උසාවි දෙකකින් ඇප පිට එළියට ආ සැකකරු යතුරුපැදි දෙකක් උස්සා නැවත අත්අඩංගුවේ

0
9

මනුෂ්‍ය ඝාතනයක් කිරීම හා යතුරුපැදි ඇතුළු දේපළ සොරාගැනීම පිළිබඳ අධිකරණ දෙකක විභාගවන නඩුවලින් ඇපපිට පැමිණි සැකකරුවකු නැවතත් යතුරුපැදි දෙකක් සොරකම් කිරීම සම්බන්ධයෙන් හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ සිදුරංගල ප්‍රදේශයේ 25 හැවිරිදි තරුණයකු වන අතර, මොහු තදින් හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අයකු බව පොලිසිය පවසයි. මෙම සැකකරු මින්පෙර කළ යතුරුපැදි සොරකමක් සම්බන්ධයෙන් ඇපපිට නිදහස්ව මේ වනවිට ගතව ඇත්තේ මාසයකටත් අඩු කාලයක් බවත්, තත්ත්වය එලෙස තිබියදී ඔහු නැවතත් හොරණ සහ පානදුර දකුණ පොලිස් වසම් දෙකෙහි යතුරුපැදි දෙකක් සොරාගෙන ඇති බවත් පොලිසිය පවසයි. සොරාගන්නා ලද යතුරුපැදි දෙකම පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, එක් යතුරුපැදියක අංක තහඩු ගලවා තිබී ඇත.

හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.එස්. පනාවල මහතාගේ අධීක්ෂණය යටතේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තරි¾දු බණ්ඩාර හා උප පොලිස් පරීක්ෂක අබේසිරිත්, සැරයන්ලා වන රත්නසිංහ(36668), ලලිත් (35477), සමරවීර (33358), ජනක (14934) සහ කොස්තාපල්ලා වන මහේෂ් (69892) හා කුමාරිසිරි (96978)  යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඉංගිරිය – එන්.පී. කහවල