ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න: මහජන පෙත්සමක් රට වටේ යයි

0
15

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරන ලෙස ඉල්ලා දීප ව්‍යාප්ත ජනතාවගෙන් අස්සන් ලබාගැනීමේ ජංගම වැඩසටහනක් උතුරු පළාතේ මේ දිනවල ආරම්භ කර ජනතාවගෙන් අස්සන් ලබාගැනීම සිදුකරමින් සිටිති.

යාපනය නගරයෙන් ආරම්භ කරන ලද මෙම අස්සන් වැඩසටහන ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ තරුණ පෙරමුණ, සර්ව ජන යුක්ති සංවිධානය එක්ව සංවිධානය කොට ඇති අතර අස්සන් ලබාගැනීමේ ආරම්භක අවස්ථාව වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරුසු පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම්, ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, ඊ. සර්වනභවන් ඇතුළු හිටපු පළාත් සභා මැති ඇමැතිවරු රැසක්ද සහභාගි වූහ.

යාපනයෙන් ආරම්භ කරන ලද දීපව්‍යාප්ත ජංගම විරෝධතාව මේ වනවිට මන්නාරම් දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් අස්සන් ලබාගැනීමේ කටයුතු සිදුකරන අතර ඉදිරියේදී ලංකාවේ සියලුම නගර ආවරණය වන පරිදි මෙම අස්සන් ලබාගැනීම සිදුකරන බවට සංවිධායකයෝ පවසති.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම ඉවත් කරගන්නා ලෙසට රජයට බලකරමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ජංගම වැඩසටහන මඟින් ඉදිරියේදී පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසියේ අවධානය යොමු කරවීමටද පියවර ගෙන ඇත.

මුලතිව් – ශෂිකුමාර්