කෝටි පහමාරක් වංචා කළ සිද්ධියේ සමාගම් අධ්‍යක්ෂවරුන් දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

0
11

ඇමරිකානු ඩොලර් දෙන බවට පවසා රුපියල් කෝටි පහමාරක මුදලක් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් දෙදෙනා ලබන 27 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (15දා) නියෝග කළේය.

එන්ට්රස් හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනකු වන ධර්මප්‍රිය බණ්ඩාර දසනායක සහ අනුෂ්කි සමාධි ප්‍රනාන්දු යන සැකකරුවන් දෙදෙනා මේ ලෙස අධිකරණය මඟින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙම සැකකරුවන් දෙදෙනාට මෙවැනිම සිද්ධීන් සම්බන්ධව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයේද මුදල් වංචා නඩු දහයක් පමණ ගොනුකර ඇති බවත් ඔවුන් එම අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය. එසේම මෙම සැකකරුවන් හට මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තු නිකුත් කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් ලබන 23 වැනි දින මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළ අතර එතෙක් ලබන 27 වැනි දින දක්වා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

හංසි නානායක්කාර