නුවරඑළියේ එළවළු – මල්- පලතුරු කොළඹට එවන්න විශේෂ ව්‍යාපෘතියක්

0
28

ජනාධිපතිති රනිල් වික්‍රමසිංහ විසින් ඉකුත් අගෝස්තු 30දා නව රජයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කරනු ලැබූ අතුරු අය-වැය තුළින් මුදල් වෙන් කෙරූ යෝජනාවක් වන උඩරට එළවළු, පලතුරු සහ මල් දුම්රිය හරහා නානුඔය සිට කොළඹ කොටුව දක්වා ප්‍රවාහනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කිරීමේ මූලික සාකච්ඡාවක් පසුගිය 14දා පස්වරුවේ නානුඔය දුම්රිය ස්ථානයේදී පැවැත්විණි. මෙම ව්‍යාපෘති සැලසුම් සාකච්ඡාව හා

ක්ෂේත්‍ර නිරීක්ෂණය දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) වජිර සමන් පොල්වත්තගේ, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් සහ සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි, නානුඔය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක වීරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා පෞද්ගලික අංශ කිහිපයක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී නුවරඑළිය, කඳපොළ, රාගල හා නානුඔය දුම්රිය ස්ථානයට යාබද ප්‍රදේශවලින් දුම්රිය ස්ථානය වෙත එළවළු ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයන්, එළවළු දුම්රිය ස්ථානය වෙත බාගැනීම හා නැවත දුම්රිය වෙත ආරක්ෂාකාරීව පැටවීම සිදු කළ යුතු ආකාරයන්, එළවළු ඇසුරුම් කළ යුතු පිළිවෙළ, ව්‍යාපෘතිය සඳහා අතිරික්ත සේවක මණ්ඩලයක් යොදාගත යුතු අවස්ථාවන්, කාලය කළමනාකරණය කරගනිමින් නියමිත වේලාවට එළවළු තොග ලබාගැනීමට හා බෙදාහැරීමට කටයුතු කළ යුතු ආකාරය, එළවළු රැගෙන එන ලොරි රථ ගාල් කිරීම සඳහා රථ වාහන අංගණයක් සකස් කිරීම, එළවළු ආරක්ෂාකාරීව තබා ගැනීමට අවශ්‍ය ස්ථානයක් දුම්රිය ස්ථානය තුළ සකස් කිරීම, වැඩවර්ජන හා හදිසි ආපදා තත්ත්වයකදී අනුගමනය කළ යුතු විකල්ප ක්‍රියාමාර්ග හා හැකි විගසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් ගොවියන්ට හා ව්‍යපාරිකයන්ට වාහනය සඳහා වැය වන මුදලින් 50%ක දක්වා මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනවා සමඟම මෙම ක්‍රමවේදය ඔස්සේ එළවළු ප්‍රවාහනය කිරීමේදී කිසිදු නාස්තියකින් තොරව නානුඔය දුම්රිය ස්ථානයෙන් පටවන එළවළු කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් සියට සියයක් සුරක්ෂිතව පාරිභෝගිකයන් හා ව්‍යාපාරිකයන් අතට පත්කර ගැනීමට හැකිවීම පාරිභෝගිකයන්ට සහන මිලට එළවළු ලබා ගැනීමට හැකි වීම මෙම ව්‍යාපෘතියේ වටිනා ප්‍රතිලාභයක් බව එහිදී දුම්රිය සාමාන්‍යාධිකාරි කුමාර ගුරුසිංහ ප්‍රකාශ කළේය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපතිවරයා වශයෙන් ඉකුත් දිනක පැවැති සාකච්ඡාවකදී තමන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යෝජනාවක් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම බෙහෙවින් වටිනා බව කාලෝචිත ක්‍රියාවක් බවයි.

එම යෝජනාවලියට අයත් නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා සෑම දුම්රිය ස්ථානයකම එළවළු අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ කටයුත්තද ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කිරීමට ශ්‍රී  ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවත් සමඟ එක්ව අවශ්‍ය සැලසුම් සකස් කරන බවයි.

නොර්වුඩ් _ නීටා පත්ම කුමාරි