අමෙරිකාව ඇතුළු කණ්ඩායමකින් මානව හිමිකම් කවුන්සිලයට ආර්ථික අර්බුදය ගැන නව කෙටුම්පතක්

0
119

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ 46/1 යෝජනාවේ මෙරට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනයට අදාළව නව යෝජනා කෙටුම්පතක් ඊයේ (සැප්. 14) ඉදිරිපත් කෙරිණි.

අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික කණ්ඩායම (Core Group) විසින් සම අනුග්‍රහය දක්වමින් මෙම කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබිණි.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ මලාවි යන රාජ්‍යන්ගෙන් මෙම කණ්ඩායම සමන්විත ය.

මෙම නව කෙටුම්පත ඉදිරිපත් කෙරුණේ ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයට සමගාමීව ය.

ආර්ථික අර්බුදයේ මානව හිමිකම් බලපෑම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති මෙම නව කෙටුම්පතෙහි ආහාර අනාරක්ෂිතභාවය, ඉන්ධන හිඟය, ඖෂධ හිඟය සහ ගෘහාශ්‍රිත ආදායම් අඩුවීම ගැන කරුණු සඳහන් වේ.

එමෙන් ම, ඉන් දෛනික වැටුප් ලබන්නන්, දරුවන්, වැඩිහිටි පුද්ගලයන් සහ ආබාධ සහිත පුද්ගලයන් ඇතුළු බොහෝ ආන්තික සහ අවාසි සහගත පුද්ගලයන්ගේ මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කර තිබේ.

එසේ ම, මෙම වසරේ මුල් භාගයේ ඇති වූ මහජන විරෝධතාවලට එරෙහි ප්‍රචණ්ඩත්වය හා අත්අඩංගුවට ගැනීම් මෙන් ම, මහජන නියෝජිතයන්ගේ නිවාසවලට හානි කිරීම් යන සිදුවීම් ගැන ද එමගින් සිය කනස්සල්ල පළ කර ඇත.

එම සිදුවීම්වලට සම්බන්ධ පිරිස් නීතිය හමුවට ගෙන ඒමේ වැදගත්කම අවධාරණය කරන එම කෙටුම්පත ආණ්ඩුකරණයේ සිවිල් කටයුතු මිලිටරිකරණයට ලක්වීම ගැනද විවේචනාත්මකව අදහස් පළ කර තිබේ.

අධිකරණයේ ස්වාධීනත්වය, සුළු ජාතික ප්‍රජාවන්ගේ ගැටලු, මාධ්‍යවේදීන් ඇතුළු මානව හිමිකම් ක්‍රියාකාරින් බියගැන්වීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය යන තේමා ගැන ද එහි සඳහන් වේ.

දැනට පවතින ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් දීමත් එම තත්ත්වයට බලපෑ සිදුවීම් හා පුද්ගලයන් සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් කිරීමේ අවශ්‍යතාවත් එමගින් වැඩිදුරට ත් අවධාරණය කර ඇත.