යාගොඩදී ස්ටේෂන් එකටම ඇදී ගිය කාරය

0
26

ගම්පහ, යාගොඩ දුම්රිය හරස් මාර්ගයේදී නුවර – කොළඹ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුවී තිබේ. දුම්රිය ගේට්ටුව වසා තිබියදී ඊයේ (15දා) පස්වරුවේ අදාළ මෝටර් රථය දුම්රිය මාර්ගය හරහා පදවා ඇති බව ගණේමුල්ල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

එම අනතුරින් මෝටර් රථයේ රියැදුරු මියගොස් ඇතැයි පොලිසිය පැවැසීය. එලෙස මියගොස් ඇත්තේ ගම්පහ, ඉහළ යාගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.

දුම්රියේ ගැටුණු මෝටර් රථය යාගොඩ දුම්රිය ස්ථානය තුළට දුම්රියත් සමඟ ඇදී පැමිණ ඇති අතර එය යාගොඩ දුම්රිය ස්ථානයේ දුම්රියත්, වේදිකාවත් අතර සිරවී ඇති අයුරු දැකගත හැකි විය.

දුම්රිය හරස් මාර්ගය, යාගොඩ දුම්රිය ස්ථානය අසලම පිහිටා ඇති බව පොලිසිය පවසයි. අනතුරින් මෝටර් රථයට අලාභහානි සිදුවී ඇති අතර අපරික්‍ෂාකාරී ලෙස මෝටර් රථය දුම්රිය මාර්ගයට ඇතුළු කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පැවැසීය.

ඒ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ පහළ දුම්රියවල යම් ප්‍රමාදයක් සිදුව ඇති අතර පසුව දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්ව ඇත.

තාරක සම්මාන්