විපක්‍ෂය සිය ජිනීවා ප්‍රතිපත්තිය වෙනස් කරගනු ඇතැයි සිතනවා

0
54

ලංකාවේ විවිධ දේශපාලන කණ්ඩායම් රටට එරෙහිව අදහස් දැක්වීම සඳහා ජිනීවා නගරයට ගොස් තිබෙන බව පෙනී යන බවත්, මෙවැනි ජාතික දුෂ්කරතාවක් පවතින මොහොතකදී විපක්‍ෂය තමන්ගේ ජිනීවා ප්‍රතිපත්තිය වෙනස් කරගනු ඇතැයි රට විශ්වාස කරනු ලබන බවද පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න  පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේ (14දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න මෙසේද කීවේය.

මේ අවස්ථාවේ රට හමුවේ තිබෙන ප්‍රධාන මාතෘකාවක් වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය හා සම්බන්ධ ශ්‍රී ලංකාවට අදාළ සාකච්ඡාවයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ජිනීවා අභියෝගයට මුහුණ දෙමින් සිටිනවා. දීර්ඝ කාලයක් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන්ගේ පාලන සමය තුළ අපි මේ ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දුන්නා. ඒ වගේම යහපාලන සමයේ කිසියම් ආකාරයක වෙනස් ප්‍රතිපත්තිමය එකඟතාවක් මත ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සමඟ ගනුදෙනු කළා. එහි තවත් අදියරක් විදිහටයි අපි මේ අවස්ථාවට මුහුණ දෙන්නේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ වාර්ෂික සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මාතෘකාවක්, සාකච්ඡාවක් විදිහට චෝදනාවක් හෝ යෝජනාවක් විදිහටයි ඉදිරිපත් වන්නේ. 30 අවුරුද්දක තිබුණු ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය අනුගමනය කළ මෙහෙයුම් ක්‍රියාවලිය සම්බන්ධවයි. එහෙත් ලංකාව රටක් විදිහට ජාත්‍යන්තර වේදිකාවක අභියෝගයකට මුහුණ දුන්න හැම අවස්ථාවකම ලංකාවේ සිටින විවිධ දේශපාලන කණ්ඩායම් තමන්ගේ රටට එරෙහිව ගතු කියන්න ජිනීවා නගරයට යන තත්ත්වයක් දිගින් දිගටම දැක්කා.

හැබැයි අපි හිතුවා මෙවැනි ජාතික දුෂ්කරතාවක් පවතින මොහොතකදීවත් විපක්‍ෂය තමන්ගේ ජිනීවා ප්‍රතිපත්තිය වෙනස් කර ගනියි කියලා. අපි රටක් විදිහට කනගාටු වෙනවා. මෙවැනි දුෂ්කර මොහොතකදීවත් ජිනීවා සැසිවාරයට යන විපක්‍ෂයේ නියෝජිතයන් මේ දුෂ්කර මොහොත කළමනාකරණය වෙනුවෙන් ජාත්‍යන්තරයෙන් සහයෝගය ඉල්ලනවා අපි දැක්කේ නෑ. අපි පක්‍ෂයක්  විදිහට අවධාරණයෙන්, ආදරයෙන් කියන්නේ රට ඇතුළේ අපි මැතිවරණ සමයේ දේශපාලනය කරමු. මෙවැනි

දුෂ්කර මොහොතක ජාත්‍යන්තර වේදිකාවක කතා කරන්න ලැබෙන අවස්ථාවක තමන්ගේ රටේ අහිංසක ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව කතා කරන්නවත් අවංක නොවන්නේ මන්ද කියලා ප්‍රශ්නය අපි දේශපාලන වශයෙන් අහනවා. එය තවදුරටත් ඛේදවාචකයක් වන්නේ ලංකාවේ ගමක් ගමක් ගානේ වේදිකා හදාගෙන ගිහිල්ලා මහජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් කිඹුල් කඳුළු හෙළන මේ රටේ විපක්‍ෂ දේශපාලන කණ්ඩායම් ජිනීවා නගරයට ගිහිල්ලා ඊට අදාළ ජාත්‍යන්තර සහයක් ලබා ගන්නේ නෑ.

මේ අවස්ථාවේ ලොකු මාතෘකාවක් වෙනවා රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව සම්බන්ධව. යම් රටක කැබිනට් මණ්ඩලය ඒ රටට බරක්ද කියලා මනින්න වෙන්නේ කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාවෙන් නොවේ. ඒ පත් කළ අය තමන්ගේ වගකීම ඉටු කිරීමේ ස්වභාවය මත තමයි ඒ අය රටට බරක්ද? නැත්නම් රටට සේවයක්ද කියලා අපිට මැනගන්න ලැබෙන්නේ. මතුපිටින් බැලුවාම හරි සාධාරණයි වගේ පෙනෙන මේ දේශපාලන සමීකරණය වෙනස් කරලා මම යෝජනා කරනවා මේ රටේ රටවැසියාට වගකීම් දරන අය රටට බරක්ද කියන එක තීන්දු කරමු ඉලක්කමෙන් නොවේ ඒ අය කරන කියන දේ තුළින්.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය