පාස්කු දා ප්‍රහාරයට බෝම්බ 21ක් හැදූ 6කට අධිචෝදනා

0
347

පාස්කු දා ප්‍රහාර මාලාව සඳහා භාවිත කළ බව කියන පීඩාකාරී බෝම්බ විසි එකක් නිෂ්පාදනය කළ බවට ඉස්ලාම් අන්තවාදී සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකයන් හය දෙනෙකුට ඊයේ (සැප්. 15) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අධිචෝදනා භාර දුන්නේ ය.

මොහොමඩ් ෂිෆාස් සත්තාන්, සෙයියදු අබුබායි මොහොමඩ් අෂ්රෆ්, මොහොමඩ් ඉෂාක් මොහොමඩ් නිලබ්ධීන් හෙවත් අර්ෂඩ්, ගුනසීලන් රවින්ද්‍රන් හෙවත් මොහොමඩ් ඉෂාක්, සේක් ෆරීක් මොහොමඩ් ෆවුසි හා මොහොමඩ් මොයිනුදීන් මූසා හෙවත් අබ්දුල්ලා යන විත්තිකරුවන්ට මෙලෙස අධිකරණය මඟින් අධි චෝදනා භාර දීම සිදුවිය.

තම සේවාදායකයන් වසර තුනකට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ මෙන් ම රක්ෂිත බන්ධනාගාරගතව ද පසුවන බැවින් මෙම අවස්ථාවේදී ඔවුන් සම්බන්ධ ඇප ඉල්ලීමක් නොකරන නමුත් ඉදිරි නඩු දිනයේ ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ෆසීර් මොහොමඩ් රිස්වාන් උවයිස් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුවන් ලබන මස 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ ය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ තැප්‍රොබේන් ආපන ශාලාවේදී බෝම්බයක් පුපුරවා ගත් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් නමැති බෝම්බකරුගේ උපදෙස් මත වර්ෂ 2018 ජනවාරි හා මාර්තු 30 අතර කාලය තුළ එම බෝම්බ නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් මෙම විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණි.