වැදගත් වන්නෙ. කොහොම ද අප ඉදිරියට කරගෙන යන්නෙ. ඒ සඳහායි අපේ අවධානය දිය යුත්තේ. 2047, 2048 දී අප සිටිය යුත්තේ කොතැන ද? දුප්පත්කමින් තොර සමෘද්ධිමත් සමාජයක අප සිටිය යුතුයි. ඉහළ මධ්‍යම පාන්තිකයන් සඳහා ප්‍රමාණවත් වන ඒක පුද්ගල ආදායම පැවතිය යුතුයි. එසේ නොමැති නම් සමෘද්ධිමත් සංවර්ධිත ආර්ථිකයක් තිබිය යුතුයි. එය වෙළෙඳාම සහ තරගකාරිත්වය වැනි ප්‍රතිඵල ලබා ගැනීමට රඳා පවතිනවා. ඉන්දියාව අසල්වාසින් සමග පවත්වන සබඳතා වෙළෙඳ ඒකාබද්ධතාව මත තීරණය වෙනවා කියා මා හිතනවා. වෙළෙඳ ඒකාබද්ධතාව ආර්ථික පදනමක් සලසනවා.

පොදු ආර්ථික පදනමක් ජාතික ආරක්ෂාව සඳහා වගේම වඩා යහපත් දේශපාලන සබඳතාවක් සඳහා පූර්ව අවශ්‍යතාවක් වෙනවා. මෙය මතකයේ තබාගෙන අප ප්‍රධාන පියවර දෙකක් අනුගමනය කරනවා. සංකීර්ණ, ආර්ථික, තාක්ෂණික හවුල්කාරිත්වයක් දක්වා නිදහස් වෙළෙඳ කලාපීය ගිවිසුම් යාවත්කාලීන කරනවා.

2018, 2019 වර්ෂයේදී අප එය ආරම්භ කළා. නමුත් කමිටු විශාල ගණනක් ද ඇතිව වාණිජ දෙපාර්තමේන්තුවේ යම් තැනක එය ඇණ හිට ඇති බවට මට මෑතක දී දැන ගැනීමට ලැබුණා. එම අවස්ථාවේ දී එවකට හිටපු මලික් සමරවික්‍රම අමාත්‍යතුමාට මේ පිළිබඳ සාකච්ඡා කරන ලෙස දැන්වූවා. මම ඒ කමිටු සියල්ල අත්හිටවනු ලැබුවා. මෙය ඉහළ ම දේශපාලන මට්ටමෙන් ඉක්මනින් සිදුවිය යුතු බව දැනුම් දුන්නා. නමුත් ශ්‍රී ලංකාවට තම ජාත්‍යන්තර වෙළඳාම සංවර්ධනය කරගත යුතු නම් අපි වෙනස් ආකාරයකට සිතිය යුතුයි.

සියලු ම ජාත්‍යන්තර වෙළෙඳාම් සම්බන්ධයෙන් කතිකා කරන ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක් ස්ථාපනය කරන්න මම තීරණය කළා. විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සමග මම සාකච්ඡා කළ පරිදි මුදල් අමාත්‍යංශය යටතේ එය ස්ථාපනය කරනවා. එය පසුව ප්‍රතිව්‍යුහගත කිරීමේ දී විදේශ කටයුතු සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශය යටතට ගන්නවා. මෙය පළමු පියවරයි. අපි අනවශ්‍ය නීතිරීති ඉවත් කළ යුතුයි. අපේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන අපි අවධානය යොමු කරනවා. අපගේ ව්‍යාපාර පහසු කරවන වෙන ම අමාත්‍යංශයක් පිහිටවිය යුතුයි. විවිධ වෙළෙඳ ගිවිසුම් පිළිබඳවත් බලාපෙරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට එකට එක් වීම සඳහා අවකාශය තිබෙනවා. අපට එක්ව වැඩකළහැකි පුනර්ජනනීය බලශක්තිය, සංචාරක ව්‍යාපාරය, වෙළෙඳාම, සැපයුම්, තොරතුරු තාක්ෂණය ආදි බොහෝ ක්ෂේත්‍ර තිබෙනවා. දෙරටේ ම යහපත සඳහා අපි එකට වැඩ කළ යුතු යි.

දෙවනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එකඟතාවට පැමිණ ඇති ශ්‍රී ලංකාවේ පාර්ශ්වයෙන් ප්‍රමාද වූ ව්‍යාපෘති ගැන අපි අවධානය යොමු කරනවා. මගේ කාර්ය මණ්ඩල ප්‍රධානිට මම දැනුම් දුන්නා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස. මං දැක්කා අද ඔහුව වට කරගෙන නිලධාරීන් කියනවා ඇයි ඔවුන්ට එය සිදු කිරීමට නොහැකි වුණේ කියලා. ව්‍යාපෘතිවල පැතිකඩ දෙකක් ගැන විතරයි මම කතා කළේ. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇති විදුලිබල ජාල සම්බන්ධතාවය, සුළං බලශක්තිය, සාම්පූර්හි සූර්ය බලාගාරය (Power Grid Connection, Off Shore Wind Energy, Solar Power Plant of Sampure) යාපනයේ දූපත් තුනෙහි ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති යනාදිය පිළිබඳ එහිදී සොයා බැලෙනවා.

පුනර්ජනනීය බලශක්ති සම්බන්ධයෙන් අපට පුළුල් වපසරියක් තිබෙනවා. ඉන්දියාව ඊට මුලපුරලා තිබෙනවා. තවත් පිරිස් සිටිය හැකියි. පුත්තලම සිට මුලතිව් දක්වා පුනර්ජනනීය බලශක්තිය යොදා ගන්නවා නම් සහ හරිත හයිඩ්‍රිජන් සඳහා යොමු වනවා නම් ඒ තුළින් ඉන්දියාවට බලශක්තිය සපයනවා නම් උතුරුකරයේ ආර්ථිකයේ දියුණුවක් දැකගත හැකි වේවි. එය මින් පෙර අත්නොදැකපු දෙයක්. එය උතුරේ ආර්ථිකයට විශාල බලපෑමක් වෙනවා.

ඉන්දියාවේ උසස් අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කර තිබෙනවා. යාපනය අපි හඳුනාගත් එක් ප්‍රදේශයක්. අපට තිබුණා ත්‍රිකුණාමලය සංවර්ධනය කරන්න. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය, වරාය හා ආයෝජන සංවර්ධනය කිරීම. මේ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා.

දියුණු කළ හැකි අවස්ථා තියෙනවා. එය කෙතරම්දයත් උතුරු ප්‍රදේශය ගැන සලකන කොට පුනර්ජනනීය බලශක්ති බටහිර ප්‍රදේශයේත්, නැගෙනහිර ප්‍රදේශයේ වරායත් තිබේවි. එය උතුරේ සංවර්ධනයට දායක වේවි. නමුත් ඒක විතරක් නෙවේ අපි බලාපොරොත්තු වන්නේ. ඇයි අපි සැපයුම් වැඩිදියුණු කළ යුත්තේ. අපි ඉන්දියාවට සහ බංගලාදේශයට තිබෙන ප්‍රධාන වරායන් අතරින් එකක්.

CPC එකෙන් වැඩි තෙල් පිරවුම්හල් ප්‍රමාණයක් මිලට ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු තෙල් සමාගමට මම ස්තූතිවන්ත වෙනවා. වඩා හොඳ ඉන්ධන සැපයුමක් බලාපොරොත්තු වන ඔබ බොහෝ දෙනෙකුට මෙය හොඳ සලකුණක් වේවි. නමුත් මේ සියල්ල ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමීප ආර්ථික සහයෝගිතාවක් ඇති කිරීම සඳහා අඩිතාලම දමනවා. මෙහි නව ආයෝජන ඇති වේවි. ශ්‍රී ලාංකිකයින් ඉන්දියාවේ ආයෝජන සිදු කිරීම ගැන මම ආඩම්බර වෙනවා. දම්රෝ එවැනි එක් උදාහරණයක්. අපි ඉන්දියානුවන්ට මෙරටට පැමිණෙන්න ආරාධනා කරනවා වගේම ශ්‍රී ලංකිකයන්ටත් ඉන්දියාවට යාමට ඉඩ ලබා දිය යුතුයි. මෙය දියුණු විය හැකි අවස්ථා ඇති එක් විශාල වෙළඳපොළක් ලෙස අපි සලකමු. මොකද අපිට දැන් අනාගතය ගැන සිතන්න තියෙනවා. අපි එය සැලසුම් කළ යුතු යි. අපි දැන් එය කරමු. අතීතය ගැන සිතන්න එපා. ඊළඟ අවුරුදු 25 සඳහා අපේ අරමුණු මොනව ද කියලා අපි දන්නවා. ඒ අනුව අපි ඉදිරියට යමු.”

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, ශ්‍රී ලංකා ඉන්දියානු සමාජයේ කිෂොර් රෙඩ්ඩි යන මහත්ම මහත්මීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් මෙන් ම උසස් නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. දයොහානිගේ ‘මැණිකේ’ ගීතය ඇතුළත් බොලිවුඩ් චිත්‍රපටයට එරෙහිව නඩුවක්