මිහින්තලා පුදබිමෙහි සූර්ය පැනල දෙකක් සොරකම් කිරීමේ සිද්ධියේ ස්ථාන භාර නිලධාරි හා මුරකරුවකු රිමාන්ඩ්

0
16

මිහින්තලේ පුදබිමෙහි රාජගිරි ලෙන පිහිටි පුරාවිද්‍යා රක්ෂිතයේ විදුලි පහන් කණු දෙකක සවිකර තිබූ සූර්ය පැනල දෙකක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ මිහින්තලේ පුරාවිද්‍යා කලාප කාර්යාලයේ ස්ථාන භාර නිලධාරියා සහ මුරකරුවකු මේ මස 21 වැනි දින දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මිහින්තලේ පොලිසියට තවදුරටත් නියෝග කළේය. මෙසේ රිමාන්ඩ් කළේ ගල්ගමුව පාර මහනාන්නේරිය පදිංචිකරුවකු වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මිහින්තලේ කලාප කාර්යාලයේ ස්ථානභාර නිලධාරි ආර්.එම්. මංජුල බණ්ඩාර රත්නායක සහ මුරකරුවකු වන අනුර සංදීප යන සැකකරුවන්ය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මිහින්තලේ පොලිසිය සඳහන් කළේ මීට මාස කිහිපයකට පෙර මිහින්තලේ පුදබිමෙහි රාජගිරි ලෙස ප්‍රදේශයෙහි පිහිටි රක්ෂිතය අලෝකවත් කිරීම සඳහා විදුලි පහන් කණු දෙකක සූර්ය පැනල දෙකක් සවිකර ඇති බවයි. එලෙස සවිකර තිබූ සූර්ය පැනල දෙක යම්කිසි පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් සොරකම් කරගෙන ගොස් ඇති බවට මිහින්තලේ පොලිසියට පැමිණිල්ලක් ලැබුණු බවද අධිකරණයට කියා සිටි පොලිසිය ඒ අනුව මූලික විමර්ශන මෙහෙයවා මෙම සොරකමට සම්බන්ධ බවට සැකපිට පළමුව මිහින්තලේ පුරාවිද්‍යා කලාප කාර්යාලයේ මුරකරුවකු අත්අඩංගුවට ගත් බවද කීවේය.

එම මුරකරුගෙන් දීර්ඝව කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම සොරකමට මිහින්තලේ පුරාවිද්‍යා කලාප කාර්යාලයේ ස්ථාන භාර නිලධාරියා ආධාර අනුබල දී ඇති බවට කරුණු අනාවරණ වූ බවත් ඒ අනුව මිහින්තලේ පුරාවිද්‍යා කලාප කාර්යාලයේ ස්ථාන භාර නිලධාරියාද අත්අඩංගුවට ගත් බවත් අධිකරණයට අවධාරණය කළ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන තවමත් අවසන්ව නැති නිසා සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසද අයැද සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයට කියා සිටියේ සූර්ය පැනල දෙකක් සොරකම් කළ බවට සැකකරුවන්ට එරෙහිව පොලිසිය එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. ඒ අනුව ඕනෑම ඇප කොන්දේසියක් මත සැකකරුවන් මුදාහරින ලෙසද නීතිඥයෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ උපදෙස් මත සැරයන් හේරත් (38875) මහතා පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් ජේ‍යෂ්ඨ නීතිඥවරුන් වන සජීව ගුණරත්න සහ චන්දන වීරකෝන් යන මහත්වරු පෙනී සිටියහ.

අනුරාධපුර කොට්ඨාස භාර

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතාගේ අධීක්ෂණය යටතේ මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපතිගේ මෙහෙයවීම මත මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරයි.  

අනුරාධපුර _ ආනන්ද කරුණාදාස