ආසියානු කුසලානයේ සත්කාරය අහිමි වුවත් අපට ඩොලර් මිලියන 6.5ක ආදායමක් ලැබෙනවා

0
25

කණ්ඩායමේ සියලුදෙනාගේ එකමුතුව මෙම ජයග්‍රහණයන්ගේ රහස බවත් එළෑඹෙන ලෝක කුසලානය සාර්ථක කර ගැනීම සියල්ලන්ගේ අභිප්‍රාය වී ඇති බවත් ශ්‍රී  ලංකා නායක දසුන් ශානක කියා සිටියේය. ඔහු මේ බව පැවැසූයේ ආසියානු කුසලාන ජයග්‍රහණය සහ එහි සාර්ථකත්වය පිළිබඳව ඊයේ (15දා) ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

එසේම ශ්‍රී  ලංකා හිටපු නායක මහේල ජයවර්ධන එළැඹෙන ලෝක කුසලානයේදී ශ්‍රී  ලංකා පුහුණු උපදේශකවරයා ලෙසින් එක්වන බවද මෙහිදී අනාවරණය විය. ඒ අනුව ශ්‍රී  ලංකා කණ්ඩායම එළැඹෙන 2 වැනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යන බවත් 6 වැනිදා සිට මහේල ජයවර්ධන ශ්‍රී  ලංකා කණ්ඩායම සමඟ එක්ව තරගාවලිය පුරා කටයුතු කිරීමට නියමිතව ඇති බවද මෙහිදී සඳහන් කෙරිණි. එසේම මහනුවරදී ශ්‍රී  ලංකා පිල සහභාගි වන විශේෂ පුහුණු කඳවුර සඳහා ලසිත් මාලිංග තම දායකත්වය ලබා දීමට එකඟත්වය පළ කර ඇති බවත් මෙහිදී අනාවරණය විය.

ආසියානු කුසලානයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී  ලංකා නායකයා “අපි මුලින්ම තරගාවලියට එක්වෙද්දී අරමුණ වෙලා තිබුණේ පළමු වටය සාර්ථකව නිමා කරගෙන දෙවැනි වටයට පිවිසීමයි. අපි දැන සිටියා අපි සතුව දක්ෂ කණ්ඩායමක් සිටින බව. එසේ වුවත් ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වීමත් සමඟින් නොසිතූ ලෙස පහළට වැටුනා. කිසි ලෙසකින්වත් අපි එලෙස පරාජය විය යුතු කණ්ඩායමක් නොවෙයි. අපි තරගාවලියට පිවිසියේ ඉතා ඉහළ මානසිකත්වයකින් හොඳ සූදානමකින් යුතුවයි. එමෙන්ම ඊට ක්‍රිකට් අයතනය උපරිම සහයෝගයක් ලබා දුන්නා.

අපි මෙම තරගාවලියට එක්වෙද්දී අපගේ දක්ෂතා ගැන පැහැදිලි අවබෝධයක් තිබුණා. ඒ අනුව පළමු තරගය පරාජයට පත්වීම ගැන අපි කලබල වූණේ නැහැ. එමෙන්ම ඉතිරි තරග ජයගෙන ඉදිරියට යා හැකි බවට අපට විශාල විශ්වාසයක් තිබුණා. එසේම ජය ලැබූ පසු දිගින් දිගටම එම තත්ත්වය පවත්වාගන්නා බවත් අපි දැන සිටියා. එම විශ්වාසය කණ්ඩායම තුළ තිබුණා. එසේම නායකයකු ලෙස මම කිසිම අවස්ථාවක ක්‍රීඩකයන්ට නීති රීති යොදමින් හෝ ඔවුන්ව කිසිදු ලෙසකින් පීඩනයකට ලක් කරන්නේ නැහැ. ඒ අනුවම කණ්ඩායමේ සියලුදෙනා ක්‍රීඩාංගණයේදී මෙන්ම ඉන් පිටතදීත් ඉතාමත් සැහැල්ලුවෙන් සිටියා. මෙම තරගාවලියේ මෙවන් ප්‍රතිඵලයක් ළඟා කර ගැනීම සඳහා ප්‍රධානතම සාධකය එයයි.” යනුවෙන් සඳහන් කළේය.

 මෙහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලානයත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන සැලසුම් සම්බන්ධවත් අදහස් දැක්වූ දසුන් ශානක කියා සිටියේ මෙවැන්නකි. “ලෝක කුසලානයත්, ආසියානු කුසලානයත් පැවැත්වෙන තත්ත්වයන් එකිනෙකට වෙනස්. ඒ අනුව එළැඹෙන 25 වැනිදා අපි විශේෂ පුහුණු කඳවුරක් මහනුවරදී ආරම්භ කරනවා. එමෙන්ම එවන් තරගාවලියකදී දක්ෂතාවය සහ මානසිකත්වය යන කරුණු දෙකම වඩාත් වැදගත් වෙනවා. අපි මේ අවස්ථාවේදී උපරිම දක්ෂතා අතර මෙන්ම ඉතාමක් ඉහළ මානසිකත්වයක සිටිනවා. එකම අභියෝගය වන්නේ එහි ඇති තත්ත්වයන්ට අනුගත වීම පමණයි. එසේම පසුගිය ජනවාරියේදී අපි ඕස්ට්‍රේලියා සංචාරයකට එක්වූ නිසාත් අපට එහි තත්ත්වයන් ගැන පැහැදිලි අවබෝධයක් තිබෙනවා.”

එමෙන්ම දිල්ෂාන් මධුසංක සහ ප්‍රමෝද් මධුෂාන් පිළිබඳවද මෙහිදී කරුණු දැක්වූ දසුන් “නායකයකු ලෙස ඕනෑම ක්‍රීඩකයකුට ආත්ම විශ්වාසය ලබා දීම මගෙන් ඔවුන්ට ලබා දිය හැකි උපරිම ශක්තියයි. එය උපරිමයෙන් ඉටු කිරීමේ හැකියාව මට තිබෙන බව විශ්වාස කරනවා. එමෙන්ම යම් අවස්ථාවක ඔවුන්ට වැරදුනොත් ඊට ප්‍රතිචාර දැක්වීමට මම කටයුතු කරන්නේ නැහැ. ඒ අනුව තරුණ ක්‍රීඩකයන්ට ලබා දෙන විශ්වාසය මෙහිදී වඩාත් වැදගත් වනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

එමෙන්ම පරාජයකදී ක්‍රීඩකයන් පීඩනයට ලක් කිරීමෙන් වැළකී ක්‍රීඩකයන්ට ශක්තිය ලබා දුනහොත් තවත් ජයග්‍රහණ ළඟා කරගත හැකි බව තමා විශ්වාස කරන බවත් ඉදිරියේදීත් සියලු දෙනාම තම කණ්ඩායම සමඟ රැඳී සිටින ලෙසත් දසුන් ශානක ඉල්ලා සිටියේය.

එසේම වත්මන් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාශය තුළ තව තවත් ප්‍රේක්ෂකයන් ක්‍රිකට් ක්‍රීඩාවට ඇළුම් කරන තත්ත්වයක් උදාවී ඇති බව තමා විශ්වාස කරන බවද දසුන් කියා සිටියේය.

තවද ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී දුෂ්මන්ත චමීරගේ සහභාගිත්වය පිළිබඳව යොමුවූ පැනයට පිළිතුරු දෙමින් දසුන් ශානක කියා සිටියේ මෙවැන්නකි. “චමීර අනිවාර්යයෙන් ලෝක කුසලානයට එක්වෙනවා. අපට සිටින ප්‍රධානතම පන්දු යවන්නා වන්නේ ඔහුයි. කෙසේ වෙතත් ඔහුට අමතරව ලහිරු කුමාර සහ බිනුර ප්‍රනාන්දුත් මේ වන විට අබාධ හේතුවෙන් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙනවා. එසේ වුවත් ලෝක කුසලානයට ඔවුන් එක්වනු ඇති බව විශ්වාස කරනවා.”

එසේම මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමේ තීරණය පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා සඳහන් කර සිටියේ මෙවැන්නකි. “ශ්‍රී  ලංකාවේදී මෙම තරගාවලිය ක්‍රීඩා කළා නම් මිලියන 2.5ක උපරිම ආදායමක් පමණයි ලබා ගැනීමට හැකියාව තිබුණේ.

එමෙන්ම ඒ කාලයේදී දැඩි වර්ෂාවක් තිබුණා. කෙසේ වෙතත් ශ්‍රී  ලංකාවේ පැවැති ගැටලුකාරී තත්ත්වය මාස ගණනකින් පසුවත් නොවිසඳී තිබීම නිසා ආසියානු ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගනු ලැබූවා. එසේම මෙම තීරණය හේතුවෙන් තවත් මිලියන 4කට වැඩි ප්‍රමාණයක වැඩිපුර මුදලක් ලැබුණා. කෙසේ වෙතත් පසුගිය කාලයේදී මෙන් නොව ගෙවීගිය වසර කිහිපය තුළදී ඩොලර් මිලියන 40කට ආසන්න වත්කමක් අප සතුව තිබෙනවා.”

එසේම ආසියානු කුසලානයෙන් ලද ආදායමත් ඉදිරියේදී ශ්‍රී  ලංකාවේ අනෙකුත් ක්‍රීඩාවන්ට මූල්‍යමය දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ද මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ක්‍රිකට් ආයතන සභාපතිවරයා මෙසේද පැවැසීය. “ශ්‍රී  ලංකාවේ පවත්නා තත්ත්වය හමුවේ අනෙක් ක්‍රීඩාවන්ටත් මූල්‍යමය සහාය දක්වන ලෙස ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව පසුගිය ඕස්ට්‍රේලියානු තරගාවලියේදී ටිකට්පත් අලෙවියෙන් රුපියල් මිලියන 120ක පමණ ආදායමක් ලැබුණා. එමෙන්ම ආසියානු කුසලානයෙනුත් ඩොලර් මිලියන 6.5ක පමණ ආදායමක් ලැබෙනවා. එම මුදලින් යම් ප්‍රමාණයක් රෝහලක් වෙත ප්‍රදානය කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. එමෙන්ම අනෙකුත් ක්‍රීඩාවන් සඳහාත් විශාල දායකත්වයක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා.”

තවද මහේල ජයවර්ධනගේ භූමිකාව පිළිබඳවද අදහස් පළ කර සිටි ශම්මි සිල්වා මහතා “ශ්‍රී  ලංකා ක්‍රිකට් මෙතරම් ඉහළට පැමිණීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ මහේල ජයවර්ධන අප සමඟින් කටයුතු කිරීමයි. ඔහු ක්‍රීඩක තේරීම් හා උපායමාර්ගික සැලසුම්, වැනි සෑම කරුණකටම අප සමඟ එක්ව කටයුතු කරනවා. එසේම කනිෂ්ඨ ක්‍රීඩකයන් මේ වන විට ලබා ඇති දියුණුවටත් මහේලගේ විශාල දායකත්වයක් තිබෙනවා. ඒ අනුව ඉදිරියටත් ඔහුගේ සේවය ලබා ගැනීමට අප මේ වන විට තීරණය කර තිබෙනවා. එමෙන්ම මහේලගේ දැනුමින් අපට විශාල සේවයක් සිදු වෙනවා.” යනුවෙන් පැවැසීය.

මේ අතර ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා මෙහිදී අදහස් දක්වමින් පැවසූයේ මෙවැන්නකි. “මෙම තරගාවලිය හරහා ඉතා විශාල ප්‍රතිලාභ රැසක් අපට ලැබුණා. එමෙන්ම ‘විසිට් ශ්‍රී  ලංකා’ යනුවෙන් ශ්‍රී  ලංකාව ගැන පණිවුඩය ලබා දීමේ හැකියාව ලැබීමත් රටක් වශයෙන් විශාල වාසියක් වූ බව සිතනවා. එසේම මෙම අස්ථාවේදී ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඇතුළු ඊට දායක වූ සියලුදෙනාට හෘදයාංගම ස්තුතිය පුද කරනවා.” ඡායාරූපය – කැළුම් චාමර

ගමිත දෙහිපිටිය