ලංකාවට ණය දීම ඉන්දියාව අත්හිටුවයි

0
11

මෙම වසරේදී ලබාදී ඇති ඇමරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න මූල්‍යාධාරවලට අමතරව ශ්‍රී   ලංකාවට නව මූල්‍යාධාර ලබාදීමට ඉන්දියාව සැලසුම් නොකරන බව මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මූලික ණය ගිවිසුමකට එළඹීමෙන් පසු ශ්‍රී  ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගැනීමත් සමඟ ඉන්දියාව මෙම තීරණය ගෙන ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

දශක හතකට වැඩි කාලයක් තුළ මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදයට එරෙහිව සටන් කරන ශ්‍රී   ලංකාවට මෙම වසරේ වැඩි වශයෙන් ආධාර ලබාදුන් රට බවට ඉන්දියාව පත්වුවද දැන් තත්ත්වය මැයි සහ ජූලි මාසවල පැවැති තත්ත්වයට වඩා යහපත් බව රොයිටර්ස් වාර්තාවේ දැක්වේ.

“අපි දැනටමත් ඇමරිකානු ඩොලර් බිලියන 3.8ක් වටිනා ආධාර ලබාදීලා තියෙන්නේ. දැන් ඒ හැමදේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත තියෙන්නේ. ආධාර දීම රටවලට දිගටම කරන්න බෑ’ යනුවෙන් ඉන්දීය රජයේ ප්‍රකාශකයෙක් රොයිටර්ස් වෙත ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවේ මෙම තීරණය පුදුමයට කරුණක් නොවන බවත් මහා පරිමාණ සහාය තවත් සුළු කාලයකට ඉදිරියේදීත් ලැබෙන බව නව දිල්ලිය මීට මාස කිහිපයකට පෙර ‘සංඥා කර’ තිබුණු බවත් ශ්‍රී  ලංකා රජයේ ප්‍රකාශකයෙක් පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම වසර අගදී ජපානය, චීනය සහ ඇතැම් විට දකුණු කොරියාව සමඟ ශ්‍රී  ලංකාව පැවැත්වීමට සැලසුම් කර ඇති පරිත්‍යාගශීලීන්ගේ සමුළුවට ඉන්දියාවට ආරාධනා කරන බව එම මූලාශ්‍රය ප්‍රකාශ කර තිබේ.

තවත් ශ්‍රී  ලංකා රජයේ මූලාශ්‍රයක් ප්‍රකාශ කර ඇත්තේ ඩොලර් බිලියනයක හුවමාරු ගිවිසුමක් සඳහා ඉන්දියාව හා ශ්‍රී  ලංකාව අතර සාකච්ඡා සහ මැයි මාසයේදී කරන ලද ඉන්ධන මිලදී ගැනීම සඳහා දෙවැනි ඩොලර් මිලියන 500ක ණය මාර්ගයක් සඳහා වූ ඉල්ලීම සුළු ප්‍රගතියක් ලබා ඇති බවය. ඉන්දියාවේ මුදල් අමාත්‍යාංශය, ශ්‍රී  ලංකාවේ මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී  ලංකා මහ බැංකුව මේ පිළිබඳව අදහස් දැක්වීම සඳහා වූ ඉල්ලීම්වලට ක්ෂණිකව ප්‍රතිචාර නොදැක්වූ බවද රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර ඇත.

ශ්‍රී  ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැප්තැම්බර් මස මුලදී ඩොලර් බිලියන 2.9ක ණයක් ලබාගැනීම සඳහා මූලික ගිවිසුමකට එළැඹි අතර එය නිල ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගැනීම සහ පෞද්ගලික ණය හිමියන් සමඟ කෙරෙන සාකච්ඡා මත රඳා පවතී.

“අපගේ අවධානය වැඩි වශයෙන් යොමු වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙන යෑමට සහ අප විසින්ම මෙම අවුලෙන් ගොඩ ඒමටයි” යනුවෙන් මෙරට මූලාශ්‍රයක් පැවැසූ බව රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

තාරක සම්මාන්