මානව හිමිකම් කෙවිටක් කර ගැනීම

0
56

ශ්‍රී  ලංකාව සකලවිධ අර්බුදවල මුදුන් හිණිපෙත්තටම නැඟ සිටින මොහොතකි මේ. මේ දිනවල ජිනීවාහි රැස්වෙමින් තිබෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 2022 සැසියද මේ තිබෙන අර්බුද මැද්දට තවත් අලුත් අර්බුද තත්ත්වයක් එකතු කරමින් සිටින බව පෙනෙයි. ඇමරිකාව, කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, මලාවි, මොන්ටිනිගේ‍රා් සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් හත එකතු වී ශ්‍රී  ලංකාවට එරෙහිව අලුත් යෝජනාවක් ගෙනැවිත් තිබේ.

නව යෝජනාව ඉදිරිපත් කොට තිබෙන්නේ ශ්‍රී  ලංකාව සම්බන්ධයෙන් මීට පෙර මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ 46/1 යෝජනාවෙහි තිබූ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කරලීම යන තේමාවම මුල්කරගෙනය. මෙම යෝජනාවට අදාළ මූලික කෙටුම්පත පෙරේදා අවශ්‍ය සංශෝධන සඳහා ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට ඇත.

පළමුවැනි ලෝක යුද්ධයෙන් මිනිස් ජීවිත මිලියන 22ක් පමණද, දෙවැනි ලෝක යුද්ධයෙන් මිනිස් ජීවිත මිලියන අසූවක් පමණද ලොවට අහිමිව ගියේය. මෙබඳු ඛේදජනක තත්ත්වයකට යළි ලෝකය තුළ ඉඩ නොතැබිය යුතු බවට වූ අභිමතාර්ථය පෙරදැරිකොට ගෙන රටවල් අතර මෙන්ම ජාතීන් අතර සාමය, සංහිඳියාව, ආරක්ෂාව හා සමානාත්මතාව ස්ථාපනය කිරීමේ අපේක්ෂාව ඇතිව, 1945 වර්ෂයේදී සැන්ෆ්‍රැන්සිස්කෝ නුවරදී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්මත කර ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ප්‍රධාන ආයතන 6ක් ස්ථාපනය කරගත් අතර එහි ආර්ථික හා සාමාජීය මණ්ඩලය යටතේ පිහිටුවාගත් ප්‍රමුඛ අනු සංවිධානයක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සැලකෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193කි. මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47කි. ශ්‍රී  ලංකාවට එරෙහිව මුලින් යෝජනා ඉදිරිපත් කරද්දී ඊට රටවල් 40ක්ම සම අනුග්‍රාහකයන් වී සිටීම බරපතළ ගැටලුවක්ව තිබිණි. ශ්‍රී  ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමේදී 2009 වර්ෂයේ සිටියේ රටවල් 12කි. රටවල් 29ක්ම අප රටට පක්ෂව සිටියේය. එහෙත් 2021 වර්ෂයේදී රටවල් 11ක් පක්ෂ වන විට රටවල් 22ක්ම විරුද්ධව සිටියේය. සෙසු රටවල් 14 ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. ප්‍රථම වතාවට අප කලාපයේ බලවතා වූ ඉන්දියාවද එම වැළකී සිටීමේ පිළිවෙත අනුගමනය කිරීම බරපතළ ගැටලුවකි.

මෙවර සැසියේ තීරණ අප රටට වඩාත් වැදගත් වන්නේ වර්තමානයේ ආර්ථික අර්බුදයට අමතරව බරපතළ දේශපාලන අර්බුදයකටද මෙරට මැදිව සිටින හෙයිනි. ජනතා ඡන්දයෙන් නොව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ බහුතර ඡන්දයෙන් තෝරා පත් කරගෙන සිටින විධායක ජනාධිපතිවරයෙකි අද මේ රටේ මුල් පුරවැසියා හා සේනාධිනායක වී සිටින්නේ. කැබිනට් මණ්ඩලයේ හා රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් වැඩි පිරිසක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව නියෝජනය කළ උදවියයි. අලුත් අමාත්‍යවරුන්ට අලුත් වැඩපිළිවෙළක් ගැන සිතන්නට හැකිකම තිබුණත්, සෙසු බොහෝදෙනා තවමත් සාම්ප්‍රදායික පරිධියෙහි සිරවී සල්ලි නැතිව වැඩ කරන්නේ කොහොම දැයි ප්‍රශ්න කරමින් සිටිති. එහෙත් රටේ මානව අයිතිය සුරැකීම මුදල් වැය වන කටයුත්තක් නොවන බව බොහෝදෙනාට අමතකය.

මෙරට රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියට ජාත්‍යන්තර මැදිහත්වීම අවශ්‍ය බවට මුල්ම ඇඟවීම කළේ මහින්ද රාජපක්ෂය. ඒ 1991 වර්ෂයේය. ඔහු එවකට විපක්ෂයේ මන්ත්‍රිවරයෙකි. උත්ප්‍රාස දනවන කාරණය වන්නේ ඔහු ජනපති වී තිස් අවුරුදු වාර්ගික යුද්ධයට විසඳුම් සොයන්නට ගිහින් ඔහුට හා ඔහුගේ ආණ්ඩුවේ ක්‍රියාධරයන් පිරිසකට යුද අපරාධ චෝදනා එල්ල වීමයි. එහෙත් අප අමතක නොකළ යුතු කරුණකි.

ඒ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් 2003 වර්ෂයේ රෝමයේ පැවැති සම්මේලනයේදී සම්මත කරගත් රෝම ප්‍රඥප්තියට එකඟ නොවී අස්සන් නොතැබීමයි. මේ දූරදර්ශී බුද්ධිමත් තීරණය ශ්‍රී  ලංකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවැරීම සම්බන්ධව විවාදයට තුඩුදෙන කරුණකි. තවත් කරුණකි. 2009 මැයි මාසයේදී යුද්ධය නිමා වී දින 4ක් ඇතුළත බෑන් කී මූන් ලංකාවට ආවේය. එවකට මෙරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ බෑන් කීන් මූන් සමඟ ගිවිසුමට එළැඹ සිටියේය.

ඒ යුද කටයුතු සම්බන්ධව ජාත්‍යන්තර යාන්ත්‍රණයකට කැමැත්ත ලබා දෙමිනි. එක අතකින් මේ ගිවිසුම ඉල්ලන් කෑමකි. මේ අප වරද්දාගත් තැන්ය. ජාත්‍යන්තර සම්බන්ධතා තහවුරු කර ගැනීමේදී වඩාත් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු මොහොතකි මේ. මෙරට පූර්ව පාලකයන් අතින් බොහෝ දේවල් වැරදී තිබේ.

කොහොමටත් අප හිතූ තරම් යකා කළු වුණේ නැත. 2015 වර්ෂයට පෙර රටේ කතාබහ ඇති වූයේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා එවකට කොටි සංවිධානයට එරෙහි යුද්ධයට නායකත්වය දුන් හමුදා ප්‍රධානීන් විදුලි පුටුවට ඇදගෙන යන්නට සූදානමක් ඇති බවටය. එහෙත් ඒවා හුදු සුරංගනා කතන්දරය. ඇතැම් විට දේශපාලන දහංගැටය.

ශ්‍රී  ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විස¼දාගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙමළ ඩයස්පෝරාවට විවෘත ආරාධනයක්ද කළේය. එහෙත් 2021 මාර්තු මස ශ්‍රී  ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් සම්මත කරගෙන තිබිණි. ඒ මානව හිමිකම් කඩවීම් සම්බන්ධව සාක්ෂි හා දත්ත එක්රැස් කිරීමේ අරමුණින් දත්ත බැංකුවක් පිහිටුවා ගැනීම ගැනය.

2014 වර්ෂයේදී එවකට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් ලෙස කටයුතු කළ නවනීදම් පිල්ලෙයි ශ්‍රී  ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ සොයා බැලීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක්ද පැවැත්වූ අයුරු අපට මතකය. 2015 වර්ෂයට පෙර අප රටට ජී.එස්.පී. සහනය අහිමි කර තිබිණි. එම තහනමද වර්තමාන ආර්ථික අර්බුදයට වක්‍රාකාරව බලනොපෑවා කියා කෙසේ කියන්නද? මේ යටගිය තොරතුරු සියල්ලෙන්ම එක් දෙයක් පැහැදිලිය. ශ්‍රී  ලාංකික අභිමානයට තර්ජන එල්ල කොට මේ රට යළිත් හීනදීනභාවයේ දේශයක් කරන්නට ජාත්‍යන්තර බලවේග සූදානම්ව සිටින බවය.

ජිනීවා යෝජනාවලට පක්ෂ – විපක්ෂ සියලුදෙනාම විරෝධය පළ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශගේ ඉල්ලීමය. ඔහු කියන්නේ ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට මානව හිමිකම් කෙවිටක් කර ගැනීම යුක්ති සහගත නොවන බවය.

මානව හිමිකම් සුරැකිය යුතුමය. ඒ සමඟම රටේ අභිමානයද ආරක්ෂා විය යුතුමය. ජාතියක් වශයෙන් නැඟී සිටීමට ආර්ථික ශක්තිය පමණක් නොව අදීන බවද ප්‍රතාපවත් බවද අවශ්‍ය වෙයි.