ආබාධිත රණවිරුවා දරුවා සමඟ අසරණ වෙලා

0
27

පොළොන්නරුව වැලිකන්ද අසේලපුර දුෂ්කර ගමක තැනැත්තියක් මීට වසර හයකට ඉහතදී තම එකම පුතු සහ ඇවිදීමට නොහැකි ආබාධිත රණවිරු සැමියා අතහැර ගොස් ඇත. ආබාධිත සැමියා රෝද පුටුවට සීමා වී සිටියි. රෝද පුටුවෙන් ගොස් තමාගේ හා දරුවාගේ සියලු වැඩ කරගන්නට මේ ආබාධිත අසරණ පියාට සිදුවී තිබේ. 12 වියැති දරුවා සහ මෙම පියා ජීවත් වන්නේ පොළොන්නරුව වැලිකන්ද අසේලපුර

දුෂ්කර ගම්මානයේය.

ඔහු වසර 10ක කාලයක් තිස්සේ අබලන් රෝද පුටුවෙන් ගොස් තම සියලු වැඩ කරගනියි. පුතුද රැකගනිමින් අසල්වාසීන් ලබා දෙන උපකාරවලින් අසරණව ජීවත්වන ඔහු කේ.ජී. ධනෝජ් මධුසංකය. 35 වියැති ඔහු අංක 20/ඒ, අසේලපුර, වැලිකන්ද ලිපිනයේ ජීවත් වෙයි.

ඔහු 2012 සැප්තැම්බර් 8 වැනිදා අසේලපුරදී රිය අනතුරකට ලක්ව ඇවිදීමට නොහැකි පරිදි ආබාධිත තත්ත්වයට පත්විය.

මෙම අසරණ තත්ත්වයත් සමඟ ඔහුගේ බිරිය වෙනත් කසාදයක් කරගෙන එකම පිරිමි දරුවාද දමාගොසිනි. මේ වනවිට මධුසංක තම පුතු සමඟ ගත කරන්නේ මහත් දුෂ්කර වූ පීඩිත ජීවිතයකි.

මධුසංකගේ එකම පුත් වන කේ.ජී. ශාමල් විරාජ් මධුශංක අධ්‍යාපන කටයුතුවලට විශාල උනන්දුවක් දක්වයි. ඔහු අධ්‍යාපන කටයුතු කරන්නේ අසේලපුර ගම්මානයේ අසල්වාසීන්ගේ උදවු උපකාර පිහිටෙනි.

පාසල් ඇරී එන විරාජ් තම පියාට උවටැන් කරයි. ආයුර්වේදයෙන් ලබාදුන් බෙහෙත්, තෙල් ඇඟ ගායි.

ධනෝජ්ගේ මවුපියන් ඉඳහිට ඔහුට ආහාරපාන ලබාදෙයි. බොහෝවිට මේ පියා හා පුතුගේ කුස පිරවෙන්නේ අසල්වාසීන් ලබාදනෙ ආහාරපානවලිනි.

විදුලිය, ජලය, වැසිකිළි පහසුකම් නොමැති නිවෙසක ජීවත්වෙන මෙම අසරණ පිය – පුතු දෙපළ අසල නිවෙසකින් ජලය ලබාගනියි.

ධනෝජ් රට, ජාතිය, ආගම වෙනුවෙන් වසර ගණනාවක් ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටි අතර මාස කිහිපයක් රාජකාරි කටයුතුවලට යෑමට නොහැකි වීමෙන් රැකියාවෙන් සමුගැනීමට සිදුවිය. අනතුරුව සිවිල් ආරක්ෂක බළකායේ වසර කිහිපයක් කටයුතු කළ ඔහු ඉන් ඉවත්ව රියැදුරකු ලෙස ලොරි රථයක රැකියාවේ නිරත විය.

වැලිකන්ද අසේලපුරදී රිය අනතුරකට ලක්ව පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූයේය.

තම ආබාධිත පියා කෙසේ හෝ සුවපත් කිරීමේ අරමුණින් පුංචි පුතුද පාසල් නිමවී නිවෙසට විත් සවස් කාලයේ සහ සෙනසුරාදා, ඉරිදා දිනවල ඔහු කුඹුරුවල ගොස් වී කරල් අහුලා එම වී විකුණයි. විටෙක කංකුං, පලා වර්ග කඩා ගම් පුරා ඇවිදිමින් විකුණන්නේය.

තම දුෂ්කර ජීවිතය පිළිබඳ අදහස් දැක්වූ ආබාධිත රණවිරු ධනෝජ් නෙතට කඳුළු පුරවාගෙන මෙලෙස කීවේය.

“මම රිය අනතුරකට මුහුණ දීලා තමයි අවුරුදු දහයක් තිස්සේ ආබාධ වෙලා ඉන්නේ. සියලුම වැඩ කරගන්නේ රෝද පුටුවෙන් ගිහින්. අම්මා, තාත්තා කන්න බොහෝවිට ගෙනත් දෙනවා. කාලා, බීලා ඉන්නේ ගමේ අය මොනවාහරි දුන්නොත් විතරයි. මාවයි, පුතාවයි දාලා බිරිය මීට වසර හයකට පෙර යන්න ගියා. මම තමයි මේ අබලන් රෝද පුටුවෙන් ගිහිල්ලා පුතාට මොනවාහරි උයලා දෙන්නෙ. රජයෙන් අපිට නිවාසයක් භාගෙට හදලා දුන්නා. වැසිකිළි පහසුකම් නෑ. ඒ වගේම මට බෙහෙත් තෙල් ගන්න මුදලකුත් නෑ. පුතා තමයි වී කරල් අහුලලා, පලා වර්ග ටිකක් විකුණලා ඒ සල්ලිවලින් බෙහෙත් ටිකක් ගෙනැල්ලා මගේ කොන්දේ අමාරුවට බෙහෙත් ගානවා.

පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගෙදර ඉතුරු අඩුපාඩු ටික හදලා, රෝද පුටුවකුයි ලබාදුන්නොත් ලොකු පිනක්” යැයි ධනෝජ් මධුශංක පැවැසුවේය.

මේ අසරණ පිය _ පුතු දෙපළ වෙනුවෙන් උපකාර කළ හැකි නම් එය විශාල පින්කමකි.

කහවත්ත ගමගේ ධනෝජ් මධුසංක නමින් මහජන බැංකුවේ වැලිකන්ද ශාඛාවේ ගිණුම් අංක 254200460080039ට මුදල් ආධාර කළ හැකිය.

ඔවුන්ගේ දුරකථන අංක 0766790358 ඇමැතීමෙන් විස්තර විමසිය හැකිය.

මනම්පිටිය _ නිමල් ජයරත්න