පෞද්ගලීකරණය ආර්ථික සංවර්ධනයේ හොඳම මාවත යැයි කීම රැවටීමක්

0
33

පෞද්ගලීකරණය තමයි ආර්ථිකය සංවර්ධනයේ දීප්තිමත්ම මාවත කියලා හුවා දැක්වීම අමූලික බොරුවක් බවත් එසේම පවතින  ආර්ථිකයත් දේශපාලනයත් තබාගනිමින් රටට ඉදිරි ගමනක් නැතැයි ‘විකුණන කතාවේ සඟවන ඇත්ත’ ජාතික ජන බලවේගයේ සම්මන්ත්‍රණයේදී ජාතික ජන බලවේගයේ නායක දිසානායක මහතා පැවැසීය. මෙම සම්මන්ත්‍රණය පෙරේදා (14දා) කොළඹ  පදනම් ආයතනයේදී පැවැත්විණි. අනුර දිසානායක මහතා එහිදී වැඩිදුරටත්  මෙසේද කීය.

“රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතුයි කියන මාතෘකාව අද අලුත් වටයකින් සාකච්ඡාවට ඇවිත් තිබෙනවා. තෙල් මිල, ගෑස් මිල ඉහළ යනකොට කෙනකුට දැනෙනවා මේ ආයතන තමයි අපිව විනාශ කරන්නේ කියලා. ඒ නිසා මේ ආයතන විකුණා දමන්න ඕනෑ යන අදහස යම් ප්‍රමාණයකට මතුවෙමින් තිබෙනවා. අපි පළමුව බැලුවොත් මේ ආණ්ඩුවට ලැබුණු ජනවරම මොකක්ද? හම්බන්තොට වරාය විකුණන වෙලාවේදී මහින්ද රාජපක්ෂ පවසා සිටියා,  “මෛත්‍රිපාල – රනිල් හවුල් ආණ්ඩුව විකුණන ඒවා ගන්නේ බලාගෙනයි. අපි ආවාම ඒවා ආපහු ගන්නවා. හම්බන්තොට වරාය නැවත පවරා ගන්නවා” කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී, පළමු සංචාරය ගියේ ඉන්දියාවට.

එහිදී ප්‍රකාශ කර සිටියා ‘හම්බන්තොට වරාය විකිණීම පිළිබඳ ගිවිසුම නැවත සමාලෝචනයට ලක්කරන බව’. රාජපක්ෂ ආණ්ඩුවේ ජනවරමේ සංයුතිය වුණේ රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමයි. ඒ ජනවරමට ප්‍රතිපක්ෂව සිටියේ රනිල් වික්‍රමසිංහ. රනිල්ගේ ජනවරමට ලැබුණේ ජාතික ලැයිස්තුවෙන් එකම මන්ත්‍රි ධුරයක් පමණයි. ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ නායක ලෙස ඉදිරිපත් වුවත් ඔහුව තෝරා ගැනුණේ නැහැ. මේ වන විට ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද රනිල්ගේ න්‍යාය පත්‍රය රාජපක්ෂ කඳවුරේ න්‍යාය පත්‍රය බවට පත්කර ගෙන තිබෙනවා. මේ විකිණීමේ කතාව එක් පැත්තකින් 2019දී සහ 2020දී ලැබුණු ජනවරමට පටහැනියි.

විජේපාල මෙන්ඩිස් ඇමැතිව සිටි කාලයේ 1987 පමණ අපේ පේෂකර්මාන්ත ශාලා විකුණා දැමුණා. ඔහුගෙන් තමයි රාජ්‍ය දේපළ විකිණීම ආරම්භ කළේ. එවිට රට තුළ අවශ්‍ය වෙන රෙදිවලින් විශාල පංගුවක් අපි නියෝජනය කරමින් තිබුණා. තුල්හිරි, මත්තේගොඩ, පූගොඩ, වේයන්ගොඩ රෙදි ජනපද තිබුණා. මත්තේගොඩ වැහුණා, පූගොඩ, වේයන්ගොඩ පාළුවට ගියා. ඊළඟ විකිණීම සිදුවුණේ වතුවලයි.

රාජ්‍ය වතු අත්හැරියා. අවසානයේ එහි ප්‍රතිඵලයක් ලෙස ඒවායේ වැඩ කරන සේවකයකුට රුපියල් 1,000ක වැටුපක් දෙන්න බැහැ කියනවා. ඒ පෞද්ගලීකරණයෙන් අත්පත් කරගත් දියුණුව කුමක්ද? එයින් ජනතාවට ලැබුණ ප්‍රතිලාභය කුමක්ද? ඇඹිලිපිටියේ කඩදාසි කම්හල පවත්වාගෙන යමින් තිබුණා. එය විකුණා දැමුණා. අද රට තුළ අභ්‍යාස පොත් නැති බවටත් ප්‍රශ්න පත්‍රයක්, පත්තරයක් මුද්‍රණය කර ගැනීම අසීරු බවටත් විශාල අඳෝනාවක් නැඟෙමින් තිබෙනවා. ඉන් ලැබූ ප්‍රතිඵලය කුමක්ද? කන්තලේ සහ හිඟුරාන සීනි කර්මාන්ත ශාලා විකුණුවා.

කන්තලේ අක්කර 23,000ක් හා පැළ තවාන අක්කර 3,000කට ආසන්නව තිබුණා. විකිණීමේ ප්‍රතිඵලයක් ලෙස විශාල භූමි ප්‍රමාණයක් පාළුවට ගොස් තිබෙනවා. හිඟුරාන සීනි කම්හල මෑතකදී ආරම්භ කළා. වැලිසර කිරිපිටි කර්මාන්ත ශාලාව විකුණුවා. තුනී ලෑලි සංස්ථාවක් තිබුණා. අද එයත් අපට අහිමි වෙලා තිබෙනවා. දංකොටුවේ පෝසිලේන්, පිළියන්දල පෝසිලේන් කර්මාන්ත ශාලා පාළුවට ගොස් තිබෙනවා.

පෞද්ගලීකරණය වෙනුවෙන් මාවතක් තිබෙන අය පළමුව කළ යුත්තේ පෞද්ගලීකරණය කරන ලද ආයතනවල ශේෂ පත්‍රයක් ඉදිරිපත් කිරීමයි. ඔවුන් ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමේ යහපත් බව නිතර ප්‍රකාශ කරනවා. ටෙලිකොම් පෞද්ගලීකරණයයි, තාක්ෂණයයි එකට දියුණු වුණේ.

එය තාක්ෂණ දියුණුවේ ප්‍රතිඵලයක් මිසක් පෞද්ගලීකරණයේ ප්‍රතිඵලයක් නොමෙයි. රාජ්‍ය ආයතන පමණක් තිබුණා නම් හොඳයි කියා අපි ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් මේ පෞද්ගලීකරණය තමයි ආර්ථිකය සංවර්ධනය කරන මාවතේ දීප්තිමත්ම මාවත ලෙස හුවා දක්වන්න උත්සාහ ගන්නවා. එය බොරුවක්.

ජනතාව පීඩාවට පත්වෙනකොට ඔවුන් තුළ මතයක් ගොඩනැඟෙනවා මේවා විකුණුවත් කමක් නැහැ කියලා. ඒ වගේම මතයක් ගොඩනැඟෙනවා රාජ්‍ය ආයතන අකාර්යක්ෂමයි, ඒ නිසා විකුණා දැමිය යුතුයි කියලා. අකාර්යක්ෂමභාවය අපත් පිළිගන්නවා. එහෙත් කළ යුත්තේ විකිණීමද? ඉඩම් නඩුවක් විසඳන්න වසර 20කට වඩා කාලයක් ගත වෙනවා. ඒ තර්කය අනුව අධිකරණ පද්ධතිය අකාර්යක්ෂමයි. පොලිසිය අකාර්යක්ෂමයි. රජයේ අනෙකුත් ආයතනත් අකාර්යක්ෂමයි. අකාර්යක්ෂම සියලුම ආයතන අපි විකුණා දැමිය යුතුද? මේ අකාර්යක්ෂමතාව තිබෙන්නේ ආයතන රජය සතුද, පෞද්ගලික අංශයේද යන්න මත නොවෙයි මෙතැන තිබෙන්නේ සමාජ ආර්ථික ගැටලුවක්. අප විසඳිය යුත්තේ එයයි.

මේ වන විට මහ බැංකුවත් පාඩුයි. පාඩු ලබන ආයතන විකුණා දැමිය යුතු නම් මේ ආයතනත් විකුණා දැමිය යුතුයි. නමුත් මේ විකුණා දමන්න සූදානම් වන්නේ පාඩු ලබන ආයතන පමණද? මේ වන විට ලාභ ලබමින් තිබෙන ටෙලිකොම් ආයතනයේ ආණ්ඩුව සතුව 51%ක් විකුණන්න යෝජනා කරනවා. ඊට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකිණීමට යෝජනා වෙලා. 2003 සිට 2021 දක්වා සෑම වසරකම ආණ්ඩුවට බදු ගෙවා තිබෙනවා. ඒ වගේම කොටස් හිමියන්ට ලාභාංශ ගෙවා තිබෙනවා. මේ අනුව බදු හා ලාභාංශ ලෙස මිලියන 3,200ක් භාණ්ඩාගාරයට ලැබී තිබෙනවා. එසේනම් මේ ලාභ ලබන ආයතන විකුණන්නේ ඇයි?

එයාර් ලංකා සමාගම සතුව එයාර් ලයින්, ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්, කේටරින් සේවාව යනුවෙන් ආයතන තුනක් තිබෙනවා. නිමල් සිරිපාල පසුගිය දිනවල කියා සිටියේ කේටරින් සේවාව විකිණිය යුතු බවයි. 2011 සිට 2021 දක්වා වසර 11ක ගිණුම් වාර්තාවලට අනුව 2020 හා 2021 හැරුණු විට අනෙකුත් සෑම වර්ෂයකම කේටරින් ලාභ ලබා තිබෙනවා.  

පාඩු ආයතන විකුණන්නේ නම් ලාභ ලබන කේටරින් වැනි ආයතන විකිණිය යුතු වන්නේ ඇයි.

එසේනම් මේ විකිණීම් කුමක් සඳහාද? එකක් ඔවුන් නියෝජනය කරන ආර්ථික උපායමාර්ගය ක්‍රියාවට නැංවීම සඳහායි. අනෙක් හේතුව ඩොලර් හිඟකමයි.

මේ මොහොතේ ඇති වී තිබෙන විදෙස් සංචිත හිඟය පියවා ගැනීම සඳහා විකිණීම සඳහා සූදානම් වෙනවා. තුන්වැනි හේතුව තමයි විකිණීම බිස්නස් එකක්.

එසේනම් දැන් අප කළ යුත්තේ මොකක්ද? ‍ෙදාඩම් ගොඩ බදාගත්තා වගේ සියල්ල ආණ්ඩුව බදාගත යුතුද? ආණ්ඩුව සමාජය පිළිබඳ වගකීම භාරගත යුතුයි. එක භාණ්ඩ හා සේවා සාධාරණ මිලකටත්, ගුණාත්මකභාවයෙනුත්, සුලබවත් ලබාදීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවටයි. ජනතාව වෙත ඇතිවන පීඩනයන් වෙළෙඳපොළේ සමහර ක්ෂේත්‍ර නියාමනය මඟින් අපට පාලනය කළ හැකියි. පාරිභෝගික අධිකාරිය, මහජන උපයෝගිතා කොමිසම නියාමන ආයතනයන්. තවත් සමහර ක්‍ෂේත්‍රවලට සමුපකාර ජාල මඟින් ක්‍රියාත්මක විය හැකියි.

සමුපකාර සංකල්පය වෙළෙඳපොළ හැසිරවීමේ ඉතා හොඳ පාලන ක්‍රමයක්.

ප්‍රධාන සහල් සැපයුම්කරුවන් වෙළෙඳපොළ සඳහා අවශ්‍ය සහල්වලින් සපයන්නේ 23%යි. 77%ක් තිබෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් අතේ. ප්‍රධාන සැපයුම්කරුවන් අඩු ප්‍රමාණයක් සැපයූවත්, ඔවුන්ට සහල් සහ වී වෙළෙඳපොළ හැසිරවීමට හැකියාව ලැබී තිබෙනවා.

අප කළ යුත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා ප්‍රාග්ධනය, තාක්ෂණය ලබාදී, සමිති ජාලයක් මඟින් සංවිධානය කරලා එක බ්‍රෑන්ඩ් එකකින්, එක කොලිටියකින්, අඛණ්ඩව වෙළෙඳපොළට සහල් එවීමට කටයුතු සලසා දීමයි. එවිට මේ අධිකාරිය බිඳින්න පුළුවන්.

තුන්වෙනුව නිදහස් වෙළෙඳපොළ ඇති කිරීමෙන් හා සිවුවෙනුව ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් මැදිහත් විය හැකියි. අපේ ජාතික ආර්ථික උපායමාර්ගයට අනුරූපීව ආණ්ඩුව හසුරුවනවා. රටේ ආර්ථික මර්මස්ථාන රජය සතු විය යුතුයි. රජය දේශපාලන මැදිහත්වීම කිරීම නතර කළ යුතුයි. අපි එය කරනවා. කරලත් තිබෙනවා. මම කෘෂිකර්ම ඇමැති අවධියේ ලක් පොහොර සභාපති ලෙස පත් කළේ දක්ෂ, පළපුරුද්ද සහිත ව්‍යාපාරික දැනුමක් ඇති දේශපාලනයෙන් තොර කෙනෙක්.

කොමර්ෂල් පොහොර එකේ, මිල්කෝ ආයතනයේ, කෘෂි රක්ෂණ මණ්ඩලයේ, ජල සම්පත් මණ්ඩලයේ, එන්.එල්.ඩී. ආයතනයේ සභාපතිවරුන් ලෙස පත්කළේ දේශපාලනයෙන් තොර දක්ෂ පුද්ගලයන්. මිල්කෝ ආයතනය ලාභ ලැබුවා පමණක් නොවෙයි, කිරි ලබාදුන් ගොවීන්ට පළමු වරට ලාභාංශ පවා ගෙව්වා. සේවක පඩි වැඩි කළා. මේ සෑම ආයතනයක්ම තිබුණාට වඩා කාර්යක්ෂමව පවත්වාගෙන ගියා.

මේ ආයතනවල දේශපාලන මැදිහත්වීම්වලින් ඉවත් කරන්න පියවර ගන්න ඕනෙ. ඊළඟට මේවායේ සිදුවන වංචා-දූෂණ ඉවත් කළ යුතුයි. විෂයයන් පිළිබඳ අවබෝධයක් සහිත තම දැනුම උපයෝගි කරගෙන අලුත් දෙයක් කළ හැකි අය සේවය සඳහා යොදවා ගන්නේ නම්, සේවකයා ඊට අනුරූපී ලෙස වැඩ කරනවා. එවිට වංචා – දූෂණ නවත්වන්න හැකියාව ලැබෙනවා. දැන් මේ ආයතන සේවකයන්ගෙන් පුරවලා.

විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවක සංඛ්‍යාව වැඩි වී ඇති අතර, අධ්‍යයන කාර්ය මණ්ඩලය අඩු වී තිබෙනවා. රාජ්‍ය සේවයේ පහළ සේවක සංඛ්‍යාව වැඩි කර තිබෙනවා. රාජ්‍ය සේවය කඩා වැටෙන්නේ එතැනින්. ආසියාවේ ඉතාමත් හොඳ රාජ්‍ය සේවයක් අප සතුව තිබුණා. එය සම්පූර්ණයෙන්ම විනාශ කළේ දේශපාලන මැදිහත්වීමෙනුයි.

ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙගාවොට් 500ක බලාගාරයක් අදානිට දීමට සූදානම් වෙනවා. අවුරුද්දකට ඩොලර් මිලියන 151ක්. මේ ගිවිසුම ගහන්නේ අවුරුදු 30කට. ඩොලර් බිලියන 4ක් අවුරුදු 30ක් ඇතුළත ඔහු ගෙනියනවා.

ආර්ථිකයටත්, ජනතාවටත් මේ විකිණීම බලපාන්නේ කෙසේද යන්න සොයා බැලීමටත් සේවක සංඛ්‍යාව කාර්යක්ෂම කරවීම සඳහාත් සමහර ව්‍යාපෘති පමාවීම වැළැක්වීම සඳහාත් ජනතා ඉල්ලීම් අඩාලවීම වැළැක්වීම සඳහාත් අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතුයි.

තෙල් සංස්ථාව තෙල් ගෙන්වනවා. පෞද්ගලික සමාගමක් ගබඩා කරනවා සහ බෙදාහැරීම කරනවා. මෙතැන පාඩුව සිදුවන්නේ කොතැනද? රජය තෙල් සහනාධාරයක් දීමට තීරණය කිරීමත් එහි බර තෙල් සංස්ථාවට පැටවීමෙන් තෙල් සංස්ථාව පාඩු ලබනවා. ජනතාවට සහනාධාර දිය යුතුයි. එහි බර භාණ්ඩාගාරය දැරිය යුතුයි. රජයේ ආයතන තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය නොගෙවා තිබීමත් පාඩුවක්ව තිබෙනවා.

මේ ආයතන නිසි කළමනාකරණයක් නොවීමත්, සේවක සංඛ්‍යාව වැඩිවීමත් දේශපාලන අත පෙවීමත් මේ පාඩුවට හේතු වී තිබෙනවා. පිරිපහදුව ආරම්භ කළේ 1969දීයි. නිසි කළමනාකරණයක් නොමැති වීමෙන් එය පාඩු ලබන තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

  ආර්ථිකයේ මර්මස්ථාන නියාමනය කර පවත්වාගෙන යා නොහැකියි. බලශක්ති ක්‍ෂේත්‍රය මූල්‍ය වෙළෙඳපොළ තරගකාරිත්වය හා මූල්‍ය වෙළෙඳපොළ රජය පාලනය කළ යුතුයි. බහුජාතික සමාගම් කිහිපයකට රටේ ආර්ථික තීරණ ගැනීමේ බලයත්, මූල්‍ය තීරණය ගැනීමේ බලයත්, දේශපාලන තීරණ ගැනීමේ බලයත් ආණ්ඩුව හැසිරවීමේ බලයත් ලබාදීමේ සැලසුමක් සකස් වෙමින් තිබෙනවා.  අප එය පරාජය කළ යුතුයි.

වත්මන් ආර්ථික ප්‍රතිපත්ති තබාගෙන රටක් ගොඩනැංවිය නොහැකියි. පවතින ආර්ථික උපායමාර්ගත් මේ දේශපාලන ගමන්මඟත් තබාගෙන තවදුරටත් ඉදිරියට යා නොහැකියි. මේ ගමන් මඟ වෙනස් කළ යුතුයි.

අනුරාධා හේරත්