එරොෆ්ලොට් ආයෙත් එයි

0
266

රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවය නැවතත් ලබන ඔක්තෝබර් මාසයේ සිට මොස්කව් සහ ශ්‍රී  ලංකාව අතර ගුවන් ගමන් ආරම්භ කරන බව එම ගුවන් සේවාවේ ශ්‍රී  ලංකා නියෝජිත සමාගමක් වන මෝල්ඩිවියානා එවියේෂන් සමාගමේ සභාපති ආචාර්ය ධර්මදාස වික්‍රමගේ ‘මව්බිම’ට ප්‍රකාශ කළේය.

කටුනායක ගුවන්තොටුපොළට පසුගිය ජුනි 2 වැනිදා පැමිණි එරොෆ්ලොට් ගුවන් සමාගමට අයත් එයාර් බස් A330 ගුවන් යානයක් රඳවා ගන්නා ලෙස ශ්‍රී  ලංකාවේ වාණිජ අධිකරණය නියෝග කිරීමෙන් පසු රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගම විසින් ශ්‍රී  ලංකාව වෙත ළඟා වන සියලුම ගුවන් ගමන් අත්හිටුවන ලදී.

රුසියානු ගුවන් යානය රඳවා ගැනීම දෙරට අතර බලවත් රාජ්‍ය තාන්ත්‍රික අවුලක් ද නිර්මාණය කළේය.

A330 එයාර් බසයෙන් මොස්කව් බලා යෑමට නියමිතව සිට අතරමන් වූ රුසියානු සංචාරකයන් නැවතත් එරටට කැඳවාගෙන යෑම පිණිස එරොෆ්ලොට් ගුවන් සමාගමට ශ්‍රී  ලංකාවේ අවසරය ඇතිව ගුවන් යානා දෙකක් යොදන්නට සිදුවිය.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් යුරෝපා රාජ්‍යයන් රුසියාවට පැනවූ සම්බාධකවලින් පසුව A330 ගුවන් යානයේ කල්බදු ගෙවීම් අවසන් කළ ගුවන් යානයේ අයර්ලන්ත හිමිකරු ශ්‍රී  ලංකාවේ වාණිජ අධිකරණය හරහා වාරණ නියෝගයක් ඉල්ලා තිබිණි. ගුවන් තොටුපොළ රුසියානු ගුවන් යානය ගුවන්ගත වීම වැළැක්වූයේ ඒ අනුවය.

ශ්‍රී  ලංකාව වෙත බාධාවකින් තොරව එරොෆ්ලොට් ගුවන් යානා පියාසර කිරීම සම්බන්ධයෙන් විශ්වාසය බිඳ වැටීම නිසා රුසියාව ඉන් පසු ගුවන් ගමන් නවතා දැමුවේය. ශ්‍රී  ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් ඒ වන විට පැමිණෙමින් තිබූ රාජ්‍යය වූයේ රුසියාවය. රුසියානු සංචාරකයන් පැමිණීම අත්හිටුවීම නිසා ශ්‍රී  ලංකාවේ සංචාරක ව්‍යාපාරයට බරපතළ පහරක් එල්ල වූ අතර නැවත ගුවන් ගමන් ආරම්භ කිරීම මෙරට සංචාරක ව්‍යාපාරයට බලවත් රුකුලක් වනු ඇතැයි මෝල්ඩිවියානා එවියේෂන් සමාගමේ සභාපතිවරයා පැවැසීය.