2021න් පසු ගාලු වරායට නැව් නෑ

0
44

ගාල්ල වරායට 2021 මැයි මස සිට වෙළෙඳ නැව් එකක්වත් පැමිණ නැති බවත් ගාල්ල සිමෙන්ති කම්හලට එන සිමෙන්තිද දැන් හම්බන්තොට වරායට ගෙන්වා ගෙන එතැන් සිට ලොරිවලින් ගාල්ල සිමෙන්ති කම්හලට ගෙන එන බවත් ගාල්ල වරායේ නේවාසික කළමනාකාර විජය සෙනවිරත්න වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හමුවේ ඊයේ (15දා) පැවැසුවේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගාල්ල වරායේ නිරීක්‍ෂණ චාරිකාවකට ඊයේ (15දා) පැමිණි අවස්ථාවේදී පැවැති සේවක හමුවේදී වරාය නේවාසික කළමනාකාරවරයා පැවැසුවේ මෙතෙක් කලක් ගාල්ල සිමෙන්ති කම්හලට ගෙන එන ලද සිමෙන්ති නිෂ්පාදනය කරන ක්ලින්කර් ගාල්ල වරායට ගෙනාවත් හම්බන්තොට වරාය දියුණු කිරීමත් සමඟ හම්බන්තොට වරායට ගෙනැවිත් මහ මාර්ගයේ ලොරිවලින් ගෙන එන බවය.

මේ වන විට ලෝකයේ කුඩා නැව් නිපදවන්නේ නැති අතර ගාල්ල වරායේ මුහුද ගැඹුර නැති නිසා විශාල නැව්වලට පැමිණීමට නොහැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙහිදී ඉදිරිපත් වූ ගැටලු සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ කීය.

“ගාල්ල වරායට ලොකු නැව් ගැනීමට නොහැකි බව මෙහිදී අනාවරණය වුණා. දැනට ගාල්ල වරායේ ගැඹුර මීටර් නවයයි. ලොකු නැව් ගැනීමට නම් මීටර් 12ක් දක්වා ගැඹුරු කළ යුතුයි. අපේ බලාපොරොත්තුව ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමයි. ඒ සඳහා ඉදිරි මාස දෙක තුන ඇතුළත පියවර ගන්නවා. විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

විදේශීය ආයෝජකයන් පැමිණියා කියලා කිසි කෙනකුගේ රැකියා අහිමි වන්නේ නැහැ. දීර්ඝ කාලයක් තිස්සේ වරායේ නැවක් දිරාපත්වෙමින් තිබෙනවා. එය වෙන්දේසි කිරීමටත් ළඟදීම පියවර ගන්නවා. ඒ වගේම දැනට වසා දමා තිබෙන ගාල්ල කොටුවේ නාවිකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයද විවෘත කිරීමට පියවර ගන්නවා.

වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර, වරාය කළමනාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස, අතිරේක කළමනාකාර සුසන්ත අබේවර්ධන යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ. පසුව අමාත්‍යවරයා ඇතුළු පිරිස ටග් යාත්‍රාවක නැඟී වරාය අවට සංචාරයකටද එක්වූහ.

ගාල්ල – ෆර්හාන් නිසාම්දීන්