විස්සයි 20 තුන් ඉරියව්වෙන් වනිඳු ඉහළටම එයි

0
16

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ නිමාවත් සමඟින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් නවතම විස්සයි 20 ක්‍රීඩක ශේ‍ර්ණිගත කිරීම් ඊයේ (14දා) යාවත්කාලීන කර තිබිණි. ඒ අනුව නිමා වූ ආසියානු කුසලානයේදී ඉහළ දස්කම් දැක්වූ ශ්‍රී  ලංකා ක්‍රීඩකයන් එම ශේ‍ර්ණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබීමද කැපී පෙනෙන සිදුවීමකි.

එහිදී තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන ලැබූ වනිඳු හසරංග විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ සටහනේ ස්ථාන 4ක් ඉදිරියට ළඟා වෙමින් සිවු වැනි ස්ථානයට පත්ව ඇති අතර විස්සයි 20 පන්දු යවන්නන්ගේ සටහනේ ද එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 6 වැනි ස්ථානයට පත්වීමට වනිඳුට හැකිව තිබේ.

එමෙන්ම දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තවදුරටත් විස්සයි 20 පන්දු යවන්නන් අතර 8 වැනි ස්ථානයේ පසුවෙයි. එමෙන්ම චාමික කරුණාරත්න විස්සයි 20 පන්දු යවන්නන් අතර ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් 42 වැනි ස්ථානය හිමිකරගෙන තිබිණි. දුෂ්මන්ත චමීර 47 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත.

කෙසේ වෙතත් බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණ ගනිද්දී ඕස්ට්‍රේලියාවේ ජොෂ් හැසල්වුඩ් පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන තිබිණි.

මේ අතර ශ්‍රී  ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක විස්සයි 20 පිතිකරුවන් අතර එක් ස්ථානයක් පසුබැස 8 වැනි ස්ථානයට පත්ව ඇත. ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනමින් සුවිශේෂී ඉනිමක් දියත් කළ මැදපෙළ පිතිකරු භානුක රාජපක්ෂ ස්ථාන 33ක් ඉදිරියට පැමිණෙමින් පිතිකරුවන් අතර 34 වැනි ස්ථානයට පත්ව තිබේ. චරිත් අසලංක එක් ස්ථානයක් පසුබසිමින් විස්සයි 20 පිතිකරුවන් අතර 36 වැනි ස්ථානයට පත්ව ඇති අතර ශ්‍රී  ලංකා නායක දසුන් ශානකට හිමිව ඇත්තේ පිතිකරුවන් අතර 40 වැනි ස්ථානයයි. කුසල් මෙන්ඩිස්ට හිමිව ඇත්තේ 54 වැනි ස්ථානයයි.

කෙසේ නමුත් පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් පිතිකරුවන් අතර පෙරමුණ ගනිද්දී දෙවැනි ස්ථානයේ පසුවූ පාකිස්තාන නායක බාබර් අසාම් 3 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත.

ගමිත දෙහිපිටිය