චොකා බයිලා

0
95

එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයන් තිදෙනකු තම පාක්ෂිකයා පිළිබඳව පැවැසූ කතා කිහිපයක් පෙළ ගස්වන්නේ හුදෙක් එම පාඨකයාට සහ පොදු පාඨකයාගේ දැනගැනීම උදෙසාය. එය මෙසේය. “පරාද වෙලා වැටුණු හැම මොහොතෙම පක්ෂයට ආදරේ කරපු උදවිය කවදාවත් වෙනස් වුණේ නෑ. ඒ මිනිස්සු අපිවත් තල්ලු කරගෙන ඇදගෙන වාගේ ඉස්සරහට ගියා.

ගොඩාක් මහන්සි වුණා. සමහරුන්ට ලැබුණු දෙයක් නැති වුණත් කැපවුණා. ඒ තමයි එක්සත් ජාතික පක්ෂය රටට යමක් කළාය කියලා ඒ මිනිසුන්ගේ හිත්වල තිබිච්ච විශ්වාසය. නායකයා කෙරෙහි වූ විශ්වාසය. ඒ නිසා අපි අපේ පාක්ෂිකයා රැකගන්න ඕනෑ. ඒගොල්ලන්ට විශ්වාසයක් ඇති කරවන්න ඕනෑ. ඒ මිනිසුන් වෙනුවෙන් කැපවෙන්න ඕනෑ. එහෙම කළොත් තමයි අපිව නායකයන් හැටියට හැමදාමත් ඒ අය සලකන්නේ”

සර් ජෝන් කොතලාවල (1955.03.02 දා ‍ෙදාඩන්ගස්ලන්දේදී)

“පෙරේදා බණ්ඩාරනායක මැතිනි ඇවිල්ලා එයාගේ රැස්වීමේදී කිව්වලු එයාගේ සෙනඟ දැකලා එයා දැනටත් දිනලා ඉවරයි කියලා. ඒ තරමටම රැස්වීමේ සෙනඟ  හිටියලු. ජේ.ආර්. මේ සෙනඟ දැක්කා නම් බය වෙනවා කියලත් කිව්වලු. මම මැතිනිට කියන්න කැමැතියි ඔය රැස්වීමට ආවේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂෙ මිනිස්සුද, එහෙමත් නැත්නම් යූ.එන්.පී. කාරයෝද කියලා ජූලි 21 දාට පස්සේ ප්‍රතිඵල ආවම බලාගන්න පුළුවන් කියලා. ඒ නිසා යූ.එන්.පී. කාරයා කවුද කියලා මැතිනි දන්නේ නෑ. ඒත් නායකයෝ හැටියට අපි දන්නවා. මමයි ප්‍රේමදාස මහත්තයයි රට පුරා ගිහින් ඒ මිනිසුන්ගේ හැම දේකටම පෙනී ඉන්නවා. අපි ඒ මිනිස්සු රකින්නේ  එහෙමයි. ඒ මිනිසුන්ගේ බලයෙන් තමයි අපි පාලන බලය ගන්නේ. ඒක ඒ ජනතාව දන්නවා. අපි ඒ අය රකින්නෙත් ඒ නිසයි.”

ජේ.ආර්.ජයවර්ධන ( 1977 ජුනි 22 බියගමදී)

“අපේ මිනිසුන්ගේ කකුල් කඩලා අඩන්තේට්ටම් කරලා බය ගන්නලා චප්ප කරන්න හැදුවට ඒක නිකං හීනයක් විතරයි. දුක් විඳින මිනිහගේ වේදනාව දන්නේ නැති, බඩගින්න ගැන දන්නේ නැති, නායකයෝ රට පාලනය කරපු හැටි අපි දැක්කා. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ අපේ මිනිස්සු ඒ දුක් ගින්දර හොඳටම වින්දා.  මෙදා සැරේ ඒ ඔක්කොම විඳගෙන, මේ පවුල් පාලනය පෙරළලා, රට නව මාවතකට ගොනු කරවන්න මුල් වන්න එක්සත් ජාතික පක්ෂයේ සදාදරණීය අපේ මිත්‍රවරුන් කියලා මම කියනවා. ඒ නිසා ඒ මිනිස්සු රකින එක, ඒ වෙනුවෙන්  කැපවෙන එක අපේ යුතුකමක්.  විශේෂයෙන් මැද කොළඹ අපි ඒකට ලෑස්ති වග ඔය කාට කාටත් තදින් කියන්න වෙනවා. ඒක යූඑන්පී නායකයන්ගේ යුතුකමක්, වගකීමක්.”

රණසිංහ ප්‍රේමදාස (1976.05.02 දා මැද කොළඹදී,

මේ කතා කියූ එජාප නායකයන් තිදෙනා මෙන්ම ආරම්භක නායකයා වූ ඩී.එස්. සේනානායකයන්ද, ඩඩ්ලි සේනානායකයන්ද ,ඩී.බී. විජේතුංගද යූඑන්පී කාරයා පණ වගේ රැකගත්තේය. එය එසේ නැතැයි කියන්නට විරුද්ධ පාර්ශ්වයේ අයටත් බැරිය. එජාප ඉතිහාසය එසේ විය.  එහෙත් පසුගිය කාලය මුළුල්ලේ එජාපය දිය වෙන්නට හැරි පිරිස් එජාපය රැක්කාද නැද්ද යන්න හැඟෙන දැනෙන බොහෝ දෑ සිදුවිය. ඒ නිසාම එ.ජා.ප. ය තුළ “එ.ජා.ප. ප්‍රතිපත්ති” හා “එ.ජා.ප. නායකයන්” නොමැති වූ තැන එජාපයේ ප්‍රතිපත්තිද රැගෙන එය පැළ කළ හැකි අලුත් නවාතැනකට ගන්නටද අති බහුතරයකට සිදු වූයේය. එය පාක්ෂිකයාගේ ජන මතයෙන්ම දැක්වීම කාලෝචිතය. එජාපය තුළ එජාප ප්‍රතිපත්ති හා නායකයන් නොමැති නිසා සජබයට ගිය එජාප පාක්ෂිකයකු ලියුම්කරුට කියූවක් මෙසේය.

“මොනවද මේ අපේ ඇස් ඉදිරිපිට වෙන්නේ? අලියා ලකුණත්, යූ.ඇන්.පී. නායකයත් දැන් ඉන්නවද නැද්ද කියලා හොයාගන්නත් නෑ. කතා විතරයි. වැඩ නෑ. මිනිස්සු පක්ෂය අත්හැරලා ගිහින්. ඒකට හේතුව තමයි පාක්ෂිකයා දිනවන නායකයන් වෙනුවට නායකයා රකින නායකයන් රොත්තක් හදා ගැනීම. ඒ අය තමයි ප්‍රතිපත්ති හදන්නේ. පක්ෂය නග්ගනවා කියන්නේ. හරි මිනිහා අතට සුක්කානම දුන්නෙත් නෑ. නිකං පෙන්දෝ ටිකක් දාගෙන කට්ටියක් නටනවා.  බලන්නකෝ රනිල් උන්දෑ පොහොට්ටුවේ නායකයෝ ඉස්සරහ යූ.එන්.පී. කාරයව සේල් කරන විධිය.  පාච්චල් කරන විධිය. නින්දා කරන විධිය”

සජබ පාක්ෂිකයා එසේ කියද්දී අතළොස්සක් වන් එකී එජාප නායක කාරකාදීන් හා හිතවතුන් කියන්නේ ඊට එරෙහි කතාවක්ය. එය සැකවින් මෙසේය.

“මේක රනිල් මහත්තයා මොළෙන් ගහලා ගත්ත ජයග්‍රහණයක්. තනි පක්ෂයට තනි ආසනයක් අරන් තවත් මන්ත්‍රිවරයෙක් හදාගත්තා.  පාර්ලිමේන්තුවේ තනි මිනිහා රජ වුණා. දැන් යූඑන්පීයේ නායකයා  තමයි රටේ ජනාධිපති. එහෙම කරන්න පුළුවන් රනිල්ට විතරයි. ඒ නිසා ජන රැල්ල රනිල් වටේ තමයි”

රනිල්ට හිතැති ප්‍රකාශකයාට එරෙහි වන පොදු මතයක් ඇති අයකු කීවේ…..

“රනිල්ට පක්ෂය බෝඩ් ලෑල්ලක් වෙලා තිබුණත් කමක් නෑ එයා රාජපක්ෂවරු රකින්න පොඩි කොන්ත්‍රාත්තුවක් ගත්තා. ඒක හරියටම කරනවා. රාජපක්ෂලාට පාරේ බැහැලා යන්න බැරි වෙලාවේ ඒක මර්දනයෙන් හරි ජයගන්න, ජය අරන් දෙන්න භාරගත්තේ රනිල්.  එයා ඒක දැන් හරියටම කරනවා. හිතනවද රාජපක්ෂවරු චුත වෙලා ගියා කියලා නෑ. තවමත් රනිල් කියන සාධකය පෙරට දාලා වැඩ කරගෙන යද්දී රට පාලනය කරන්නේ රාජපක්ෂලා. රනිල්ට වාතයක් පිට කරන්නවත් අවසරයක් නෑ. සියල්ල තීරණය කරන්නේ රාජපක්ෂවරු”

ඊටම තවත් යමක් එකතු කරමින් පැවසූවෙක් මෙවැනි අදහසක් පෑවේය.

“හිතනවද මේක දන්නේ නැතිව රනිල් මේ තනතුරු භාරගත්තා කියලා. නෑ. රනිල්ගේ ටාගට් එක වෙනස්. එයාට එජාපයවත් එජාප පාක්ෂිකයාවත් දිනවන්න ඕන නෑ.  එජාප ඉතිහාසයේ හොඳම පිරිස දැන් එළියට ගිහින් ඉවරයි. දැන් ඉන්නේ ඒක අල්ල ගත්ත කල්ලියක් විතරයි. ඒ අය අතරින් නවීන්ලා වුණත් හෙට අනිද්දා වෙද්දී ඕකේ වෙන දේවල් දැක දැක ඉඳීද කියන්න බෑ. ඒ නිසා යූඑන්පීය මේ රටේ බලය අල්ලා ගන්නවා කියන ටාගට් එක රනිල්ට නෑ. එයාගේ දැන් ඉන්න ගෝල බාලයන්ටත් නෑ. ඒකේ බහුතරය ඩීල්කාරයෝ විතරයි. ඒ අය රාජපක්ෂවරුන්ගෙන් යැපෙන, පිරිසක් විතරයි. ඉතින් කොහොමද යූඑන්පීකාරයා ගැන හිතන්නේ.  පක්ෂයත් ඉවරයි. පාක්ෂිකයාත් ඉවරයි. රනිල් සමුගන්න හිතාගෙන හිටියේ ජනාධිපති වෙලා. ඉතින් එජාපය උකසට තියලා පාක්ෂිකයාට නින්දාව අත්කර දීලා එයා ජනාධිපති වෙලා ගෙදර යයි. තව මොනවද එයාට ඕනෑ”

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ගේ හෘදය සාක්ෂියට අනුව එවැනි අදහස් පෙළගැසීම සාධාරණය. ඔවුන් තවමත් එම පක්ෂය හා රැඳී සිටීමත්, දැනටමත් එම පක්ෂය අත්හැර සජිත්ගේ සජබය වටා එක්වීමත් යන සාධක මහ පොළොවේ ක්‍රියාත්මක වූයේ මේ පීඩනය දරාගත නොහැකිව විය හැකිය.

පාක්ෂිකයා තවමත් රනිල් හා රනිල්ගේ එජාපය සමඟ සිටිනවාද යන්න තහවුරු කෙරෙන සිදුවීමක් කෙරෙහි පසුගියදා දේශපාලන ක්ෂේත්‍රයේ  කාගේත් උනන්දුවක් ඇති වූයේය. එනම් ජනාධිපති රනිල් අතින් චොකා මල්ලී හෙවත් ප්‍රේමලාල් ජයසේකරට ඇමැතිකමක් පිරිනැමීමය.  “චොකා මල්ලිට ඇමැතිකමක් දුන්නේ රනිල් නොවෙයි. ජනාධිපති තනතුරේ සිටින රනිල්” යැයි ඇතැමකු කීවද ඊට ඉතිහාසයක් තිබෙන බව බොහෝ දෙනාගේ කතාබහය.

2015 ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටියදී රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී එජාපයේ ප්‍රබලම පාක්ෂිකයකු වූ දොඩම්ගොඩ යන අය වෙඩි තබා ඝාතනය කෙරුණේය. එම ඝාතනයට අදාළ සැකකරු ලෙස පොලිසිය හඳුනාගනු ලැබුවේ චොකා මල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකරය. අදාළ චෝදනාවට වරදකරු වූ චොකා මල්ලිට රත්නපුර මහාධිකරණය මඟින් මරණ දඬුවම නියම කෙරුණේය. කෙසේ නමුත් ශේ්‍රෂ්ඨාධිකරණය එකී තීන්දුව නිශ්ප්‍රභ කළේය. ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර නිදහස් වූයේය. පසුගියදා එජාප නායක, ජනාධිපති රනිල් අතින් රාජ්‍ය ඇමැතිවරයකු ලෙස චොකා මල්ලි දිවුරුම් දෙද්දී යූ.එන්.පී.කාරයෝ තුෂ්ණිම්භූත වූහ. එය බොහෝ අයගේ සිත් වේදනාවට කාරණාවක්ද වූවා සේ විය.

“කොහොමද එහෙම කරන්නේ. මැරුණෙ යූඑන්පීයට ජීවිතය දුන්නු පාක්ෂිකයෙක්. ජනාධිපති රනිල් තවමත් එජාප නායකයා නම් කොහොමද මේ විධියේ පත්වීම් කරන්නේ. හෘදය සාක්ෂියක් කියලා දෙයක් නැද්ද? කොහොමද අපි රෙද්දක් ඇඳගෙන යූඑන්පී කාරයෝ කියලා වැඩ කරන්නේ.  හෙට අපට ඒ වගේ වුණත් නායකයා, හැටියට රනිල් මෙහෙමද අපටත් සලකන්නේ”

කියන, අහන, විමතිය පළකරන යූඑන්පී කාරයෝ බොහෝය.  තර්කයන් හැටියටත්, වේදනාත්මක ප්‍රකාශයක් හැටියටත් යූඑන්පී කාරයාගේ හිතට එය වදින්නට ඕනෑය. එසේ වන්නටද පුළුවන. කාරණා එසේ නම් යූඑන්පීය වැනි දැවැන්ත පක්ෂයක නායක කාරකාදීන් පිළිබඳව එම පක්ෂයේ ඡන්ද දායකයන් තවත් වෙත්නම් ඔවුන් මේ ගැන පැහැදිලි තීන්දුවක් ගනු ඇති බවක් පෙනෙයි.

කෙසේ වෙතත් “මහජන මතය” හා “නායක මතය” ගැන ඔය කොයි විධියේ මතයත් ජනතාවගේ පැත්තේ සිට නිරවුල්ව දැකීමටත්, නිවැරැදිව දැක්වීමටත් අපට යුතුකමක් තිබෙන්නේය. බි්‍රතාන්‍යයේ කීර්තිමත් පුවත්පත් කතුවරයකු වූ සර් ආතර් වොට්සන් තමන් කර්තෘත්වය දරන පුවත්පත වූ The Daily Telegraphහි තැබූ සටහනක් ඔබට මෙසේ සිහිපත් කරවීම වටී.

“මහජන මතය එයාකාරයෙන්ම දැක්වීමත් නායක කාරකාදීන්ගේ මතයද එලෙසම දැක්වීමත්  අප කළ යුතුමය. ජනතාවාදීව ජනතාවගේ පාර්ශ්වයේ සිට අප ඒ සියල්ල ජනතාව හමුවේ තබා ඔවුන්ම ලවා විනිශ්චය කරවන්නට ඉඩ හසර සැපයිය යුතුය. එවිට යම් දිනෙක ජනතාව මේ සියල්ල වෙනුවෙන්ම තීන්දුවක් ගනු ඇත.

Sir Arthur Watson (1924- 1950)

සජිත් රෝහිත ලියනගේ