සංඥා දෝෂයක් නිසා බෙලිඅත්ත – කොටුව මාර්ගයේ දුම්රිය ප්‍රමාද වෙයි

0
9

දුම්රිය මාර්ගවල සංඥා දෝෂයක් හේතුවෙන් බෙලිඅත්ත – කොටුව ප්‍රධාන මුහුදුබඩ මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රිය ඇතුළු සියලුම දුම්රියන් ඊයේ (14දා) ප්‍රමාද වී ධාවනය වූ බවට දුම්රිය මගීහු චෝදනා කරති.

දුම්රිය කිහිපයක් නියමිත වේලාවට දුම්රිය ස්ථානවලින් පිටත් වූ නමුත් රේල්පීලිවල පවතින දුර්වලතා නිසා ඉතා අඩු වේග සීමා සලකුණු කිරීම හේතුවෙන් දෛනික කාර්යාල දුම්රිය බොහොමයක් ප්‍රමාද වී ධාවනය වන බවත් මගීහු පැවැසූහ.

දුම්රිය මාර්ග පද්ධතියේ හදිසියේ සංඥා හටගත් දෝෂයක් හේතුවෙන් කළුතර ප්‍රදේශයේදී මෙම ධාවන ප්‍රමාදය ඇති වූ බවත් අනෙකුත් ප්‍රදේශවල කිසිදු ගැටලුවක් නොමැති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනවිරත්න පැවැසීය.

දුම්රිය මාර්ග පද්ධතියේ වේග සීමා ක්‍රියාත්මක කර තිබෙන ස්ථානවලට අමතරව අලුතින් වේග සීමා ලකුණු කර තිබුණද කිසිදු දුම්රියක් ප්‍රමාද වී ධාවනය නොවන බවත් හෙතෙම කීය.

එසේම උදෑසන කාර්යාල සේවකයන් බොහොමයක් දෛනිකව ගමනාගමන පහසුකම් ලබාගන්නා දුම්රිය මාර්ගයක් මෙන්ම ශ්‍රී  ලංකාවේ දිගම කාර්යාල දුම්රියන් ධාවනය වන මුහුදුබඩ මාර්ගය පිළිබඳව බලධාරීන් මීට වඩා සැලකිලිමත් විය යුතු බවත් මගීහු වැඩිදුරටත් පැවැසූහ.

මිතුන් ජයවර්ධන