ජේ.ආර්. නම් ඔහු…

0
32

විධායක ජනාධිපති ක්‍රමය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූයේ එවකට අගමැති ධුරය හෙබවූ එක්සත් ජාතික පක්ෂයේ නායක  ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාය. නිදහසින් පසු මෙරට නව දේශපාලනික, ආර්ථික, සමාජීය, අධ්‍යාපනික දිශානතියකට යොමු කිරීම තම ඒකායන පරමාර්ථය වශයෙන් ගෙන සිය රාජ්‍ය පාලනය ඉදිරියට ගෙනගිය මෙතුමා ජන්ම ලාභය ලැබ වසර 116ක් (හෙට) සැප්තැම්බර් 17 වැනි දිනට සම්පූර්ණ වේ.

කොළඔ අධිකරණයේ සේවය කළ නීතිඥයන් අතර ඉතා දක්ෂයකු වූ ජේම්ස් ඇල්ප්‍රඩ් ජයවර්ධන මහතා ජීවත්ව සිටියේ ඉතා කෙටි කාලයකි. වසර 44ක් සපිරෙද්දී ඔහු මියගියේ දරුවන් හය දෙනකුගේ පියකු වශයෙනි. දරුවන් හය දෙනාගෙන් පස් දෙනකුම පියා මෙන් නීතිඥ වෘත්තියට පිවිසියේ කීර්තිමත් නීතිඥ පවුලක සාමාජිකයන් ලෙසිනි.

මෙම දරුවන් සය දෙනා අතරින් දෙවැන්නා වූයේ නීතිඥයකු වශයෙන් සේවය කර පසුව විනිසුරුවරයකු වූ ඉයුජින් විල්ප්‍රඩ් ජයවර්ධන හෙවත් ඊ.ඩබ්ලිව්. ජයවර්ධන මහතාය. මෙතුමා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පසුව නීතිඥයකු වී විවාහ දිවියට පත්වූයේ එකල අප රටේ ධනවතකු හා දෑහිතකාමියකු වූ කොළඹ සේදවත්තේ වලව්වේ විසූ ‍ෙදාන් පිලිප් විජේවර්ධන මුදලිතුමාගේ දෙටු දියණිය වූ හෙලන් ඇග්නස් විජේවර්ධන මෙනෙවිය සමඟය. මෙම දෙපළට දරුවන් එකොළොස් දෙනකු විය. එම දරුවන් අතර වැඩිමහල් දරුවා උපන්නේ 1906 සැප්තැම්බර් 17 වැනිදාය. ඔහු නමින් ජුනියස් රිචඩ් ජයවර්ධන විය. නම එසේ වුවත් මුළු ලෝකයක් ඔහු හ¾දුන්වන්නේ ජේ.ආර්. ජයවර්ධන යන නාමයෙනි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය අරඹා ශ්‍රී  ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව  මීට වසර 90කට පෙර 1932 වර්ෂයේදී නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දී නීති වෘත්තියට යොමු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා දේශපාලනයට යොමු වූයේ 1943 වසරේ කැලණිය පැවැති අතුරු මැතිවරණයට ඉදිරිපත් වීමත් සමඟය.

නීති විදුහලේ ඉගෙන ගන්නා සමයේ සිටම ජේ.ආර්. අධිරාජ්‍ය විරෝධියකු විය. ඒ බව හොඳින් පසක් වන්නේ ඉංග්‍රීසි අධිරාජ්‍යයට එරෙහිව මහා අහිංසාවාදී සටනක යෙදෙන මහත්මා ගාන්ධිතුමාගේ සේයාරුවක් නීති විද්‍යාලයේ විවෘත කිරීමට ජේ.ආර්. ජයවර්ධන මහතා නීති සිසුවකු වශයෙන් ගත් ඓතිහාසික පියවර නිසාය.

දිනෙන් දින බුද්ධියෙන් දැනුමෙන් මුහුකුරා ගිය තරුණ ජේ.ආර්. සිය ජීවිතය ගත කළේ කිතු දහමට අනුවය. තම මෑණියන්ගේ සොහොයුරු වෝල්ටර් විජේවර්ධන මහතා ජේ.ආර්ට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දෙන ඥාතියකු විය. මෙතුමා ජේ.ආර්. වූ තම බෑනණුවන්ට උපදෙස් දුන්නේ බුදු දහමත් සිංහල භාෂාවත් ඉගෙන ගන්නා ලෙසය.

ඒ  අනුව ජයවර්ධන මහතා තම මාමාගේ උපදෙස් අනුව වජිරාරාමාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය පැලෑනේ ශ්‍රී  වජිරඤාණ මාහිමියන් හා වජිරාරාමවාසී නාරද මාහිමියන්ගෙන් බුදු දහමට නැඹුරු විය. පසුව බුදු දහම වැලඳගත් තරුණ ජේ.ආර්. ජයවර්ධන මහතා ඉන්දියානු නිදහස් සටනේ නායකයාණන් වූ මහත්මා ගාන්ධිතුමාගේ අහිංසාවාදී දර්ශනයෙන්ද සිය ජීවිතයට මනා උත්තේජනයක් ලබා ගනිමින් සිය ජාතික, ආගමික, දේශපාලනික ගමන්මඟ සකසා ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1938 වසරේදී ලංකා ජාතික සංගමයේ සාමාජිකත්වය ලබාගත් මෙතුමා පසුව ඩඩ්ලි සේනානායක මහතා සමඟ එම සංගමයේ සම ලේකම් පදවිය දැරීය.

කැලණිය ඡන්ද කොට්ඨාසයේ මන්ත්‍රිවරයා වූ ශ්‍රී මත් බාරොන් ජයතිලක මහතා 1942දී දේශපාලනයෙන් සමුගැනීමත් සමඟ කැලණිය අතුරු මැතිවරණයට තරුණ ජේ.ආර්. ජයවර්ධන මහතා ඉදිරිපත් වූයේ එවකට ලංකාවේ සිටි සුවිශේෂී දේශපාලන නායකයකුට එරෙහිවය. ඔහු නමින් කෝට්ටේ සිංහයා යැයි විරුදාවලිය ලත් රාජනීතිඥ ඊ.ඩබ්. පෙරේරා මහතාය. 1943 වසරේ අප්‍රේල් 17 වැනි දින පැවැති මෙම අතුරු මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කැලණිය මන්ත්‍රිවරයා වශයෙන් පත්වූ ජයවර්ධන මහතා දේශපාලනයේ යෙදුණේ ක්‍රියාකාරී මන්ත්‍රිවරයකු වශයෙනි.

එතැන් සිට රටපුරාම ඔහු ජනප්‍රිය වන්නට විය. ලංකා ජාතික සංගමයේ මෙහෙයවීමෙන් රටේ අනෙකුත් දේශපාලන සංවිධාන එක්වී 1946 වසරේදී එක්සත් ජාතික පක්ෂය පිහිටුවන ලද අවස්ථාවේදී එම නව පක්ෂයේ සම භාණ්ඩාගාරික පදවියට පත්වූ ජයවර්ධන මහතා 1947 වසරේ පිහිටුවන ලද එක්සත් ජාතික පක්ෂ රජයේ මුදල් ඇමැතිවරයා බවට පත්වී ලංකාවේ ප්‍රථම මුදල් ඇමැතිවරයා ලෙසද ඉතිහාසයට එක් විය.

1943 සිට වසර 13ක් මැතිසබය නියෝජනය කළ ජයවර්ධන මහතාට පරාජයේ නීරස විඳින්නට සිදුවූයේ 1956 මහ මැතිවරණයේදී කැලණියේ අසුනෙන් පරාජය වීමත් සමඟය. එක්සත් ජාතික පක්ෂයේ මිනී පෙට්ටියට අන්තිම ඇණයත් ගැසුවා යැයි කියමින් ජයග්‍රාහකයෝ කිරිබත් කමින් සිටියදී ඇතැම් එක්සත් ජාතික පක්ෂ නායකයෝ දේශපාලනයෙන් ද සමුගෙන විදේශ රටවලට පදිංචියට යමින් සිටියදී ජේ.ආර්. ජයවර්ධන මහතා පැමිණියේ වසා දමා තිබූ පක්ෂ මූලස්ථානය වූ සිරිකොතටය. යළි පක්ෂ මූලස්ථානයේ ‍ෙදාර ජනෙල් ඇර මකුළු දැල් කඩා පරිසරය පිරිසුදු කර එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු යළි ආරම්භ කිරීමට ජයවර්ධන මහතා මුල්විය. 

බොහෝදෙනා එවිට ජේ.ආර්.ට පිස්සු යැයි කියා විහිළු කළහ. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නව මෙහෙයුමට ආර්. ප්‍රේමදාස, ජිනදාස නියතපාල, ආනන්ද තිස්ස ද අල්විස්, ජේ.ආර්.පී. සූරියප්පෙරුම ආදී තරුණ නායකයන් රාශියක් එකතු වූහ. ඇම්.ඩී. බණ්ඩා, විජයපාල මෙන්ඩිස්, පාරිස් පෙරේරා, වී.ඒ. සුගතදාස, ඊ.ඇල්.බී. හුරුල්ල, ඊ.ඇල්. සේනානායක ආදීහු ජේ.ආර්. ජයවර්ධන මහතා සමඟ ඉදිරි ගමනට සූදානම් වූහ. පළමුවෙන් පැමිණියේ කොළඔ නගර සභා මැතිවරණයයි.

මෙම මැතිවරණයට ජේ.ආර්. ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයෙන් කණ්ඩායමක් ඉදිරිපත් කළේ දෙගිඩියාවෙනි.  බණ්ඩාරනායක රජයේ සියලු පැතුම් බොඳකරමින් කොළඹ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය. එය මියගියා යැයි පැවැසූ එක්සත් ජාතික පක්ෂයට නැවත පණ එමක් බ¾දුවිය.

1959 සිදුවූ බණ්ඩාරනායක මහතාගේ ඝාතනය වන විට  රජය මහජන අප්‍රසාදයට පත්වී තිබිණි. යළි එක්සත් ජාතික පක්ෂ රජයක අවශ්‍යතාව ජනතාවට වැටහී ගොස් තිබිණි. දහනායක මහතා අගමැති වූයේ නොසිතූ වීරූ අන්දමිනි. මෙම පදවි ප්‍රාප්තිය සමඟ රජයේ විවිධ හැල හැප්පිලිවලට බ¾දුන් විය. ඒ අතර දහනායක මහතා රජය විසුරුවා හැරියේ තවත් ඉදිරියට කාලය තිබියදීය.

මේ යුගය වන විට යළි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතා පැමිණ සිටියේය. ඒ ජේ.ආර්. ජයවර්ධන මහතා පක්ෂයට ගොඩනැඟූ ශක්තිමත් වටපිටාවත් සමඟය. 1960 මාර්තු මාසයේ පැවැති මහ මැතිවරණයෙන් රජයක් පිහිටුවීමට යම් ශක්තියක් එක්සත් ජාතික පක්ෂයට උදාවී තිබිණි. ඒ අනුව ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් නව රජයක් පිහිටුවීමට හැකියාව ලැබුණත් මසකට මඳක් වැඩි කාලයක් ඉක්මයත්ම 1960 ජූලි මාසයේ යළි මහ මැතිවරණයක් පැවැත් විය.  එහිදී ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයට රජයක් පිහිටු වීමට බලය ලැබිණි. සිරිමා බණ්ඩාරනායක මැතිනිය අගමැතිනිය විය. එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ වාඩි විය. 1964 වන විට එම රජයද මහජන අප්‍රසාදයට ලක්වී තිබුණු අතර රජයේ මැති ඇමැතිවරු බොහෝමයක් රජයට එරෙහිව ඇතුළත සංවිධානය වෙමින් තිබිණි. 

මේ තත්ත්වය හොඳින් වටහා ගත් ජේ.ආර්. ජයවර්ධන මහතා නියමිත කාලයට කලින් එම රජය විශ්වාසභාංග යෝජනාවකින් පරාජය කර වසර 04ක් ගතවන විට නව රජයක් පිහිටුවීමට හැකියාව ඇති කර ගත්තේය. ඒ අනුව 1965 සිට 1970 දක්වා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ නව රජයක් බිහිවිය. එම රජයේ නව අමාත්‍ය ධුරයක් වූ රාජ්‍ය අමාත්‍ය පදවියට පත්වූයේ ජේ.ආර්. ජයවර්ධන මහතාය.

මේ අනුව ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මඟපෙන්වීම මත තරුණයන්ගේ ප්‍රගතිය හා අනාගත දියුණුව වෙනුවෙන් පිහිටුවන ලද විශේෂ ආයතනයක් වූයේ ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමය. එතෙක් ශ්‍රී  ලංකා ගුවන්විදුලි සේවය යනුවෙන් පවත්වාගෙන ගිය ආයතනය ශ්‍රී   ලංකා ගුවන්විදුලි සංස්ථාව බවට පත්විය.

මුළු රටම සහලින් ස්වයංපෝෂිත කිරීමේ මහා වගා ව්‍යා‍පාරයකට ගොවි හමුදාව ඇරඹිණ.  පරමාණු බලශක්ති අධිකාරිය පිහිටුවීම, අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය ආරම්භ කිරීම, ශ්‍රී  ලංකා ආයුර්වේද ඔෟෂධ සංස්ථාව පිහිටුවීම, රාජ්‍ය  මුද්‍රණ නීතිගත සංස්ථාව පිහිටුවීම, රාජ්‍ය දැව සංස්ථාව පිහිටුවීම, ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය පිහිටුවීම, මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කිරීම ආදී අතිවිශාල සංවර්ධන වැඩසටහන් ලංකාව පුරා ක්‍රියාත්මක කිරීම සිදුවිය.

දුප්පත් ජනතාවට සති පතා නොමිලේ සහල් සලාකයක් නිකුත් කිරීම, රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට නොමිලේ ආහාර ලබාදීම, පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරයක්, කිරි වීදුරුවක් ලබා දීම ආදී වැඩසටහන් මෙම රජයෙන් ක්‍රියාත්මක කළත් 1970දී ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ජනතාවට හඳෙන් හෝ හාල් සේරු දෙකක් ගෙනැවිත් දෙන බවට සිදුකළ ප්‍රචාරයක් නිසා එම රජයද බලයෙන් පහව ගියේ නොසිතූ ලෙසය.

1970 මැයි 27 වැනි දින පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට දිනාගත හැකි වූයේ යාන්තම් මන්ත්‍රි කොට්ඨාස 17ක් පමණි. මැති සබයේ විපක්ෂ නායක පදවිය ජේ.ආර්. ජයවර්ධන මහතාට පිරිනැමීමට ඩඩ්ලි සේනානායක මහතා තීරණය කළෙන් පාර්ලිමේන්තුවේ නව විපක්ෂ නායකයා ලෙස ජයවර්ධන මහතා සිය වගකීම සියතට ගත්තේය. ඒ අතරතුර 1973 අප්‍රේල් 13 වැනි දින සිදු වූ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයත් සමඟ පක්ෂයේ නව නායකයා ලෙස ජයවර්ධන මහතා පත්විය.

පක්ෂයේ පැරණි නායකයන් සමඟ තරුණ නායකයන් බිහි කිරීමට ඉටාගත් ජේ.ආර්. ජයවර්ධන මහතා ගාමිණි දිසානායක, ලලිත් ඇතුළත්මුදලි, රනිල් වික්‍රමසිංහ, සමරවීර වීරවන්නි, ගාමිණි අතුකෝරාල, රේණුකා හේරත්, ජයවික්‍රම පෙරේරා, ප්‍රේමරත්න ගුණසේකර, ඇම්.ජී. ප්‍රේමචන්ද්‍ර, වින්සන්ට් ඩයස් ආදී තරුණයන් ආසන සංවිධායකවරුන් බවට පත්කර ඔවුනට පක්ෂයේ වගකීම පැවැරුවේය. සියරට, දිනපතා, ද ජනරල්, නම්දේශම් ආදී වශයෙන් සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම පත්තර නිකුත් කර රට පුරා පාඨක පිරිසක් බිහි කළහ.

සතයග්‍රහ, පාගමන්, රැස්වීම් පවත්වා ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව සිය විරෝධතාවන් දැක්වීමට මඟ විවර කළේය. මේ නව පිළිවෙත් නිසා ජේ.ආර්. ජයවර්ධන මහතා වටා ජනතාව රැස්වූයේ පොදි කමිනි. 1977 ජූලි 21 වැනි දින පැවැති මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ජයවර්ධන මහතා ලබා ගත්තේ 5/6ක බලයක් නව ආණ්ඩුවට හිමි කරගනිමිනි. බලය ලබා වසර 05ක් යන විට රටේ අගනුවරද වෙනස් කර එහි නව පාර්ලිමේන්තුවක් ගොඩනැඟීය. පාසල් දරුවන්ට නොමිලේ පාසල් පොත් ලබාදීම, කඩිනම් මහවැලි ව්‍යාපාරය වසර 06ක් ඇතුළත නිමවී අවසන් කිරීම, නිදහස් වෙළෙඳ කලාප, නව ගොවිජනපද හා නගර බිහි කිරීම, සංස්කෘතික ත්‍රිකෝණය ආරම්භ කිරීම, හෙළ සිරිතට වප් මඟුල් පවත්වා ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම, රාජ්‍ය සාහිත්‍ය උත්සවය වාර්ෂිකව පැවැත්වීම, එතෙක් පාසල් පොත්වල නූගන්වා සිටි ඉතිහාසය, සාහිත්‍ය පාසල් විෂය ධාරාවට එක් කිරීම ජයවර්ධන රජයේ ප්‍රතිපත්ති විය.

සිය මෙහෙවර මල්ඵල දරන්නේ ඔහුගේ ප්‍රයෝජනය පිණිස නොව මතු පරපුරේ අනාගතය පිණිස බව ජයවර්ධන මහතාගේ ප්‍රසිද්ධ කියමනක් විය. නිවැරදි නොවන ජනප්‍රිය තීරණ ගතහොත් ඔහු අඩි හතරක් පොළොව යටට යන බවත් ජයවර්ධන මහතා පැවැසුවේ නිකමට නොව ලෝක ඉතිහාසය මැනවින් හදාරා තිබුණු නායකයකු ලෙසය. 

එවන් නායකයකු අප රටට හිමිවී ඇත්නම් ඔහු වර්තමානයේ අප රට පාලනය කරනු ලබන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාය. මීට වසර 44කට පෙර මෙරට පාලනයේ  සුක්කානම ප්‍රථමවරට අතටගත් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රජයේ ළාබාලම ඇමැතිවරයා එතුමන් ජනපති වී වසර 44ක් සපිරෙන විට රටේ ජනපතිවරයා වී තිබීමෙන් අපට පෙනී යන්නේ ජේ.ආර්. යනු රජුන් තනන්නකු බවය. ජන්ම ලාභය ලබා වසර 116ක් සපිරෙන මෙම උතුම් අවස්ථාවේදී ජේ.ආර්. ජයවර්ධන ශ්‍රී  නාමය අනාගතයෙදී තවත් සුදිලෙනු ඇතැයි යන්න  විශ්වාසයයි.

හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන

සභාපති – එක්සත් ජාතික පක්ෂය