අනියම් බිරියගේ දැරිය පතලක වලදැමු සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ බිරියත් අත්අඩංගුවට

0
17

නිවිතිගල දෙල්වල ප්‍රදේශයේදී හත් හැවිරිදි දැරියක් මරා එම සිරුර පතල් වළක දැමීමේ සිද්ධියට උදවු කළේ යැයි සැකපිට ප්‍රධාන සැකකරුගේ බිරිය පොලිස් විශේෂ කාර්ය බළකාය සහ දෙල්වල පොලිසිය කළ සෝදිසි මෙහෙයුමකදී ඊයේ (15දා) කලවාන පනාපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.  

සැකකාරියගේ සැමියා දැරියට අමානුෂික ලෙස පහරදීමෙන් පසුව දැරිය මියගියේ යැයි සිතා පතල් වළක දැමීමේදී මෙම සැකකාරියද උදවු කර ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළි විය. ඇය ඔත්තු බලා ඇති අතර පසුව මෙම අපරාධය වසන් කිරීමටද සැකකරුට උදවු කර ඇතැයි පොලිසිය පවසයි.                                                                                   

ප්‍රධාන සැකකරු මේ වන විට සැඟවී සිටින අතර ඔහුගේ අනියම් බිරියන් දෙදෙනකු දෙල්වල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඔවුන් අතර ඝාතනය කෙරුණු දැරියගේ මවද සිටී. සැකකරුගේ නීත්‍යානුකූල බිරිය සහ අනියම් බිරියන් දෙදෙනා එකම නිවෙසේ ජීවත් වී ඇතැයි පොලිසිය පවසයි.                                                                               

කලවාන පනාපොළ ප්‍රදේශයේ මෙම සැකකරු සැඟවී සිටින බවට ලද තොරතුරකට අනුව කහවත්ත සහ හොරණ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරුවල කණඩායම් දෙකක්ද ඊයේ (15දා) එම ප්‍රදේශයේ සොදිසි මෙහයුමක් ආරම්භ කරනු ලැබීය.

ප්‍රධාන සැකකරුගේ අනියම් බිරියගේ හත් හැවිරිදි දියණියට අමානුෂික ලෙස පහරදී මෙයට මාස හයකට පෙර ඝාතනය කර දෙල්වල ප්‍රදේශයේ පැරැණි මැණික් පතල් වළකට සිරුර දමා තිබූ බව අනාවරණය වීමෙන් අනතුරුව පසුගිය 11 වැනිදා සිරුර ගොඩගනු ලැබීය.                        

සබරගමුව පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව රත්නපුර

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සේනක වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරේ.

කහවත්ත _ එල්. නිරෝෂණ