නව තරග වාර්තා ගණන 06ක් දක්වා ඉහළ යයි

0
10

90 වැනි ශ්‍රී මත් ජෝන් ටාබට් ජේ‍යෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය මෙවර තවත් උණුසුම් කරමින් ඊයේ (15දා) දිනය වන විට නව තරග වාර්තා 06ක් බිහිවීම කැපී පෙනිණි.

රිට්ස්බරි අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ඊයේ පැවැති අවුරුදු 16න් පහළ බාලක ඉසව්වෙන් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ටී. මෙන්ඩිස් එම ඉසව්වේ පැරණි වාරතාව වූ මීටර් 1.95 බිඳ දමමින් මෙවර මීටර් 1.96ක උසක් සටහන් කරද්දී අවුරුදු 20න් පහළ බාලක මීටර් 400 කඩුලු ඉසව්වෙන් නව තරග වාර්තාවක් ද බිහිවිය. එහිදී එම ඉසව්වේ පැරණි වාර්තාව වූ තත්ත්පර 52.69ක කාලය අඹගමුව මධ්‍ය විදුහලේ කේ.එම්.ඩී. දර්ශන විසින් මෙවර අලුත් කර තිබුණේ තත්ත්පර 52.25 ලෙසින් වීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් ඊයේ දිනයේ පැවැති බාලිකා ඉසව් අතරින් අවුරුදු 18න් පහළ දුර පැනීමේ ඉසව්ව බොහෝ දෙනෙකු අතර වඩාත් අවධානයට ලක්ව තිබූ අතර එහිදී බිබිල නන්නපුරාව විදුහලේ මධුෂානි හේරත් මීටර් 6.09ක දුරක් සටහන් කරමින් පැරණි වාර්තාව වූ මීටර් 6.02ක කඩයිම ඉක්මවා ගියාය.

එසේම අවුරුදු 16න් පහළ බාලිකා රිටි පැනීමේ ඉසව්වද වඩාත් තරගකාරී බවක් ඉසිලූ අතර එහිදී එම ඉසව්වේ පැරණි වාර්තාව බිඳ දැමීමට හා සම කිරීමට ක්‍රීඩිකාවන් දෙදෙනකු සමත් වී තිබිණි. ඒ අනුව එම ඉසව්වේ පැරණි වාර්තාව වූ මීටර් 2.30ක උස ප්‍රමාණය මීටර් 3.00ක් දක්වා වැඩි දියුණු කිරීමට චාවකච්චේරි හින්දු විදුහලේ පී. අභිසලිනි සමත් වෙද්දී දෙවැනි ස්ථානය දිනූ මීගමුව අවේ මරියා කන්‍යාරාමයේ ඩී. ප්‍රනාන්දු මීටර් 2.30ක දුරක් තරණය කළාය.

ඊයේ දිනයේදී පිහිටු වූ නව තරග වාර්තා –

1              අවුරුදු 16න් පහළ බාලක උස පැනීම – ටී. මෙන්ඩිස්

                (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) මීටර් 1.96

2              අවුරුදු 20න් පහළ බාලක මීටර් 400 කඩුලු –

                කේ.එම්.ඩී. දර්ශන (අඹගමුව මධ්‍ය විදුහල)

                තත්. 52.25

3              අවුරුදු 18න් පහළ බාලිකා දුර පැනීම –

                මධුෂානි හේරත් (නන්නපුරාව විදුහල)

                මීටර් 6.09

4              අවුරුදු 16න් පහළ බාලිකා රිටි පැනීම –

                පී. අභිසලිනි

                (චාවකච්චේරි හින්දු විදුහල) මීටර් 3.00

විචිත්‍ර වීරසිංහ