ලංකාවට එරෙහිව ජාත්‍යන්තර සංවිධාන 4ක් එක්සත් ජාතීන් හමුවට

0
41

ශ්‍රී  ලංකාව තුළ බරපතළ මානව හිමිකම් උල්ලංඝනයවීම් සිදුවන බැවින් ශ්‍රී  ලංකාව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිට කටයුතු කරන ලෙස ජාත්‍යන්තර සංවිධාන හතරක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, හියුමන් රයිට් වොච්, ෆෝරම් ඒෂියා හා ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම ඇතුළු ජාත්‍යන්තර සංවිධාන හතරක් මානව හිමිකම් කවුන්සිලය වෙත ලිපියක් යොමු කරමින් එම ඉල්ලීම කර ඇත.

ශ්‍රී  ලංකාව මේ වන විට ඉතිහාසයේ දැවැන්තම ආර්ථික, දේශපාලනික අර්බුදයට මුහුණදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඇතිවූ ජනතා විරෝධය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූ බවත් එම ලිපියෙන් පෙන්වාදී තිබේ.

ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසුව ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගත් රනිල් වික්‍රමසිංහ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව රැස්වීමේ  අයිතිය යටපත් කරමින් විවිධ මර්දනකාරී හා පීඩාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින බවද එම සංවිධාන යොමුකර ඇති ලිපියේ සඳහන්ය.

සාමාන්‍ය ජනතාව මර්දනයට යොදා ගන්නා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දනකාරී නීති වහාම අත්හිටුවන ලෙස ශ්‍රී  ලංකා රජයට දැනුම් දෙන ලෙසද එම සංවිධාන හතර සිය ලිපිය මඟින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

කුමුදු උපුල් ශාන්ත