අලි නඟී ඇතුන් බසී

0
144

මෙරට වන අලි ගහනය 7,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  මේ දක්වා 5,600ක් ලෙස සඳහන් වූ වන අලි ගහනය මෙසේ 7,000 දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් පෙන්වා දී තිබේ.

කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සමඟ පැවැති සාකච්ඡාවකදී වනජීවී නිලධාරීන් මේ බව පවසා ඇත.

මෙරට වන අලි ගහනයේ ඉහළ යෑමක් දක්නට ලැබුණද දළ ඇතුන් සංඛ්‍යාවේ යම් අඩු වීමක් පෙන්නුම් කරන බවද ඔවුන් සඳහන් කර තිබේ.

වනජීවී දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව මෙරට වනාන්තර තුළ සිටින ඇතුන් සංඛ්‍යාව 142ක් බව පැවැසේ.

මේ අතර  ගිරිතලේ, මින්නේරිය හා පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව රැඳී සිටි අලි ඇතුන්ගෙන් විශාල පිරිසක් ආහාර සොයා වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වී ඇතැයි වනජීවී නිලධාරීහු සඳහන් කරති.

වන අලින් ආහාර සපයා ගැනීමට මේ ජලාශවල වැව්පිටිවලට පැමිණියත් ඒවා ජලයෙන් පිරී පැවැතීම නිසා මේ අයුරින් වන අලින්ගෙන් විශාල සංඛ්‍යාවක් වෙනත් ප්‍රදේශවලට ආහාර සොයා සංක්‍රමණය වී ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.

මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා මින්නේරිය, ගිරිතලේ හා පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ගැවසෙන වන අලි 350ක් පමණ ආගිය අතක් නැතැයි මාධ්‍ය පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කර ඇත. එයට පිළිතුරු ලෙස වන ජීවී නිලධාරීන් මේ බව සඳහන් කර තිබේ. 

මේ අයුරින් ආහාර සොයා වන අලි වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම නිසා එම ප්‍රදේශවල ජනතාවට සිදුවන හානියද  ඉහළ ගොස් ඇති බව ද ඔවුන් පෙන්වා දී ඇත.

සවනි ශේශාධි