හිස් ගෑස් සිලින්ඩර් හොරකම් කළ දෙදෙනා අත්අඩංගුවේ

0
7

ගෘහස්ථ හිස් ගෑස් සිලින්ඩර් අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයන් දෙදෙනකු නාවලපිටිය පොලිසිය විසින් සැකපිට ඊයේ (15දා) අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරුවන් දෙදෙනා නාවලපිටිය, කිතුල්කොටේ සහ ඉඹුල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් නිවෙසේ පැවැත්වෙන පින්කමක් සඳහා ගෑස් ලබාගැනීමට අවශ්‍ය බව පවසමින් අසල්වාසීන්ගෙන් කිලෝ 12.5 සහ කිලෝ 5 හිස්  ගෑස්  සිලින්ඩර් 16ක් ලබාගෙන එම හිස් ගෑස් සිලින්ඩර් නාවලපිටිය ප්‍රදේශයේම පුද්ගලයන්ට රු.10,000 හා 15,000 වැනි මිලකට විකුණා ඇත.

හිස් ගෑස් සිලින්ඩර්  ලබාගත් ප්‍රදේශවාසීන් ආපසු ගෑස් සිලින්ඩර ගෙනැවිත් භාරනොදීම නිසා ඔවුන් නාවලපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන කළ විමර්ශනයකදී මෙම වංචාව අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවු: 25 – 30 වයස් කාණ්ඩවල පසුවන අය බවත්, ඔවුන් මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූවන් බවත්, එම සැකකරුවන් දෙදෙනා නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පැවැසීය.

නොර්වුඩ්  –  නීටා පත්ම කුමාරි