අධ්‍යාපනය ලබන අතරේ සරසවි සිසුන්ට රැකියා අවස්ථා

0
21

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සියලු සිසුන් සඳහා මාසයකට පැය 13ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබාදීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.

මෙරට විශ්වවිද්‍යාලයක ප්‍රථමවරට ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ එක් සිසුවකු සේවය කරන පැයක කාලයක් සඳහා රුපියල් 350.00ක ගෙවීමක් කිරීමට නියමිතය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ සංගමය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා මූලිකත්වය ගෙන තිබෙන බව උපකුලපති මහචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා කීය.

සරසවිය තුළ අනධ්‍යයන සේවා සැපයීම සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන දැනුම හුවමාරුව සඳහා සිසුන්ට මෙම අර්ධකාලීන රැකියා පත්වීම් ලබාදීමට නියමිතය.

රට තුළ පැනනැඟී තිබෙන සමාජ හා ආර්ථික අර්බුදය හමුවේ සිසු දරුවන් විශාල ආතති තත්ත්වයකට පත්ව සිටින බවත් නව වැඩපිළිවෙළ යටතේ එක් පැත්තකින් යම් ආදායමක් ලැබෙන අතරදී අනෙක් පසින් සිසු ජීවිතයේ පවත්නා ඒකාකාරී බව තරමක් දුරට පහව යනු ඇති බවත් උපකුලපතිවරයා ප්‍රකාශ කළේය.

විශ්වවිද්‍යාල ජීවිතය නිමාකාර රැකියාවකට යෑමේදී මෙම අර්ධකාලීන රැකියා මඟින් ලබාගත් දැනුම වැදගත් වනු ඇති බවත් නායකත්වය හා කණ්ඩායම් හැඟීම පමණක් නොව මහන්සි වී උපයන මුදල්වල වටිනාකම සම්බන්ධව මෙමඟින් සිසුන් තුළ යම් අවබෝධයක් ගොඩනැඟෙනු ඇති බවත් කීය.

නව වැඩපිළිවෙළ කෙරෙහි සිසුන්ගේ විශාල උනන්දුවක් පවතින අතර මේවන විට සිසුන් 170 දෙනකු පමණ ඒ සඳහා ඉල්ලුම් කර තිබේ. ඔවුන්  සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ඔක්තෝබර් මස 01 වැනි දින සිදු කිරීමට නියමිතය.

මහනුවර – කේ.එල්. සුරවීර