කාම්බෝජයේ සංඝරාජ හිමි මූලිකත්වයෙන් මෙරට ජනතාවට කෝටි 2 1/2ක වියළි ආහාර

0
23

කාම්බෝජයේ සංඝරාජ මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය හා එරට දායක පිරිසක් එක්ව මල්වතු අස්ගිරි, අමරපුර හා රාමඤ්ඤ මහා නිකායන්හි අඩු ආදායම්ලාභී දායක පවුල් වෙත රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක වටිනාකමින් යුත් වියළි ආහාර පාර්සල් පිරිනැමීමේ සමාජ සත්කාරයක් සිදුකොට තිබේ. 

ඒ අනුව මල්වතු, අස්ගිරි මහ විහාර වෙත රුපියල් ලක්ෂ 40ක වටිනාකමින් යුත් වියළි ආහාර පාර්සල් ලබාදීම අමරපුර මහා නිකායේ දක්ෂිණ ලංකා ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි ප්‍රධානත්වයෙන් 15 දින සිදුවිය. 

ප්‍රථමයෙන් මල්වතු මහ නාහිමි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී  සුමංගල නාහිමි වෙත වියළි ආහාර පාර්සල් භාරදුන් සෝභිත හිමියෝ ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී  ඥානරතන නාහිමියන් වෙතද වියළි ආහාර පාර්සල් භාරදීමට පියවර ගත්හ. 

මෙම අවස්ථාවට ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් හා කාම්බෝජ ජාතික මහා සංඝරත්නයද එක්ව සිටියහ. කඩුවෙල ජාත්‍යන්තර කාම්බෝජ බෞද්ධ මධ්‍යස්ථානය හා ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පදනම හා එක්ව අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේ ජයම්පති හීන්කෙන්ද මෙම සමාජ සත්කාරක වැඩසටහන සංවිධානය කොට තිබිණි.

මහනුවර – කේ.එල්. සුරවීර