මෝටර් රියකින් පැහැරගෙන යමින් සිටි ඇඟලුම් සේවිකාව පොලිස් මෙහෙයුමකින් මුදා ගනී

0
172

දික්වැල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකට සේවය සඳහා යමින් සිටි කාන්තාවක පුද්ගලයන් දෙදෙනෙකු විසින් පැහැරගෙන යමින් සිටියදී බද්දේගම පොලිසිය මුදා ගෙන ඇත.

බද්දේගම පොලිසිය පවසන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේ ය.

ඊයේ (සැප්. 14) උදෑසන දික්වැල්ල ප්‍රදේශයේදී මෙම කාන්තාව පැහැරගෙන තිබූ අතර පැහැරගත් කාන්තාව දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණ බද්දේගම පිවිසුමේදී මුදල් ගෙවා පිටව යන්නට උත්සාහ කර ඇත.

ඒ අවස්ථාවේ එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට එම මෝටර් රථය පිටුපස අසුනේ සිටි කාන්තාවකගේ මුඛය තවත් පුද්ගලයෙකු වසාගෙන සිටින අයුරු දැක ඇත.

එහෙත් ඒ මොහොතේ කාන්තාව සිටි වාහනය මුදල් ද ගෙවා බද්දේගම පිවිසුමෙන් පිටව ගොස් ඇත. වහා ක්‍රියාත්මක වූ පිවිසුමේ සිටි නිලධාරීන් මේ බව බද්දේගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දැනුවත් කර තිබේ. ඒ සැණින් ක්‍රියාත්මක වූ රථවාහන අංශයේ නිලධාරීන් බද්දේගම නගරය ආසන්නයේදී සැක සහිත මෝටර් රථය නවතා පරීක්ෂා කළද පිටුපස ආසන්නයේ රථයේ ‍ෙදාරවල් පිටුපස අසුනේ සිටි පුද්ගලයා අගුළු දමා තිබේ.

ඒ අවස්ථාවේ පිටුපස අසුනේ සිටි පුද්ගලයා පිටුපස සිටි කාන්තාවගේ ගෙළට තියුණු ආයුධයක් තබා ඇය සමඟ දබර කරමින් සිටින අයුරු ද පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් තිබේ. එම අවස්ථාවේ පිටුපස අසුනේ සිටි පුද්ගලයා කාන්තාව අත්නොහරින බව නිලධාරීන්ට තේරුම් ගොස් ඇති අතර පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා එම ස්ථානයේ සිටි පොලිස් සැරයන්වරයෙකු සිය ගිනි අවියෙන් අහසට වෙඩි තැබීමක් සිදු කර ඇත. පසුව සෙසු නිලධාරීන් රථයේ පිටුපස ‍ෙදාරවල්වල වීදුරු කඩා විවර කරගෙන තිබිණි. සැකකරු සහ කාන්තාව පිටතට ගත්ත ද ඔවුන් දෙදෙනාගේ සිරුරුවල කැපුම් තුවාල සිදුව ඇති බව නිලධාරීන්ට පෙනී ගොස් ඇත. පසුව සැකකරු සහ කාන්තාව ප්‍රතිකාර සඳහා බද්දේගම රෝහලට ඇතුළු කර තිබේ. මෝටර් රථය පැදවූ රියැදුරා සහ කාර් රථය ද බද්දේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනියම් සබඳතාවක් හේතුවෙන් මෙම පුද්ගලයන් දෙදෙනා මෙම කාන්තාව පැහැරගෙන ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් රියැදුරාගේ වයස අවුරුදු 23කි. ඔහු වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක් සැකකරු ද වලස්මුල්ලේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක වීම නිසා සිදුවීමට ගිය බරපතළ අපරාධයක් වැළකී ගිය බව පොලිසිය කියයි.

බද්දේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.